Related Posts Plugin for WordPress, Blogger...

Monday, 14 August 2017

LAK DASUN : දන්නා හක්ගල ගැන නොදන්නා දේ

හක්ගල උයන් පිවිසුම : Photo (C) Terence K Arachchi
මේ අගෝස්තු මාසයයි. නුවරඑලිය සංචාරක පාරාදීසයට අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙලියෙන් පසු වැඩිම සෙනගක් පැමිණෙන්නේ අගෝස්තු මාසයේදීයි. නුවරඑලි යන හැමෝම නොවරදවාම යන, එහෙත් වැඩිය තොරතුරු නොදන්නා තැනක් තමයි හක්ගල උද්භිද උද්‍යානය. සෑම දිනකම දහස් ගණනින් මේ සුන්දර උද්‍යානයේ ඇවිද්දත් එහි ඇති ගහකොළ ගැන, ඉතිහාසය හා වැදගත්කම ගැන හොයලා බලන අය ඉතාම අඩුයි.

දේශගුණය

මුහුදු මට්ටමේ සිට අඩි 5600-6000ක් ඉහලින් පිහිටි හක්ගල උද්‍යානය ප්‍රදේශයේ දේශගුණය සෞම්‍ය හෙවත් සමශ්‍රීතෝෂ්ණ (temperate) වන අතර උෂ්ණත්වය වාර්ශිකව සෙ.ග්‍රේ 16 සිට 30 දක්වා වෙනස් වෙනවා. අඩුම උෂ්ණත්වය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා දැකිය හැකි අතර වැඩිම උෂ්ණත්වය අප්‍රේල් සිට අගෝස්තු දක්වා දැකිය හැකියි. 

අඩුම වර්ෂාපතනය ජනවාරි සිට මාර්තු දක්වා වන අතර එය මිලිමීටර් 70 සිට 100 දක්වා විය හැකියි. වර්ෂා කාළය අප්‍රේල් මාසය අවසන්වන විට පැමිණෙන අතර වැඩිම වර්ෂාපතනය ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා ලැබේ. එය මිලිමීටර් 190 සිට 225 තරම්වේ.

ආරම්භය

හක්ගල උද්භිද උද්‍යානය ආරම්භවුනේ 1861දී. ඒ කියන්නේ හරියටම මීට අවුරුදු 156කට කලින්. මේ උද්‍යානය ආරම්භ කරන්නට මූලික වෙලා තියෙන්නේ එවක පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක තැම්පත් ආචාර්ය ඩී.එච්.කේ ත්වේයිට්ස් මහතා විසින්. හක්ගල මුලින්ම යොදාගෙන තියෙන්නේ ලංකාවේ සිංකෝනා වගාකරන්න පුලුවන්ද කියලා අත්හදා බලන්න. රාජකීය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂක ආචාර්ය ත්වේයිට්ස් සිංකෝනා අත්හදා බලන්න හක්ගල තෝරගෙන තියෙන්නේ එහි සමශ්‍රීතෝෂ්ණ දේශගුණය සිංකෝනා ගසේ නිජබිම වෙන පීරූ රාජ්‍යයේ ඇන්ඩීස් කඳුවැටිය ප්‍රදේශයේ දේශගුණයට බොහෝ සමානවුනු නිසාලු.

සිංකෝනා (Cinchona)

සිංකෝනා අතීතයේදී විශාල ලෙස වගාකෙරුනු වාණිජ භෝගයක් වූ අතර එයින් ලබාගත් ප්‍රධානම ඖෂධය වූයේ මැලේරියාව සඳහා ප්‍රතිකාරයක් ලෙස දෙන ක්විනීන් (quinine) නම් ඖෂධයයි. මේ සඳහා ලන්දේසි හා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් ආසියාතික රටවල අක්කර දහස්ගණනක සිංකෝනා වගාකොට තිබුණා. හක්ගල ආරම්භවූ සමයේ ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයවූ කෝපි වගාවට ආදේශක භෝග පිලිබඳව පර්යේෂණ පවත්වමින් සිටි යටත් විජිත ආණ්ඩුව විසින් සිංකෝනා වගාවට ලංකාව සුදුසුදැයි සොයා බලන්න හක්ගල ප්‍රදේශය තෝරා ගෙන අත්හදාබැලීමේ වගාවන් ආරම්භකලා.

