අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

FUTURE : හෙට දින කෘෂිකර්මය :: හිරු එලිය >> විදුලිය >> මුහුදු ජලය >> පිරිසිදු ජලය >> තක්කාලි වගාව!!



දකුණු ඔස්ට්‍රේලියාවේ සන් ඩ්‍රොප් ෆාම්ස් නම් වාණිජ ගොවිපොල අලුත්ම වැඩක් පටන් අරගෙන. ඒ දකුණු ඔස්ට්‍රේලියාවේ පෝර්ට් අගුස්ටා ප්‍රදේශයේ දැඩි ශුෂ්ක දේශගුණයක් ඇති ප්‍රදේශයක, සම්පූර්ණයෙන්ම සූර්ය බලයෙන්  ක්‍රියාත්මක වන එළවලු ගොවිපොලක් ආරම්භ කිරීමයි.

අධික උෂ්ණත්වයක් ඇති, ජලය ඉතා හිඟ මේ ප්‍රදේශය හිරු එලියෙන් විදුලිය නිපදවීමට නම් ඉතාම හොඳයි. සන්ඩ්‍රොප් ෆාම්ස් සමාගම ඉස්සෙල්ලම කලේ මෙගාවොට් 39ක සූර්ය බළාගාරයක් හැදීමයි.  මේ සූර්ය බළාගාරය, සූර්ය කෝෂ වලින් විදුලිය නිපදවනවා වෙනුවට දර්පණ මගින් හිරු එලිය නාභිගත කොට, එසේ නාභිගත වන දැඩි තාපය මුහුදු ජලය උණුකොට හුමාලය බවට හරවන්නට භාවිතා කරනවා. මේ හුමාජයෙන් විදුලි ජෙනරේටර් ධාවනය වන අතර, පසුව ඝණීභවනයවූ විට ඒවා ලුණු රහිත පිරිසිදු මිරිදිය ජලය බවට හැරෙනවා. වගාව සඳහා යොදාගන්නේ මේ මිරිදිය ජලයයි.

කිලෝමීටර් 2ක් ඈතින් පිහිටි මුහුදින් (ස්පෙන්සර් ගල්ෆ් ප්‍රදේශය ) මුහුදු ජලය පොම්ප කරන අතර ජලය පොම්ප කිරීමට හා ලවණ ඉවත්කිරීමට පාවිච්චි කරන්නේ ජනනය වන විදුලියයි. මෙලෙස දිනකට ජල ලීටර් මිලියනයක් පමණ පිරිසිදු කරන අතර එම ජලය හරිතාගාරවල ඇති පැල 18,000ක තක්කාලි වගාව සඳහා යොදනවා.

දර්පණ 23,000ක් මගින් පරාවර්තනය වන සූර්යතාපය  නාභිගත වන්නේ මේ කුලුණේ මුදුනටයි.


සන්ඩ්‍රොප් තක්කාලි වගාව - වසර පුරාම, කෘමිනාෂක හා වල් නාෂක නොමැතිව හරිතාගාරවල වැඩෙයි.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments