Related Posts Plugin for WordPress, Blogger...

Friday, 18 August 2017

MEMORIAL : රේ විජේවර්ධන - අදින් සත් වසරකට පෙර අපෙන් සමුගත් සුපිරි ඉන්ජිනේරුවා


ෆිලිප් රේවත විජේවර්ධන - නැතිනම් දන්නා අය රේ විජේවර්ධන කියලා හඳුන්වන, හිතවතුන් "රේ" යන ආදර නාමයෙන් ආමන්ත්‍රණය කල, ලක්මව බිහිකල අති දක්ෂ පුතෙකු, මීට වසර 7කට පෙර, 2010 අගෝස්තු 18 වැනිදා නිහඬවම අවසන් ගමන් ගියා.

රේ විජේවර්ධන වැඩියෙන්ම කතාබහට ලක්වුනේ ඔහු 1955දී හරිත විප්ලවයට රුකුලක් ලෙසින් නිර්මාණය කල, රෝද දෙකේ අත්ට්‍රැක්ටරය නිසා. අදටත් මේවා "ලෑන්ඩ් මාස්ටර්" ලෙස හඳුන්වන්නේ, රේ නිර්මාණය කල ඒ යන්ත්‍රය නිෂ්පාදනය කරන්නට එන්ගලන්තයේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට පේටන්ට් බලපත්‍ර අවසරය  ලබාදුන් නිසා.

ලෑන්ඩ් මාස්ටරය නිසා තම කුඩා කුඹුර අස්වද්දාගන්නට, අස්වැන්න කපා, පාගා ගන්නට දහදුක් විඳින ගොයි මහත්තුරුන් කී දහසකගේ කටුක ජීවිතයට සහනයක් වුනාද? අද ලෑන්ඩ්මාස්ටරයකුයි, අමතර උපාංග ටිකයි කුලියට අරගෙන පවුලේ අයටම තම කුඹුර අස්වද්දා ගන්නට පුලුවන් වෙලා තියෙන්නේ රේ විජේවර්ධනගේ නිර්මාණයට පින්සිදු වන්නට කියා කිවහොත් වරදක් නැතැයි සිතනවා.

රේ විජේවර්ධනගේ පවුල් පසුබිම

රේ ලංකාවේ ධනවත්, වගේම දේශපාලනික හා ව්‍යාපාරික ලෝකයේ ප්‍රභල පවුල්වලට ලේ නෑකම් දක්වන්නෙක්. රේ ගේ පියාවූ දොන් එඩ්මන්ඩ් විජේවර්ධන සුප්‍රකට ලේක්හවුස් පුවත්පත් සමූහය ආරම්භකල ඩී ආර් විජේවර්ධනගේ සොයුරාවූ අතර මව කොරින් ඇමැන්ඩා ජෙනින්ග්ස් යටත් විජිත ලංකාවේ ධනවත් ප්‍රභූපවුලක තැනැත්තියක් වූවාය. මව හා පියා යන දෙදෙනාම ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් වුනා.

1949දී ඔහු සීලා ද මෙල් මෙනෙවිය සමග විවාහවූ අතර ඇය ලංකාවේ පලමුවෙන්ම නයිට් පදවිය (CBE) ලැබූ ශ්‍රී ලාංකිකයාවූද, H L De Mel සමාගම් සමූහයේ හිමිකරුවූද  සර් හෙන්රි ද මෙල් ගේ සොයුරාගේ දියණිය වුනා. සුප්‍රකට ව්‍යාපාරික උපාලි විජේවර්ධන හා හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන රේ විජේවර්ධනගේ ලඟම ඥාතීන් වූවා. අනෝමා, රොෂ්නී හා මැන්ඩී යන දියණියන් තිදෙනෙක් ලැබූ වාසනාවන්ත පියෙකු වූ රේ අවුරුදු 85ක් ආයු වැලඳූවා.

අධ්‍යාපනය

කොළම ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ රේ, පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පීටර්හවුස් අධ්‍යයන පීඨයට ඇතුලත්ව යාන්ත්‍රික ඉන්ජිනේරු විද්‍යාව, ගගන ඉන්ජිනේරු විද්‍යාව හා කෘෂිකාර්මික ඉන්ජිනේරු විද්‍යාව යන ඉන්ජිනේරු විද්‍යා අංශ තුනම හදාරා පස්චාත් උපාධි දිනාගත්තා. උපාධි දිනාගැනීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ ඉන්ජිනේරු කවුන්සිලයේ හා ලංකා ඉන්ජිනේරු කවුන්සිලයේ සාමාජිකත්වය ලබාගෙන වරලත් ඉන්ජිනේරුවෙකු ලෙස ලියාපදිංචිවූවා. පසුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාරික කලමණාකරණය පිලිබඳව ඩිප්ලෝමාවක්ද ඔහු දිනාගත්තා.

කෘෂිකර්මාණ්තයට සිදුකල දායකත්වය.

කලින් කලට දැඩි නියං හා අවාභාවික ආපදා නිසා ආසියාතික හා අප්‍රිකා රටවල් දහස් ගණන් කුසගින්නේ මියයන දුර්භික්ෂ නිමා කිරීම සඳහා 1950 ගණන්වලදී හරිත විප්ලවය ලෙසින් හඳුන්වන ලෝක ව්‍යාප්ත වැඩපිලිවෙලක් ආරම්භවුනා. වී ආදී ධාන්‍යවල අස්වැන්න වැඩිකොට, වගා භූමිප්‍රමාණය වැඩිකිරීමේ තාක්ෂණයන් දියුණු කිරීම හා ගොවි ජනයාට සම්ප්‍රේෂණය කිරීමේ මහා පරිමාණ වැඩ පිලිවෙලක් වූ හරිත විප්ලවය මැක්සිකෝව, අග්නිදිග ආසියාව හා ඉන්දියාව රටවල ඉමහත් උද්යෝගයෙන් ක්‍රියාත්මකවූ අතර ශ්‍රී ලංකාවද මෙම වැඩ පිලිවෙලේ ඉදිරියෙන්ම සිටියා.

රේ හැදූ අත්ට්‍රැක්ටරය
කුඩා කට්ටිවල ගොවිතැන් කරන ආසියාතික ගොවීන්ටද බටහිර රටවල ගොවි අස්වැන්න අධික ලෙස වැඩි කල යාන්ත්‍රික විප්ලවයේ ප්‍රතිපල ලබාදීමට කුඩා ට්‍රැක්ටරයක් නිපදවීමේ උත්සයක් රේ සිය ඉන්ජිනේරු හා කෘෂිකාර්මික දැනුම යොදාගෙන ඇරඹූ අතර එහි ප්‍රතිපලයක් ලෙස  රෝද දෙකේ  අත් ට්‍රැක්ටරය නිර්මාණය වුනා.

එම ට්‍රැක්ටරය නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍යයේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට නීතිමය අයිතිය ලබාදුන් අතර අදටත් රෝද දෙකේ අත්ට්‍රැක්ටරය ලෑන්ඩ්මාස්ටර් එක ලෙස හඳුන්වන්නේ ලංකාවට පලමුවෙන්ම ගෙන ආ අත්ට්‍රැක්ටර් ලෑන්ඩ්මාස්ටර් සන්නාමයෙන් පැමිණි නිසාය.

රේ සිය නිර්මාණය අග්නිදිග ආසියාවට හඳුන්වාදෙමින්
1970 ගණන්වලදී රේ විජේවර්ධන එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන හා ලෝක බැංකුවේ ඝර්මකලාපීය කෘෂිකර්මාණ්තය පිලිබඳව විශේෂඥයෙකු ලෙස සිය දායකත්වය ලබාදුන් අතර 1973-1974 කාලයේදී මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර පිහිටි Mechanization and Automation Research Centre (MARDI) ආයතනයේ ප්‍රධාන ඉන්ජිනේරු තනතුර ඉසිලුවා. 1975-1980 කාලයේ නයිජීරියාවේ International Institute of Tropical Agriculture (IITA) ආයතනයේ කෘෂිකර්මාණ්ත ඉන්ජිනේරු විද්‍යාව පිලිබඳව ප්‍රධානියා ලෙස කටයුතුකලා.

1950 ගණන්වල සිට 1980 පමණ වන තෙක්ම කෘෂිකර්මාණ්තයේ පලදාව වැඩි කිරීමට කුඩා යන්ත්‍ර හඳුන්වාදීමට මහත් මෙහෙයක් කල රේ පසුව සිය අවධානය තිරසාර (sustainable) හා සංරක්ෂණ (conservation) කෘෂිකර්මාණ්තය වෙත යොමුකලා. හරිත විප්ලවය සාර්ථකව ජයග්‍රහණය කලත් ඉන් ඇතිවූ අතුරු ප්‍රතිපලවූ අධික පොහොර භාවිතය හා අධික කෘමි/වල් නාෂක භාවිතය නිසා ගොවි ප්‍රජාවට, පරිසරයට මෙන්ම පාරිභෝජන ජනතාවටද ඇතිවී ඇති හානිය අත්දැකීමෙන් දැක්ක රේ, සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම නවීන ආකාරයට හඳුන්වා දෙන්නට උත්සහ කලා.

1980 ගණන්වලදී රේ විජේවර්ධන, ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාත සමග එක්ව "Conservation Farming for Small Farmers in the Humid Tropics" නම් පොතක් පලකලා. ආසියාවේ, අප්‍රිකාවේ හා දකුණු ඇමරිකාවේ සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම වල ඇති පරිසර හිතකාමී බව හා ඒ සාම්ප්‍රදායික ක්‍රම නූතන කෘෂිකර්මාණ්තයට යොදාගත හැකි ආකාරය පිලිබඳව ගවේෂණයක් මෙන්ම රූපසටහන් අතිවිශාල ප්‍රමාණයක් සමග ඇති අත්පොතක් ලෙසද භාවිතාකල හැකි පරිදි ලියා තිබෙනවා.

ආනත කෘෂිකාර්මික ඉඩම් තාක්ෂණය - Sloping Agricultural Land Technology (SALT)

ලොව පුරා ඝර්මකලාපීය රටවල සාම්ප්‍රදායික ගොවීන් ඇසුරු කරමින් ඔවුන් නව ගොවිතැන් ක්‍රම වලට හුරුකරන්නට උත්සහ කල රේ විජේවර්ධන කල් යත්ම සාම්ප්‍රදායික ගොවිතැන්වල පරිසර හිතකාමී බව හා තිරසාරත්වය පිලිබඳව අවබෝධකර ගත්තා. මින් එක් වැදගත් අවබෝධයක් නම් ඝර්මකලාපීර රටවල කෘෂිකාර්මික පස සේදීයාම / හුලඟට ගසාගෙන යාම වැලැක්වීමේ වැදගත් කමයි.

මේ සඳහා රුක් ආවරණ යෙදිය හැකි ක්‍රම පිලිබඳව අධ්‍යයනය කල ඔහු පිලිපීනයේදී 1970 ගණන්වලදී වැඩිදියුණුකල, කඳුකර ප්‍රදේශවල භාවිතාකල හැකි Sloping Agricultural Land Technology (SALT) උපක්‍රමය ප්‍රවර්ධනය කරන්නට වෙහෙසුනා.

වේගයෙන් වර්ධනය වන, පසට නයිට්‍රජන් එකතුකරන රනිල කුලයේ ශාඛ කඳුවැටිවල වැවීමෙන් මේ අරමුණ සාර්ථක කරගත හැකි බව පිලිපීනයේ අත්දැකීම් වලින් පෙනීගොස් තිබුණු අතර රේ, එම තාක්ෂණය ලංකාවේ හා වෙනත් රටවල අනුවර්තනය කරගත හැකි ආකාරය අධ්‍යයනය කරමින් එම සරල තාක්ෂණය ප්‍රවර්ධනය කරන්නට පටන් ගත්තා.

ජාත්‍යන්තර වගකීම් වලින් මිදී 1980 ගණන්වලදී ලංකාවට පැමිණි රේ විජේවර්ධන පූර්ණකාලීනව සෝල්ට් තාක්ෂණය ලංකාවේ කඳුකර ගොවි බිම්වලට හඳුන්වාදීමට වෙහෙසුනා.මුලින් මේ ප්‍රදේශවල දුම්කොල වගාකල ලංකා දුම්කොල සමාගම සමග කටයුතු කල රේ විජේවර්ධන, පසුව එම තාක්ෂණය තේවතු සමාගම්වලටද හඳුන්වාදෙන්නට කටයුතුකලා. දුම්කොල සමාගමේ ගරු උපදේශක තනතුරක් දරමින් කුඩා දුම්කොල ගොවීන්ට සෝල්ට් තාක්ෂණය අනුව අඩු වියදමකින් පස සංරක්ෂණය කරගත හැකි ආකාරය කියාදුන් රේ ගේ වෑයම නිසා 1997දී ලංකා දුම්කොල සමාගම ලංකාවේ පස සංරක්ෂණ කටයුතු සඳහා වූ දායකත්වය අගැයිමට Worldaware Award for Sustainable Development සම්මානය දිනාගත්තා. මේ සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාකලේ රේ විජේවර්ධන මහතායි.

සෝල්ට් තාක්ෂණයෙන් පස සුරැකීම සඳහා රනිල කුළයේ ශාකයක් වන ගිනිසීරියා / වැටහිරියා / ඇල්බීසියා යන නම් වලින් හැඳින්වූ Gliricidia sepium ලංකාව තුල ප්‍රවර්ධනය කරන්නට රේ කටයුතුකලා. වේගයෙන් වැඩෙන ගිනිසීරියා ගසේ අතු හා කොල පාංශු ආවරණයක් මෙන්ම පොහොරක් ලෙසත් යොදාගත හැකියි.

දැඩි ලෙස පාංශු ඛාදනයට බඳුන්වූ උඩුදුම්බර, හඟුරන්කෙත දඩයම්පොල ග්‍රාමයේ රේ විජේවර්ධන සිය ගිනිසීරියා ව්‍යාපෘතිය 1989දී ඇරඹූ අතර වසර තුනක් යනවිට එම ප්‍රදේශයේ ගොවිබිම්වල පාංශු තත්වය (soil quality) විශාල ලෙස වර්ධනය වූවා. රේ ගේ කෘෂිකාර්මික ඥාණයට සී.ටී.සී සමාගමේ මූල්‍ය ශක්තිය මුහුවී ගිනිසීරියා පැල මහා පරිමාණයෙන් රෝපණය කොට ගොවීන් අතර බෙදාහැරීමේ ව්‍යාපෘතියක් ඇරඹුනා. ගිනිසීරියා පැල සෝල්ට් තක්ෂණයට අනුව වගාබිම්වල රෝපණය කිරීම සඳහා දුම්කොළ සමාගම ගොවීන්ට දිරිදීමනාවක්ද ලබාදුන්නා.

දඩයම්පොල ලැබූ සාර්ථකත්වය මත මුලු මහත් කඳුකරයේම දුම්කොළ ගොවීන් සෝල්ට් තාක්ෂණයට අනුවර්තනය වී සිය ගොවිබිවල ගිනිසීරියා වගාකරමින් පස සංරක්ෂණයට දායකවුනා. 1989දීම රේ විජේවර්ධන තේ පර්යේෂණ ආයතනයේ සභාපති බවට පත්කරන ලද අතර ඒ අනුව සෝල්ට් තාක්ෂණය තේ කර්මාණ්තය තුලටද ව්‍යාප්තකරන්නට රේ විජේවර්ධනට හැකිවුනා.

පුණර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනයට රේ විජේවර්ධනගේ දායකත්වය


ලංකාව අතිවිශාල ලෙස බොරතෙල් ආණනය කරමින් විදුලි ජනනය සඳහා පවා බොරතෙල් මත යැපෙන්නට සිදුවෙනු ඇතැයි අනාවැකි පලකල රේ ලංකාවේ බළශක්ති සුරක්ෂිතතාවයට (අනාගතයේ බළශක්තිය ලබාගැනීමේ හැකියාව සුරැකීම) අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරගැනීමට මහත් වෙහෙසක් ගත්තා. පුණර්ජනනීය බලශක්තිය සූර්ය බලය, සුලං බලය හා ජීව-ද්‍රව්‍ය බළශක්තිය (bio-mass energy) ආදී විවිධ බළශක්ති ප්‍රභව භාවිතාකරමින් ශ්‍රී ලංකාවේ බළශක්ති ප්‍රභව විවිධාංගීකරණයට බන්ඳුන්විය යුතු බවයි ඔහුගේ යෝජනව වූයේ. අනවශ්‍ය ලෙස ජලවිදුලිය මත යැපීම භයානක බව ඔහු පෙන්වා දුන්නා.

කුඩා ජලවිදුලි බළාගාර (mini hydro-electric plants) තවත් ඔහු කැපවීමෙන් ප්‍රවර්ධනය කල ව්‍යාපෘතියක්. එමගින් තේ වතු ආදී කර්මාණ්තශාලාවලට ප්‍රධාන විදුලි සැපයුමෙන් විසන්ධිවී විදුලිය ජනනය කරගෙන පිරිවැය අඩුකරගත හැකි බව ඔහු පෙන්වා දුන්නා.

ඩෙන්ඩ්‍රෝ බළශක්ති ව්‍යාපෘතිය

ඩෙන්ඩ්‍රෝ බළශක්ති ව්‍යාපෘතිය නමින් පුණර්ජනනීය බළශක්ති ව්‍යාපෘතියක් ආරම්භකල රේ, එම බළශක්තිය නිපදවීම සඳහා වේගයෙන් වැවෙන ශාක යොදාගත හැකි බව  පර්යේෂණාත්මකව තහවුරු කලා. එම  වෙනත් කෘෂිකාර්මික වගා සඳහා යොදාහත නොහැකි බිම්වල මේ ශාක වාණිජමය ලෙස වගාකොට ගැමි ජනතාවට ආදායම් මාර්ගයක් ලබාගත හැකි බවද ඔහු පෙන්වා දුන්නා.

රනිල කුළයේ ගිරිසීලියා ශාක කොටස් දහනයෙන් බළශක්තිය නිපදවන 4 kW බලාගාරයක් නිර්මාණය කල රේ, එය කාක්කපල්ලියේ පිහිටි සිය පොල් වත්තේ පිහිටුවා, වත්තේම වවාගත් ගිරිසීලියා ශාකවලින් ක්‍රියාත්මක කරවූවා. එම කුඩා ඩෙන්ඩ්‍රෝ බළාගාරය වසර ගණනාවක් සාර්ථකව ක්‍රියාත්මකකරවිමින් සිය කල්පිතයේ ප්‍රායෝගිකත්වය ඔප්පුකලා. මෙමගින් ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ නොවූ ගම්මාන වලට විදුලිය ලබාදීමට යෝජනා කල රේ, එම බලාගාරවලට අවශ්‍ය ගිරීසීලියා, එම ගම්මානවලම වවාගැනීමට හැකි බවද පෙන්වා දුන්නා. පසුව ඔහු කිලෝවොට් 35ක ගිරිසීලියා දහන ඩෙන්ඩ්‍රෝ බලාගාරයක් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ අනුග්‍රහයෙන් ඉදිකල අතර එය තවමත් ක්‍රියාත්මක බවයි වාර්තාවෙන්නේ.

මේ සාර්තකත්වයෙන් පසුව ලංකා ට්‍රාන්ස්ෆෝමර් හා ලංකා දුම්කොළ සමාගම්වල දායකත්වයෙන් නුවර එලිය, වළපනේ මෙගාවොට් 1ක ඩෙන්ඩ්‍රෝ බළාගාරයක් පිහිටවන්නට ක්‍රියාකලා. 2009දී ත්‍රිකුණාමළයේදී මෙගාවොට් 10ක ඩෙන්ඩ්‍රෝ බළාගාරයක් පිහිටුවන්නට රේගේ උත්සහයයෙන් හැකිවූ අතර එය හොඳින් ක්‍රියාත්මකවන බවයි පැවසෙන්නේ.

රේ විජේවර්ධන නැමති ප්‍රායෝගික චින්තකයා ( Ray, the thinker and tinkerer)

රේ විජේවර්ධනගේ දස්කම් විස්කම් මෙතෙක් වේලා කියැවූ ඔබට ඔහු ප්‍රායෝගික චින්තකයෙක් බව අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය නැතැයි සිතනවා. රේ සෑම විටම වැදගත් ලෙස සැළකූයේ න්‍යායයන් නොව, ප්‍රායෝගිකත්වයයි.

රේ වරක් පැවසූ අන්දමට, ලංකාව මෙන්ම වෙනත් සංවර්ධනය වෙමින් පවතින රටවල කෘෂිකාර්මික පර්යේෂණ මෙන්ම වෙනත් පර්යේෂණවල ප්‍රතිපල හා ප්‍රතිලාභ ගොවියාට හා ජනයාට කාන්දුවන්නට කල්ගත වන්නේත්, බොහෝවිට එම පර්යේෂණ, විද්වත් පර්යේෂණ පලකරන සඟරාවලට සීමා වන්නේත් අපගේ පර්යේෂකයින් බොහෝ දෙනෙකු ප්‍රායෝගිකව එම කාර්යයන්ගේ නිරත නොවීමයි. කෘෂිකර්ම පර්යේෂකයින් බොහෝ දෙදෙනෙකුට තමන්ගේම කියා එළවළු වගාවක් හෝ නොමැතිකල, සපත්තු ගලවා කුඹුරට, ගොවිපොලට නොබසින කල, ඔවුන්ගේ පර්යේෂණ, ලියවලි වලට පමණක් සීමාවීමේ ඉඩකඩ ඇති බවයි රේ පැවසූවේ.

