TV SERIES : Halo | හේලෝ පරිගණක ක්‍රීඩාව ඇසුරින් නිමැවුනු හේලෝ ටීවී සීරීස් එක ගැන දැනගනිමු

 


2022 මාර්තු 24 වැනිදා එලි දැක්වූ හේලෝ ටීවී සීරීස් එක, පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ජනප්‍රිය හේලෝ පරිගණක ක්‍රීඩා මාලාව විහිදී යන හේලෝ විශ්වයේ (Halo Universe) ප්‍රධාන චරිත හා කතා වස්තුව (plot) භාවිතා කොට නිර්මාණය කරන ලද්දක්. විධායක නිෂ්පාදකයින් ලෙස ස්ටීවන් ස්පීල්බර්ග් ඇතුළු පිරිසක් ක්‍රියාකල අතර පැරමවුන්ට්+ ස්ට්‍රීමින් සේවාව ඔස්සේ තිරගත කෙරුනා.


හේලෝ පරිගණක ක්‍රීඩා කතාමාළාවේ වගේම හේලෝ ටීවී සීරීස් එකෙත් දකින්නට ලැබෙන ප්‍රධාන චරිත, ආයතන හා වැඩසටහන්

- NO SPOILERS - ඔබ හේලෝ ටීවී සීරීස් එක නරඹා නැතිනම්, එය නැරඹීමේදී ඔබගේ රසවින්දනයට බාධාවන තොරතුරු කිසිවක් මේ ලිපියේ ඇතුලුකර නෑ!

Halo Timeline - හේලෝ විශ්වයේ සිදුවීම් වර්තමානයෙන් වසර 500ක් ඉදිරි අනාගතයේ එනම් 26වැනි ශතවර්ෂයේ සිදුවනවා. 2525 වසර, මානවයින්ට විරුද්ධව කොවනන්ට් පිටසක්වල අධිරාජ්‍යය යුධ ප්‍රකාශකල වසර ලෙස හඳුනාගත හැකියි.


United Nations Space Command (UNSC) - යුනයිටඩ් ස්පේස් කමාණ්ඩ් යනු පෘථිවියෙන් විශ්වය පුරා විහිදී ගොස් සිටින මානව ශිෂ්ඨාචාරයේ ප්‍රධාන ආයතනයක්. එය හමුදා-කාර්මික-සංකීර්ණයක් (military-industrial complex) ලෙස හැඳින්වීම වඩාත් උචිතයි. UNSC සතුව ප්‍රභල හමුදාවක් තිබෙන අතර විශ්වය පුරා මානවයින් පැතිර සිටින ග්‍රහලෝක ආරක්ෂාකිරීම එම හමුදාවේ වගකීම වනවා. UNSC ප්‍රධාන මූලස්ථානය මෙන්ම එහි ප්‍රධාන විද්‍යා-තාක්ෂණ පර්යේෂණාගාර රීච් නමින් හැඳින්වෙන පෘථිවිය හා සමාන ග්‍රහලෝකයක (Planet Reach)  පිහිටා තිබෙනවා. 

හේලෝ කතාමාලාව දිගහැරෙන විට UNSC හමුදාව, කොවනන්ට් නම් සුපිරි තාක්ෂණයක් සහිත, ඉතා කුරිරු පිටසක්වල ශිෂ්ඨාචාරයක් සමග යුධ වැදී සිටින අතර කොවනන්ට් පිටසක්වලයින්ගේ සුපිරි තාක්ෂණයෙන් මිලියන ගණන් මානවයින් ජීවත්වන ග්‍රහලෝක සම්පූර්ණයෙන්ම විනාශවෙමින් තිබෙනවා.


Covenant Empire - කොවෙනන්ට් යනු අපගේ විශ්වයේ එක් සුවිසල් කොටසක බලය පතුරුවාගෙන සිටින පිටසක්වල ශිෂ්ඨාචාර 8ක ජීවීන් එක්සත්ව බිහිකරගත් සුපිරි තාක්ෂණයන් සහිත, බළකාමී අධිරාජ්‍යයක්. 

ඉපැරණි, මුලු විශ්වයම විනාශකල හැකි බලයක් සහිත Halo Array ලෙසින් හඳුන්වන සුපිරි අවි සංකීර්ණයක් සොයාගැනීම හා එය ක්‍රියාත්මක කිරීම කොවනන්ට් අධිරාජ්‍යයේ එකම අරමුණ ලෙස ගැනෙන අතර, ඔවුන් මානවයින් විනාශ කරන්නේත්, Halo Array අයිති කරගැනීමට UNSC ක්‍රියාත්මක වන බවට අනුමාන කරගෙනයි. 


Spartan Super Soldier Programme (Asymmetric Warfare Research Group) - ස්පාර්ටන් සුපිරි සෙබල ව්‍යාපෘතිය, UNSC යුධ-කාර්මික සංකීර්ණයේ ප්‍රධාන පර්යේෂණ ඒකකයක් වන ඒසිමෙට්‍රික් වෝෆෙයා රීසර්ච් ගෲප් පර්යේෂණවලින් බිහිවූ ව්‍යාපෘතියක්. එම ව්‍යාපෘතියේ යුධ-නායකයා ලෙස කපිතාන් ජේකබ් කීයිස් ක්‍රියාකරන අතර ප්‍රධාන විද්‍යාඥවරිය ලෙස ආචාර්ය කැතරීන් හෝල්සි ක්‍රියාකරනවා.

කොවනන්ට් සෙබළුන්ගේ සුපිරි තාක්ෂණයට මුහුණදී, මරාදැමීමට ඉතාම අපහසු ඔවුන් මරාදැමීම සඳහා කුඩාකල සිටම ස්පාටන් සෙබළුන් දැඩි විනයකින් පුහුණු කරනවා. එමෙන්ම ඔවුන් වෙනුවෙන් හෝල්සි ඇතුලු කණ්ඩායම බිහිකල සුපිරි තාක්ෂණයෙන් බිහිකල අධිතාක්ෂණික උපකරණ රැසක් ඔවුන්ට ලබාදී තිබෙනවා.

ස්පාර්ටන් සුපිරි සෙබල වැඩසටහන ඉතා සාර්ථකවූ අතර කොවනන්ට් ප්‍රහාරකයින් පවා ස්පාර්ටන් සෙබළුන්ට මුහුණදීගත නොහැකිව පැන යන අවස්ථා තිබෙනවා.

Master Chief - මාස්ටර් චීෆ් හෙවත්, මාස්ටර් චීෆ් පෙටී ඔෆිසර් ජෝන් 117, ස්පාර්ටන්  ව්‍යාපෘතියෙන් බිහිකරන ලද සුපිරි සෙබළුන් අතලොස්සකගේ බළඇණියේ නායකයා ලෙස ක්‍රියාකරනවා. හේලෝ ක්‍රීඩාවේදී ක්‍රීඩකයාට මාස්ටර් චීෆ් චරිතය මෙහෙයවන්නට පුලුවන්.

Dr. Catherine Halsey  - ආචාර්ය කැතරීන් හෝල්සි, හේලෝ විශ්වයේ සිටින දක්ෂතම විද්‍යාඥවරියක්. කොවනන්ට් නමින් හැඳින්වෙන අධිතාක්ෂණික සුපිරී ජීවීන්ගේ ප්‍රහාරවලින් මානවයින්ගේ ග්‍රහලෝක ආරක්ෂාකිරීම සඳහා ස්පාර්ටන් සුපිරි සෙබළ ව්‍යාපෘතිය ඇයගේ නිර්මාණයක්. 

මාස්ටර් චීෆ්-ජෝන් 117 සුපිරි සෙබළා ඇයගේ විශිෂ්ඨතම නිර්මාණය ලෙස ඇයම සළකනවා. ඔහු සුවිශේෂී බව ඇය නිතරම පවසනවා. මානවයින්ගේ දුර්වලකම් අභිබවා විශ්වයේ ස්වාමිත්වයට පත්විය හැකි නව මානව වර්ගයක ආරම්භය ජෝන්-117 බව ඇය විශ්වාස කරනවා.


Cortana - කෝටානා මිනිස් බුද්ධියට වඩා දහස් ගුණයක් බලසම්පන්න කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහනක්. කෝටානා නිර්මාණය කලේත් ආචාර්ය කැතරීන් හෝල්සි විසින්. තරුණියකගේ රුවකින් ත්‍රිමාණ හොලග්‍රෑමයක් ලෙස පෙනී සිටින කෝටානා, මිනිසා විසින් එතෙක් මෙතෙක් සොයාගත්-නිර්මාණය කරගත් සියළුම දැනුමෙන් සන්නද්ධ බව ආචාර්ය හෝල්සී පවසනවා.

(Note: ඔබගේ වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ කෝටානා වැඩසටහනට ඒ නම ලැබී ඇත්තේ හේලෝ පරිගණක ක්‍රීඩාවෙන්. හෙලෝ පරිගණක ක්‍රීඩා මාලාව මයික්‍රොසොෆ්ට් සමාගමට අයත්  Xbox Game Studios ආයතනයෙන් ඉදිරිපත් කරනවා.)


Captain Jacob Keyes - කැප්ටන් ජේකබ් කියිස්, යුනයිටඩ් නේෂන්ස් ස්පේස් කමාණ්ඩ් අභ්‍යවකාශ හමුදාවේ සිටින ඉතාමත් දක්ෂ හා නිර්භීත කමාන්ඩර්වරයෙක්. කැතරීන් හෝල්සී සමග ස්පාටන් සුපිරි සෙබළුන් බිහිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කල කැප්ටන් කියිස්, එහි සියළුම රහස් දන්නා නිළධාරියෙක්. 

කලක් කැතරීන් හෝල්සි සමග සබඳකමක් පැවැත්වූ කයිස්ට දාව කැතරීන් හෝල්සි දියණියක් බිහිකලා. වැඩිවිය පැමිණි පසු ඇය සිය මව මෙන්ම අතිදක්ෂ විද්‍යාඥවරියක් වී සිටිනවා.


Dr. Miranda Keyes - කපිතාන් ජේකබ් කියිස්ට දාව කැතරීන් හෝල්සි විද්‍යාඥවරිය ප්ලැනට් රීච් ග්‍රහලෝකයේදී බිහිකල දියණියට මිරැන්ඩා ලෙස නම් තැබුනා. සිය මව තමන් ගැන එතරම් උනන්දුවක් නොදක්වා දිවා-රාත්‍රී පර්යේෂණාගාරවල ගත කිරීම නිසා මිරැන්ඩා සිය පියා සමග ජීවත්වුනා. 

ඇය සිය මව මෙන්ම අති දක්ෂ විද්‍යාඥවරියක් බවට පත්වුවත්, සිය මවගේ සදාචාර විරෝධී උන්මාදනීය පර්යේෂණවලට මෙන්ම කූට, චපල හැසිරීම් වලට දැඩි ලෙස විරුද්ධ වුනා.


Makee - මකී මානව යුවතියක් වන අතර හේලෝ ඇරේ (Halo Array) සුපිරි අවි සංකීර්ණය ක්‍රියාත්මක කල හැකි key stones නමින් හඳුන්වන අත්භූත වස්තූන්ට සංවේදී හා ඒවා ක්‍රියාත්මක කිරීමේ අපූර්වල බලයක් උපතින්ම ලබා සිටියා. 

ඇයගේ දෙමව්පියන් කවුදැයි නොදන්නා අතර අප ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයක් ඇති, එහි සේවය සඳහා වහලුන් ලෙස මිනිසුන් තබාගෙන සිටින ඔබාන් නම් ග්‍රහලෝකයක අනාත දැරියක් ලෙස දිවිගෙවූවා. දිනක් එම ග්‍රහලෝකයට පැමිණි කොවනන්ට් සෙබළුන් පිරිසක් ඇයව තමන්ගේ මව් ග්‍රහලෝකයට රැගෙන ගියා. 

කී ස්ටෝන්ස් වලට සංවේදී වීමේ අපූර්ව බලය නිසා blessed one හෙවත් පූජනීයයා ලෙස කොවනන්ට් අධිරාජ්‍යයේ නායක පිටසක්වලයින් තිදෙනා ඇයව හැඳින්වූ අතර වහල් ග්‍රහලෝකයේදී විඳින්නට සිදුවූ වද හිංසා නිසා මිනිසුන් ගැන වෛරයෙන් සිටි ඇයව මානව වර්ගයා විනාශකිරීමට කොවනන්ට් ශිෂ්ඨාචාරයට උපකාරී වනවා. 



Comments