හක්ගල තවමත් දකින්නට හැකි සිංකෝනා ගසක් : Photo (C) Terence K Arachchi
කෝපි කොළ රෝගය නිසා ලංකාවේ කෝපි කර්මාණ්තය විනාශවී යනවිට හක්ගල උද්‍යානයෙන් සිංකෝනා පැල ලක්ෂ ගණනක් ලංකාවේ සිටි බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් හට ලබාදීමට ආචාර්ය ත්වේයිට්ස් හා හක්ගල උද්‍යාන පාලකවරුන්ට හැකිවුන බව බ්‍රිතාන්‍ය යටත්-විජිත වාර්තා පවසනවා.

හක්ගල හා නොක් පවුල

නොක් පවුලේ අවසන් සාමාජිකයාලෙස හක්ගල
භාරව සිටි
ජේ.ජේ නොක් හක්ගල උද්භිද උද්‍යානය
පිලිබඳව සකස්කල අත්පොතක කවරය
1882දී (සමහර මූලාශ්‍රවලට අනුව 1884දී) හක්ගල උද්භිද උද්‍යානයක් බවට පර්වර්තනය කිරීමේ මූලික පියවර තැබුණු අතර මේ මහා කර්තව්‍යයේ පුරෝගාමීන්වූයේ නොක් පවුලයි. හක්ගල උද්‍යානයක් බවට පරිවර්තනය කිරීම සඳහා එහි පලමු භාරකරු ලෙස පත්කරන ලද්දේ විලියම් නොක් නැමති බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ පුතුන් දෙදෙනා වන ජේ.කේ නොක් හා ජේ.ජේ නොක් හක්ගල භාරකරුවන් ලෙස ක්‍රියාකලා.

හක්ගල උද්‍යානයේ අප අද දකින සුන්දරත්වයට අඩිතාලම දැමුවේ මේ නොක් පවුලේ පියා හා පුතුන් දෙදෙනායි. හක්‌ගල උද්භිද උද්‍යානය 1882-1940 දක්‌වාම නොක්‌ පවුලේ පරම්පරා තුනක්‌ වසර 58 ක්‌ම පාලනය කරමින් එය ඉමහත් දියුණුවට පත්කලා. 1882 දී මුලින්ම විලියම් නොක්‌ස්‌ මහතා සින්කෝනා වගා පාලනයට පැමිණ 1882-1903 උද්‍යාන අධිකාරිවරයා ලෙසට කටයුතු කර උද්‍යානයේ අද ඇති සුන්දරත්වයට අඩිතාලම දැමුවා.

1903 දී ඔහු විශ්‍රාම ගනු ලැබුවේ සිය පුතු වූ ඡේ. කේ. නොක්‌ වෙත එම කටයුතු භාර කරමින්. ජේ.කේ නොක් 1903 සිට 1909 දක්වා වසර 6ක් මේ උයනේ භාරකරු ලෙස ක්‍රියාකොට නත්තල් නිවාඩුව සඳහා බ්‍රිතාන්‍යයට යන අතරතුරේදී නෞකාව මුහුදුබත්වී මියගියේ 1909 දෙසැම්බර් 13වැනිදායි. 

වසර 6ක් සේවයකරමින්, බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍රවූ ජේ.කේ නොක්ගේ කණගාටුදායක මරණයෙන් ශෝකයට පත් හක්ගල ඔහු සමග සේවයකල ඔහුගේ සහෝදර සේවකයින්, ජේ.කේ නොක් සිහිවීමට මෙන්ම ඔහුගේ පියාද හක්ගල උද්‍යානයට කල සේවය සිහිකරමින් නොක් නාමය හක්ගල උද්‍යානයේ සදාකල් නොනැසී පවත්වාගෙන යාම සඳහා කුඩා ග්‍රීෂ්ම නිවහනක් සිහිවටනයක් ලෙස නිර්මාණය කලා. අදටත් මේ නොක් අනුස්මරන ග්‍රීෂ්ම නිවහන හක්ගල උයනේදී ඔබට දැකගත හැකියි.

ඉන්පසු ඔහුගේ සොයුරු ජේ.ජේ නොක් මෙහි උද්‍යාන පාලක තනතුර භාරගත් බව පැවසෙනවා. ජේ.ජේ නොක් 1909 සිට 1940 දක්වා වසර 31ක කාළයක් හක්ගල රමණීය උයනක් බවට පරිවර්තනය කරන්නට කැපවුනා. සුදුජාතික යටත් විජිත පාලක පැලැන්තියේ වුවත් නොක් පවුල වැන්නවුන් මේ රටට කල සේවය අමතක නොකල යුතුයි.

නොක් අණුස්මරණ ග්‍රීෂ්ම නිවහන
මේ ග්‍රීෂ්ම නිවහන තනා තිබෙන උස්භූමියේ සිට බැලූ විට නමුණුකුල කඳුපන්තියද, ඊට එපිටින් ඌව ද්‍රෝණියද, දකුණු පසින් හපුතලේ කපොල්ලද, වම්පසින් මදුල්සිමා කඳුවැටියද දකින්නට පුලුවන්.

රාවණගේ ඔසු ඔයන

රාවණා රජු දක්‌ෂ වෛද්‍යවරයකු ලෙසටද ප්‍රසිද්ධ වී සිටි බැවින් රාජකීය ඔසු උයන හක්‌ගල පිහිටා තිබූ බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. රාමා - සීතා කතා පුවත්වල සඳහන් වන අන්දමට සීතා දේවිය ඌවපරණගම ලුණුවත්තේ ස්‌ත්‍රී පුර ගල්ලෙනේ සඟවා සිටියදී වැඩි කාලයක්‌ ගත කිරීමට සිදුව තිබුණේ ඝනඳුර මධ්‍යයේ ලු. එනිසාම දෝ සීතා දේවියට ආලෝකය ලැබීම මදවීමෙන් ඇස්‌ රෝගයක්‌ සෑදී තිබෙනවාලු.

එනිසා සීතා දේවිය රහසිගතවම මෙම හක්‌ගල ඔසු වන උයනේ ස්‌ථානයක සඟවාගෙන එම ඇස්‌ රෝගයට ප්‍රතිකාර කර තිබෙනවා. එම ඇස්‌ රෝගය සුව වී සීතා දේවියට යළි පෙනීම ලබාදුන් ස්‌ථානය "සීතා එළිය" නම්වීලු. අදත් හක්ගල උයනට ඉතා නොදුරු ස්ථානයක සීතා කෝවිල පිහිටා ඇති අතර ඉන් පහල ඇති ගඟෙහි සීතා දේවිය ස්නානය කොට තිබෙන බව හින්දූන් විශ්වාස කරනවා. එම සීතාදේවී කෝවිල ද්‍රවිඩ ජාතිකයින් මෙන්ම ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන් නොවරදවාම එන තැනක් බවට දැන් පත්වෙලා.

හක්ගල දැඩි ස්වභාවික රක්ෂිතය.

සත්ව සහ ශාක විශේෂයන් අවම බලපෑමක් යටතේ බෝවීම මඟින් එම විශේෂිතයන් මිහිපිටින් වඳවී යාම වැලක්වීම සදහා ස්වභාවික පරිසරයක් සපයන විද්‍යාත්මක පර්යේෂණ සදහා යෝග්‍ය පහසුකම් ඇති භූමි දැඩි ස්වභාවික රක්ෂිත ලෙස ප්‍රකාශිතය. දැඩි ස්වභාවික රක්ෂිත පූර්ණ ස්වභාවික පද්ධති ලෙස ආරක්ෂා කෙරේ. එබැවින් දැඩි ස්වභාවික රක්ෂිත තුළ මිනිස් ක්‍රියාකාරකම් වලට අවසර ලබා නොදේ. එනමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ පර්යේෂණ ක්‍රියාකාරකම් කිරීමට හැක.

හක්ගල දැඩි ස්වභාවික රක්ෂිතයක් 1938දී ප්‍රකාශයට පත්කල අතර එය හෙක්ටාර 1142ක වපරිසයකින් යුතු වනවා. හක්ගල දැඩි රක්ෂිතය ලංකාවේ දුර්ලභ කඳුකර වළාකුළු වනාන්තර (montane cloud forests) වලින් සමන්විත වනවා. නිතරම වළාකුළු වලින් වැසී පවතින, මීටර් 1000ට වඩා උසින් තිබෙන වනාන්තර කඳුකර වළාකුළු වනාන්තර ලෙස හඳුන්වනවා.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...