අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

NORTH KOREAN CRISIS : උතුරු කොරියානු බැලිස්ටික් මිසයිලවල යුක්රේනියානු එන්ජින්?


පසුගිය සඳුදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත උද්වේගකාරී විමර්ෂණ වාර්තාවක් පලකලා. මයිකල් එලෙමන් නම් මිසයිල විශේෂඥයෙකු උපුටා දක්වමින් ඔවුන් ප්‍රකාශකලේ මෑතකදී උතුරු කොරියානු බැලිස්ටික් මිසයිල ගුවන්ගත කිරීම් එක පිට එක සාර්ථක වන්නට හේතුවී ඇත්තේ යම් ආකරයකින් උතුරු කොරියාවට, යුක්රේනයේ නිෂ්පාදනය කල RD-250 අධිබල රොකට් එන්ජින් ලැබීම නිසා බවයි. 

සෝවියට් සමූහාණ්ඩුව පැවති යුගයේ සෝවියට් රොකට් එන්ජින් නිර්මාණ හා නිෂ්පාදන බියුරෝවක් යුක්රේනයේ පිහිටුවා තිබූ අතර සෝවියට් රොකට් හා මිසයිල ව්‍යාපෘති සඳහා මේවා නිපදවූවා.  OKB-586 යන කේතයෙන් හැඳින්වූ මිසයිල නිර්මාණ බියුරෝවක්වූ මෙහි ප්‍රධානියාවූයේ සෝවියට් දේශයේ ප්‍රමුඛපෙලේ මිසයිල නිර්මාණ විද්‍යාඥයෙකුවූ මිකායිල් යැන්ගෙල් මහතායි. මේ නිසාම OKB-586 යැන්ගෙල් නිර්මාණ බියුරෝව ලෙසද සෝවියට් දේශය තුල ප්‍රසිද්ධවූවා.

සෝවියට් සමූහාණ්ඩුවේ බිඳවැටීමත් සමග යුක්රේනය රුසියානු ෆෙඩරේෂණයෙන් වෙන්වයාමෙන් පසු OKB-586 යැන්ගෙල් මිසයිල නිර්මාණ බියුරෝව Yuzhnoye State Design Office නම් යුක්රේන රජයට අයත් සමාගමක් බවට පත්වූ අතර අද ඔවුන් විවිධ රොකට් ව්‍යාපෘති සඳහා අධිබල ද්‍රව හා ඝණ ඉන්ධන රොකට් එන්ජින් නිර්මාණය කරන්වා.

RD-250 රොකට් එන්ජිම දැන් නිෂ්පාදනය නොවූවත්, නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවට අනුව යම් ආකාරයකින් උතුරු කොරියානුවන් මෙම රොකට් එන්ජිමේ නිර්මාණ සැළසුම් හා වැදගත් උපාංග රහසේ ලබාගෙන තිබෙනවා. දූෂිත Yuzhnoye  සේවකයින් හා දූෂිත යුක්රේනියානු රජයේ නිළධාරීන්ගේ උදව්වෙන් උතුරු කොරියානු බුද්ධි අංශ මෙම රොකට් එන්ජින් පිඹුරුපත් ලබාගන්නට ඇතැයි ඔවුන් අනුමාන කරනවා. මේ සඳහා ජාත්‍යන්තර අපරාධ කල්ලිවල සහයද ලබාගන්නට ඇතැයි ඔවුන් විශ්වාස කරනවා.

මිසයිල විශේෂඥ එලෙමන් පවසන අන්දමට උතුරු කොරියානු හ්වාසොංග් 12 හා හ්වාසොංග් 14 මිසයිලවල බූස්ටර් අදියරේදී අනුවර්තනය කරන ලද RD-250 එන්ජින් භාවිතාවන බව පැහැදිලියි. එසේ නොමැතිනම් වසර දෙකකට පෙර එකපිට එක අසාර්ථක රොකට් ගුවන්ගත කිරීම් සිදුකල උතුරු කොරියාව හදිසියේම අන්තර්මහද්වීපික ප්‍රහාරක හැකියාව ඇති දැවැන්ත මිසයිල සාර්ථකව අත්හදා බලන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්ණ කරනවා.





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments