Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 17 August 2013

මහා විද්‍යාඥ මයිකල් ෆැරඩේ නිර්මාණය කල විදුලි පහණකින් දැල්වුන ශ්‍රී ලංකාවේ මහා රාවණ ප්‍රදීපාගාරය!

*********************************************************************************
මෙම විශේෂාංග ලිපිය ගාල්ල, මධ්‍යම සංස්කෘතික අරමුදලේ, මුහුදු පුරාවිද්‍යා ඒකකයේ ඒ.එම්.ඒ. දයානන්ද හා මහින්ද කරුණාරත්න විසින් ලියා archaeology.lk අඩවියේ පලකරණ ලද අතර, මෙම වැදගත් ලිපියේ ඇති තොරතුරු ලාංකේය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් එම ලිපියේ කොටස් උකහාගෙන මෙම සටහන විද්‍යා ගවේෂණ අඩවියට ඇතුලත් කරන ලදී - කතෘ, විද්‍යා ගවේෂණ
*********************************************************************************

මහා රාවණ පරයේ පිහිටුවා ඇති ප්‍රදීපාගාරය Image Credit: Wikimedia Commons
ශ‍්‍රී ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත‍්‍රීක්කයේ තිස්සමහාරාම ප‍්‍රදේශීය බල ප‍්‍රදේශයට අයත් කිරින්ද හා යාල මුහුදු සීමාව ආශ‍්‍රිතව මහාරාවණා හා කුඩාරාවණා පරයන් ස්ථානගතව ඇත(Silva and etal 2007, 155,191,192). යාල ජාතික වනෝද්‍යානයට කිලෝමීටර් 13ක් ඈත මුහුදේ මහා රාවණා පරය පිහිටා ඇත.

සිංහල හා දෙමළ ජනතාව ස්ථානය රාවණා පරය ලෙසින් හඳුන්වනු ලැබේ. එහෙත් ඉංගිරීසි භාෂාවෙන් හඳුන්වනුයේ Great Basses ලෙසින් වේ. Basses යන්න පෘතුග‍්‍රීසි වදනක් වන Baxios යන්නෙන් බිදී ආවක් ලෙසින් සැලකෙයි. එහි අර්ථය "පරය”(Reef or Shoal)  යන්න වේ. ඒ අනුව Great Basses යන්නෙහි සරළ අර්ථය Great Reef (මහාපරය) යන්න ය. (Clerk and Wilson 1964, 12). ඈත අතීතයේ සිටම නාවිකයන්ට මහත් හිසරදයක් වූ මහාරාවණ හා කුඩාරාවණ ගල් පර දෙක ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වේ. එකිනෙකට නිශ්චිත දුරකින් පිහිටියා වූ මෙම පර දෙක හිරිගලින් නිර්මාණය වූවකි.

කිරින්දේ සිට කිලෝමීටර 15ක් පමණ දුරින් පිහිටි මහාරාවණ පරය කිලෝමීටර 25ක පමණ දුරට විහිදී ඇත. එමෙන්ම කිරින්දේ සිට කිලෝමීටර 22 ක් පමණ දුරින් පිහිටි කුඩා රාවණ ගල් පරයේ දිග කිලෝමිටර 35ක් පමණ ය  (Silva and etal 2007, 21). නැගෙනහිර බටහිර ලොව සම්බන්ධකරවන ජාත්‍යන්තර නාවික මාර්ගය මෙම පර පන්තීන් අසලින් වැටී තිබීම හේතුවෙන් අනාදිමත් කාලයක සිට සිදු වූ නාවික හා ජීවිත අනතුරු ප‍්‍රමාණය කෙතෙක් දැයි ප‍්‍රකාශ කළ නොහැක.