"මා බොහෝ වරක් උත්සාහකර තිබෙනවා මා ඇසුරු කල උගත් කෘෂිකාර්මික විශේෂඥයින්ට මාත් සමග කුඹුරකට බැස, මීහරක් බානක් යොදාගෙන කුඹුරක් සීසාන්නට උනන්දුකරන්නට.. එහෙත් කිසි දිනක ඔවුන් කැමතිවුනේ නෑ මී හරකුන් සමග මඩේ එරෙන්නට. එහෙත් ඉතින් එහෙම කරන්නේ නැතිව කොහොමද කෘෂිකර්මාණ්තය සංවර්ධනය කරන්නේ? ගොවියෙක් හරක්බානක් එක්ක විඳින දුක දන්නේ නැතිව, ගොවි බිම්වලට ටැක්ටර් දමන්නට යාමෙන් වෙන්නේ ලාබ මී හරකා වෙනුවට වියදම් අධික ට්‍රැක්ටරේ ආදේශවීම විතරයි. එය කෘෂිකර්මාණ්තය යාන්ත්‍රිකකරණය නෙමෙයි."

ඇත්තටම ඇයි පාරම්පරිකවම අපේ (හා ලෝකයේ වෙනත්) වී ගොවීන් කුඹුර සීසාන්නේ? මඩ කරන්නේ?

තමන්ගෙන්ම මේ ප්‍රශ්ණය අසාගත් රේ, ඒ පිලිබඳව කල අධ්‍යයනයකින් පසුව ඔහුට පෙනීගියේ ඝර්මකළාපයේ වී ගොවීන් කුඹුරක් සීසාන්නේ වෙනත් කිසි හේතුවක් නිසා නොව, කුඹුරක වල්පැල පාලනයට හොඳම සාම්ප්‍රදායික ක්‍රමය කුඹුර සීසාලා, පස පෙරළන එක වීමයි. "එහෙමනම් විසඳන්න ඕනෑ වඩාත් හොඳින් කුඹුරක් සීසාන්නේ කොහොමද කියන ප්‍රශ්ණය නෙමෙයි. විසඳන්න ඕනෑ, වඩාත් කාර්යක්ෂමව වල් නසන්න පුලුවන් කොහොමද කියන ගැටලුවයි..."

තමාගේම ගුවන්යානා සාදා ගුවන සැරිසැරූ ගගන යාත්‍රිකයා

රේ, තමන් නිර්මාණය කල ගුවන්යානය සමගම බොල්ගොඩ වැවේදී 
තරුණයෙකු ලෙස බ්‍රිතාන්‍යයේ ගගනවිද්‍යාව හැදෑරූ රේ විජේවර්ධනට බ්‍රිතාන්‍යයෙන් බිහිවූ කීර්තිමත්ම ගුවන්යානා නිර්මාපකයාවූ සර් ජෙෆ්‍රි ඩී හැවිලන්ඩ් යටතේ අභ්‍යාසලාභියෙකු ලෙස ගුවන්යානා ඉන්ජිනේරු තාක්ෂණය ඉගෙන ගන්නට වාසනාව ලැබුනා. ඩි හැවිලන්ඩ් දෙවන ලෝක යුධ සමයේ රාජකීය ගුවන් හමුදාවට නිර්මාණය කල De Havilland Mosquito - Fighter/Bomber  යානය එකල ලොව හොඳම යුධ ගුවන්යානය බවට පිලිගැනුනා. එමෙන්ම හැවිලන්ඩ් නිර්මාණය කල De Havilland Comet Jetliner මගී ප්‍රවාහන යානය ලොව පලමු  මගී ප්‍රවාහණ ජෙට් ගුවන්යානය ලෙස වාණිජ ගුවන්සේවාවලට එක්වුනා.

හැවිලන්ඩ් වැනි ලෝක පූජිත ගගනයාත්‍රා නිර්මාපකයෙකු සෙවනේ ගගනවිද්‍යාව උගත් රේ, සිය ජීවිතයේ බොහෝ කාලයක් විනෝදාංශයක් ලෙස සිදුකලේ ගුවන්යානා නිර්මාණය හා එලෙස නිර්මාණය කල යානා තමන්ම පියාසර කිරීමයි. වසර 50ක් තිස්සේම ගුවන්යානා පියාසර කල රේ විජේවර්ධන වරක් පැවසූවේ කෘෂිකර්මාණ්තය මාගේ ජීවිකාව වුවත් මා ජීවත්වන්නේ ගුවන්යානා පියාසර කරන්නට කියායි.

80 දශකයේ අවසානයේ ඊළාම් යුද්ධය දරුණුවූ පසු රජය පැනවූ රටතුල සිවිල් ගුවන්යානා පියාසැරි තහනම් කිරීමේ නියෝගය නිසා රේගේ ප්‍රියතම විනෝදාංශයට නැවතීමේ ලකුණ වැටුනා.

රේ, ගෙදර ගරාජයේ හදාගත් තවත් සැහැල්ලු ගුවන්යානයකින් බොල්ගොඩ වැවේ පියාසැරියකට සූදානම් වෙමින්.
දක්ෂ ගුවන් නියමුවෙකු වූ රේ විජේවර්ධනට ගුවන්යානා වර්ග තුනක් සඳහා ගුවන් නියමු බළපත්‍ර තිබුණා. අචල පියාපත් ගුවන්යානා (fixed wing aircraft), හෙලිකොප්ටර් හා ගයිරෝකොප්ටර් නම් කුඩා පියාසර යන්ත්‍ර පියාසර කිරීමට ඔහුට අවසර තිබුණා.

රේ විජේවර්ධන ගෙදර හදාගත් ලිහිණියා

රේ විජේවර්ධන සිය නිවසේ විශාල වැඩපොලක් නිර්මාණය කරගෙන සිටි අතර එහි විවිධ වර්ගයේ ගුවන්යානා ගණනාවක් නිෂ්පාදනය කලා කිවහොත්, රේ නැමති අරුම පුදුම හැකියාවන් ඇති මිනිසා ගැන නොදන්නා අය පුදුම වනවා. පහල ඡායාරූපයේ තියෙන්නේ රේ විජේවර්ධන සිය නිවසේම තනාගත් ආසන දෙකේ ගුවන්යානයයි. "ලිහිණියා" යන සුරතල් නාමයෙන් හඳුන්වන මේ ගුවන්යානයෙන් 1980 ගණන්වල ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ විද්‍යා උපදේශකවූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම, එතුමා පර්යේෂණ කල මහනුවර මූලික අධ්‍යයන ආයතනයට රගෙන ගොස් ආපසු කොළඹට ගෙන ආවා.

Image Credit : raywijewardene.net
1980ව දශකයේ මුල, රේ විජේවර්ධනගේ ගෙදර වැඩපොලේ ගොඩනැගෙමින් පවතින ලිහිණියා Image Credit : raywijewardene.net

හුරතලේට ගෙදර හදාගත් සූටික්කා


රේ විජේවර්ධනගේ නිවසේ බිහිකොට තිබූ දේශීය ගුවන්යානා කර්මාණ්තශාලාවේ බිහිවුනේ ගුවන්යානා විතරක් නෙමෙයි. පුංචි හෙලිකොප්ටර් යානාත් එකේ බිහිවෙලා තියෙනවා. මේ තියෙන්නේ රේ ගෙදර හදපු සූටික්කා හෙලිකොප්ටරේ. ඡායාරූප raywijewardene.net අයිතිය සතුයි.

රේ විජේවර්ධනගේ පලපුරුදු නියමුදෑතින් මෙහෙයවීමෙන් ගුවනට එසවෙන සූටික්කා
පලමු ගුවන්ගමනට පෙර ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් වෙතින් ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලබාගන්නා සූටික්කා. සැදැහැවත් බෞද්ධයෙකුවූ රේ විජේවර්ධන, මේ ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය තමන්ගේ සබෑ රක්ෂණ ආවරණය බව වරක් පවසා සිටියා.

අදින් සත්වසකට පෙර අපෙන් සමුගත් රේ..... ඔබට සුබ ගමන්!

ලක් මවගේ සාඩම්බර පුතුන් දෙදෙනෙක් - රෝද දෙකේ ට්‍රැක්ටරය නිර්මාණය කල රේ විජේවර්ධන හා සන්නිවේදන චන්ද්‍රිකා කල්පිතය නිර්මාණය කල ආතර් සී ක්ලාර්ක් - (C) http://www.raywijewardene.net





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...