තාක්‍ෂණික ලොව නවතම නිර්මාණ රැගත් SLIIT RoboFest තරගාවලිය මෙවරත්



ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනය SLIIT සිව්වන වරටත් සංවිධානය කරනු ලබන, SLIIT RoboFest තරගාවලිය 2013 සැප්තැම්බර් 12 සහ 13 දෙදින තුළ මාලබේ SLIIT ආයතන පරිශ‍්‍රයේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. පසුගිය වසරේ සාර්ථකත්වය මත මෙවර රොබෝ තරගාවලිය ඉතා ආකර්ශනීය හා ආනන්දනීය වියහැකි බවත් මෙම කිරුළ දිනා ගැනීමේ අපේක්‍ෂාවෙන් තරගකරුවන් විශාල පිරිසක් තරගයට සහභාගීවනු ඇතැයි ශ‍්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ ආයතනයේ තරග සංවිධායකත්වය පවසයි.

මෙම තරගාවලිය SLIIT ආයතනයේ විදුලි සහ පරිගණක ඉංජිනේරු විද්‍යා අංශය විසින් සංවිධානය කරන අතර මෙමගින් කණ්ඩායම් හැඟීමෙන් යුතුව කටයුතු කිරීමෙන් සමූහිකත්වයත්, සහභාගීවන්නන් අතර සන්නිවේදන කුසලතාවන් වර්ධනය කිරීමට හැකි වීමෙන් තරගාවලිය පැවැත්වෙන දෙදින තුළ තම රොබෝ තාක්‍ෂණික ඥානය සමාජයට විවර කිරීමටද හැකි වනු ඇත.

SLIIT RoboFest තරගාවලිය දිවයින සිව්කොන විසිර සිටින පාසල් සිසුන්ට සහ උපාධි අපේක්‍ෂකයින්ටද විවෘත අතර තනිව හෝ පස්දෙනෙකුගේ කණ්ඩායම් වශයෙන් තම නිර්මාණ ඉදිරිපත් කිරීමේ හැකියාව පවති. පාසල් තරගකරුවන් සඳහා ලබාදී තිබෙන නිර්ණායකයන් තුළ අපේක්‍ෂා කෙරෙනුයේ ජංගම රොබෝ නිර්මාණයක් ඉදිරිපත් කිරීමය. තරගාවලියේ ප‍්‍රාථමික තරග වටය තුල අවසන් මහා තරගයට සහභාගී වීමට වරම් ලබන ජයග‍්‍රාහකයින් දසදෙනා තෝරා ගන්නා අතර මෙහි ජයග‍්‍රාහකයින්ට වටිනා කුසලානයන්ට අමතරව පිළිවෙළින් රුපියල් 50,000ක් ල රුපියල් 25,000ක් සහ රුපියල් 10,000ක් හිමිවේ. මීට අමතරව අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් අතුරින් ඉහලම ලකුණු තිබෙන කණ්ඩායම් තුනට රුපියල් 5000ක මුදල් ත්‍යාගය බැගින් ලබාදීමට සංවිධායකයින් තීරණය කර ඇත.

විශ්වවිද්‍යාල සිසුන් අතර තරගයේදී තනිව හෝ කණ්ඩායම් වශයෙන් තරග කළයුතු අතර අවසන් කණඩායම් දහය තොරාගැනීමෙන් පසු අවසන් වටයේ දී ඔවුන්ගෙන් ජයගන්නා පුද්ගලයින්ට හෝ කණඩායම් තුනට වටිනා කුසලානයන්ට සමගින් රුපියල් 65000, රුපියල් 40000 සහ රුපියල් 20000 බැගින් මුදල් ත්‍යාගද පිරිනමයි.

මෙහිදී ආයතනික තරගකරුවන් සඳහා විවෘත තරග ඉසව්වක් පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇති අතර මෙහි අරමුණ වන්නේ ආයතනික කටයුතු සහ නිෂ්පාදනවල කාර්යක්‍ෂමතාව වර්ධනය කිරීමට රොබෝ තාක්‍ෂණය උපයෝගී කර ගන්නා ආකාරය සමාජයට විවර කිරීමය. මෙම කාණ්ඩයේ ජයග‍්‍රාහකයින්ට වටිනා සහතික පත‍්‍රයක් පිරිනැමීමට SLIIT ආයතන පියවර ගෙන ඇත. මේ පිළිබඳව අදහස් දක්වන SLIIT ආයතනයේ කුලපති මහාචාර්ය එස්.කරුණාරත්න මහතා ‘‘ මෙවර තරගාවලිය වෙනත් වසරවලට වඩා උණුසුම් සහ උද්‍යෝගීමත් වන බව මගේ විශ්වාසයයි. එබැවින් වඩාත් උසස් නිර්මාණ මෙවර අපට දැක ගත හැකි වේවි’’ යනුවෙන් පැවසීය.

‘‘වර්තමාන රැකියා ක්ෂේත‍්‍රය තුළ රොබෝ තාක්‍ෂණය පිළිබඳව යම් හැදෑරීමක් සහිතව සිටීම සිසුන්ට අත්‍යාවශ්‍ය වෙනවා. එමෙන්ම නව නිර්මාණකරණයට පිවිසීමට සහ ඒ තුළින් නව දැනුම ගවේෂණයට සිසුන්ට ඉඩ ලැබෙන බැවින් මෙම තරගාවලිය ඔවුන්ට අතිශය වැදගත් වෙනවා’’ යනුවෙන් SLIIT ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ලලිත් ගමගේ මහතා පැවසුවේය. 

Comments