අනාගත අඟහරු ගවේෂණ මෙහෙයුම් - යුරෝපීය අභ්‍යවකාශ ආයතනයේ 2016 ExoMars Orbiter / 2018 ExoMars Rover

European Space Agency (ESA) ExoMars Programme

අඟහරු ගවේෂණයේ ඊලඟ පියවර වනුයේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සැළසුම්කොට ඇති එක්සො-මාර්ස් ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතිය කොටස් දෙකකින් යුතුය.

1] 2016 වසරේ අඟහරු වෙත සම්ප්‍රාප්තවන එක්සෝ-මාර්ස් කක්ශගත යානය

2] 2018 අඟහරු වෙත ගොඩබසින එක්සෝ-මාර්ස් රෝවරය

ExoMars Orbiter/Lander Programme (2016)


ලෑන්ඩරයද සහිත ExoMars ඕබිටර් යානය
යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) හා රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය (ROSCOSMOS) එක්ව සැළසුම් කරන මේ ව්‍යාපෘතියේ ඕබිටර්/ලෑන්ඩර් මෙහෙයුම 2016 වසරේදී අඟහරුවෙත සම්ප්‍රාප්ත්වීමට නියමිතය. මෙම යානය අඟහරුවෙත පැමිණීමෙන් පසු එහි ඇති කුඩා යානාවක් නිදහස් කොට එය අඟහරු මත පතිතවීමට සලස්වයි.

ලෑන්ඩරය නිදහස් කිරීමෙන් පසුව ඕබිටර් යානය අඟහරු වටා කක්ශගතවී පර්යේෂණ ආරම්භ කරයි. මෙම යානය TGO හෙවත් ට්‍රේස්-ගෑස් ඕබිටර් ලෙස හඳුන්වයි. එහි මූලික මෙහෙයුම් පරමාර්ථය අඟහරුවාගේ ඉහල වායුගෝලය අධ්‍යයනය කිරීමයි.

මෙම ට්‍රේස්-ගෑස් ඕබිටරය අඟහරුවාගේ වායුගෝලයට මීතේන් ලැබෙන ආකාරය හා අඟහරු පෘශ්ඨයේ කුමන කොටස්වලින් එම වායූන් නිකුත්වේදැයි සොයාබලයි. ඒ අනුව මීතෙන් වැඩිපුරම ලැබෙන ප්‍රදේශයකට 2018දී අඟහරුවෙත ලඟාවන රෝවරය ගොඩබැස්වීමට යුරෝපීය ඒජන්සිය බලාපොරොත්තුවේ. මීතේන් වලට විශේෂ උනන්දුවක් දක්වන්නේ පෘථිවියේ මීතෙන් ජනනය වන්නේ ජීව ක්‍රියාවල ප්‍රථිපලයක් ලෙස බැවින්, එය අඟහරුවා මත ජීවය ඇති තැන් සොයාගැනීමට උපකාරීවේය යන උපකල්පණය මතයි.

එපමණක් නොව, 2018දී රෝවර් යානය අඟහරුට ලඟාවූපසු මෙම TGO ඕබිටරය අඟහරුගේ පහල කක්ශයකට ඇතුලුකොට, එය ගොඩ බසින රෝවර් යානය පෘථිවිය හා සම්බන්ධ කෙරෙන සන්නිවේදන චන්ද්‍රිකාව ලෙස ක්‍රියාත්මක කිරීමට සැළසුම් කොට තිබේනවා.

TGO ඕබිටරයෙන් වෙන්වන EDM ලෑන්ඩරය
මෙම යානය ගෙන එන ලෑන්ඩරය EDM ලෑන්ඩර් ලෙස නම්කොට ඇති අතර එය රෝවරයක් මෙන් නොව, ගොඩ බසින ලද ස්ථානයේ සිට සිය පරීක්ශණ කටයුතු කරනු ඇත. මෙයට EDM ලෑන්ඩරය ලෙස නම්තබා ඇත්තේ Entry, Descent and Landing Demonstrator Module යන අර්ථයෙනි. එහි මූලික රාජකාරිය, අඟහරු වෙත යානයක් ගොඩබැස්වීමේදී මුහුණපාන ගැටලු සොයා බලා 2018දී එන රෝවරය නිරුපද්‍රිතව ගොඩබස්වා ගැනීමට අවශ්‍ය තාක්ශණික දැනුම යුරෝපීය ඒජන්සිය වෙත ලබා ගැනීමයි.

EDM ලෑන්ඩරය ගොඩබැස්වීමේ සැළසුම


ගොඩබෑමෙන් පසු ලෑන්ඩරයට විද්‍යාත්මක තොරතුරු රැස්කිරීම සඳහා වර්ණ කැමරාවක් හා සෙන්සර් පද්ධති 11ක විද්‍යාත්මක උපකරණ පැකේජයක් අන්තර්ගත කොට ඇත. එම සෙන්සර් මගින් අඟහරුවාගේ කාළගුණය හා වායුගෝලයේ තොරතුරු එක් රැස් කර පෘථිවියට එවනු ඇත.

ලෑන්ඩරය හා ඕබිටරය රුසියානු එනර්ජියා රොකට්ටුවකින් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතය. මෙය 2016 ජනවාරියේදී ගුවන්ගත කරන්නට බලාපොරොත්තුවන අතර 2016 ඔක්තෝම්බරයේදී අඟහරු වෙත ලඟාවී මෙහෙයුම් සැළසුම් ක්‍රියාවට නගනු ඇත.

ExoMars Rover Programme (2018)


2018දී රුසියානු එනර්ජියා රොකට්ටුවකි ගුවන්ගත වී අඟහරුවෙත ලඟාවීමට බලපොරොත්තුවන එක්සෝ-මාර්ස් රෝවරය යුරෝපීය එක්සෝ-මාර්ස් ව්‍යාපෘතියේ දෙවන අදියරයි.

රෝවරය ගොඩබැස්වීමේ ලෑන්ඩින් උපක්‍රමය අතීතයේදී චන්ද්‍රයා, අඟගරු හා සිකුරු ග්‍රහයන් වෙත යානා ගොඩබස්වා අත්දැකීම් ඇති රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය විසින් සැළසුම් කරනු ලබන අතර මේ සඳහා 2016 ඊ.ඩී.එම් ලෑන්ඩර් මෙහෙයුමෙන් ලැබෙන දත්ත උපයෝගීකර ගනු ඇත.

අඟහරු දිනකට (සොල්) මීටර් 100ක් බැගින් ගමන් කිරීමට බලාපොරොත්තුවන රෝවරයට බලය ලැබෙන්නේ සූර්යකෝෂ මගිනි.

මෙම රෝවරය අඟහරුමත අතීතයේදී පැවතියා යයි සැළකෙන ජීවීන් විසින් ඉතුරුකර ගිය කාබනික ද්‍රව්‍ය සොයාගැනීම සඳහා විශේෂිත උපකරණ රාශියකින්, කැනීම් සඳහා හිල් විදීමේ ඩ්‍රිල් උපකරණයකින්, අධි-විබේධන කැමරා හා රේඩාර් වලින් සමන්විතය.



Comments

Post a Comment