මහා රාවණ කොරළ් පරය හා ප්‍රදීපාගාරය, ගූගල් අර්ත් පෙන්වන ආකාරය (C) Google Maps, Google Earth

දිගින් දිගටම රාවණා පරයන්හී ගැටී නාවික අනතුරු බහුල ව සිදුවීම පිළිබදව අවධානය යොමුකළ එකළ ලංකාව පාලනය කළ බි‍්‍රතාන්‍යය රජය මෙම අනතුරුවලින් ගැලවීමට සැලසුම් සැකසී ය. ඒ අනුව රාවණාපරයන්හී ගැටී නෞකා විනාශය පිළිබදව පර්යේෂණ කිරීමට ශ‍්‍රීමත් ජේ. ජේ. බ්‍රේමර් හා කපිතාන් ඩබ්ලිවි. එස්. ඩෝසන් පත්කෙරිණි. මේ පිළිබදව පර්යේෂණ කළ ඔවුන් ඉන් වැළකීම සඳහා යෝජනා ඉදිරිපත්කරන්නට විය. ඒ අනුව, දෙවුන්දර තුඩුවේ පහන් ටැඹක් ද, ත‍්‍රීකුණාමලයේ නාවික කොඩි කුළුණක් ද, මහාරාවණා කොටුවේ බීකන් පහන් කණුවක් ද, එයට අමතරව කුඩා රාවණා කොටුවේ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම ද යනා දී යෝජනාවන් ඉදිරිපත් කොට ඇත (විජේබණ්ඩාර 2011, 161). එම යෝජනා අතරින් කඩිනමින් ක‍්‍රියාත්මක කළ හැකිව තිබූ යෝජනාවක් වූ සංඥා නිකුත් කරන යාත‍්‍රාවක් රදවා තැබීම යන අදහස අනුව යමින්, සංඥා නිකුත්කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා පරය ආශ‍්‍රිතව නවතා තැබීමට තීරණය විය.

එහි කපිතාන් ලෙසට බුවනන් පත්කරණ ලදි. ඔවුන් ගොඩබිම හා නෞකාව අතර සම්බන්ධතාවය පවත්වා ගනු ලැබුයේ සංඥා නෞකාවේ පැවති කුඩා යාත‍්‍රාවක් මඟිනි. කපිතාන් බුවනන් හා පිරිස ඉතාමත් කටොර හා අවධානම් රජාකාරියක යෙදීමෙන් රාවණා පර පන්තිය සිට අනගි මෙහෙයක් ඉටුකළ ද ඔවුන්ගේ එම රාජකාරිය එතරම් පහුසු කටයුත්තක් නොවීය. වරක් නෞකාවේ සිට ගොඩබිමට ගිය පිරිසක් පොත්තන වෙරළ තීරයේදී අතුරුදහන් වී ඇත. තවත් විටෙක කපිතාන් බුවනන් ඇතුලූ පිරිස ගමන්ගත් යාත‍්‍රාව ගල් පරයක වැදී පෙරලී ඇති අතර එහි ගමන්ගත් දෙදෙනකු මියගිය බවත් බුවනන් ඇතුලූ ඉතිරි පිරිස පිහිනා දිවි බේරා ගෙන ඇති බවත් සඳහන් වේ. එමෙන්ම මෙම නෞකාවෙන් සපයන සේවය වෙනුවෙන් එහි සේවය ලබාගන්නා නෞකාවන්ගෙන් බඳු මුදලක් ලබාගන්නා ලදි. මේ තුලින් වසරකට පවුම් 1300ක මුදලක් ඉපැයු බව පැවසේ (විජේබණ්ඩාර 2011, 161-162).

සංඥා නිකුත් කරණ යාත‍්‍රාවක් කුඩාරාවණා ආශ‍්‍රිත නවතා සිඳුකළ සේවය එතරම් සර්ථක නොවීමෙන් කඩිනමින් ස්ථාවර ප‍්‍රදීපාගාරයක අවශ්‍යතාව මතුවිය. ඒ අනුව මෙම කලාපය පාලනය කළ බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ අද්මිරාල් පේලෝ කඩිනමින් රාවණාපරයේ ප‍්‍රදීපාගාර කුළුණූ ඉදිකරණ ලෙස බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා සිටියේ ය. බි‍්‍රතාන්‍ය රජය එම ඉල්ලීම පිළිගනිමින් පවුම් 40000ක (ඩොලර් 250, 000) මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන්කරණ ලදි. නමුත් වසර 3ක පමණ පරිශ‍්‍රමයක් දැරුව ද ඔවුනට හැකි වූයේ කොඩි කුළුණක් ඉදිකිරීමට පමණක් වී ඇත  (Clerk and Wilson 1964, 13).

ඒ අනුව බි‍්‍රතාන්‍යයේදීම යකඩින් නිර්මාණය කළ විදුලි ලාම්පුවක් සහික කුළුණු කොටස් ගාලූ වරායට නැව් මඟින් ගෙනෙනු ලැබූව ද, රාවණා පර පන්තිය වෙත ගෙනයෑමට කළ උත්සහය අසාර්ථක වී ඇත. අනතුරුව එය බහමාස් දුපතේ (කැරිබියන් දුපත් ආශ‍්‍රිත) ඉදිකරනු ලැබූ බව සඳහන් වේ (Clerk and Wilson 1964, 13,  විජේබණ්ඩාර  2011, 163).

මුල් උත්සහය අසාර්ථකව අතහැර දැමුව ද ප‍්‍රදීපාගාරයක් ඉදිකිරීමේ කටයුතු අතහැර දැමීමට බි‍්‍රතාන්‍යයේ රජය සුදානම් නොවී ය. ඒ අනුව දෙවන ව්‍යාපෘතිය ආරම්භකරමින් ඉදිකිරීම් කටයුතු සඳහා ප‍්‍රදීපාගාර ඉන්ජිනේරුවකු වූ ජේ. එන්. ඩග්ලස් (J. N. Douglass)  වෙත පවරන ලදි. මේ සඳහා බි‍්‍රතාන්‍යයේ ක‍්‍රියාත්මක ටි‍්‍රනිටි හවුස්(Trinity House) ආයතනය සහයෝගය ලබා දී ඇත.

එවක මහා බ්‍රිතාන්‍යයේ ජිවත්වුනු ශ්‍රේෂ්ඨ බ්‍රිතාන්‍ය විද්‍යාඥයෙකු DC විදුලි මෝටරයේ නිර්මාතෲවූ මයිකල් ෆැරඬේගේ (වසර 1791-1870) සහයෝගය ඇතුව ප‍්‍රදීපාගාරයේ විදුලි පහණ නිර්මාණය කරනු ලැබීය  (Clerk and Wilson 1964, 13). ස්කොට්ලන්තයේ දී කපා සකස් කොට ගත් ටොන් 2 හෝ 3 බරැති ගල් කුටිටි දහස් ගණනක් නැව් මඟින් ගාලූ වරායට ගෙනවිත් ගාල්ලේ සිට නෞකා මඟින් රාවණා පරය වෙත ගෙනයන ලදී. එහිදී රාවණා පරයේ සවිකළ දොඹකරයක් ආධාරයෙන් ගල් කුට්ටි හිරිගල් පරය මත තබා ප‍්‍රදීපාගාරයේ ඉදිකිරීමේ කටයුතු 1870 දී ආරම්භ කොට ඇත. මෙසේ ඉතා දුෂ්කර තත්ත්වයේ ඉදිකළ ප‍්‍රදීපාගාරයේ ප‍්‍රථම ආලෝක ධාරාව විහිදුවාලීම 1873 වර්ෂයේ මාර්තු10 දින සිදුවී ඇත(Clerk and Wilson 1964, 14).

මෙලෙස අතිශය ශක්ති සම්පන්නව 1870දී නිර්මාණය කරන ලද මේ ප්‍රදීපාගාර කුළුණ, දැන් වසර 143ක් පැරණි වන අතර, 2004 වසරේ සුනාමි රළ පහර මෙම ප්‍රදේශයේදී ඉතා ප්‍රභලව එල්ලවූවත්, පැරණි ඉන්ජිනේරුවන් මෙය ඉතා ශක්තිසම්පන්නව නිර්මාණය කරතිබූ හෙයින්, එම රළ පහරින් මෙම ප්‍රදීපාගාරයට ඉතා සුලු හානියක් සිදුවූ බව වාර්තාවේ.



Related Posts Plugin for WordPress, Blogger...