TV SERIES : STRANGER THINGS SEASON 4 : ස්ට්‍රේන්ජර් තින්ග්ස් 4 වැනි දිගහැරුම අද නිකුත්වේ!

 

නෙට්ෆ්ලික්ස් සේවාව සඳහා ඩෆර් සොයුරන් (Duffer Brothers) නිර්මාණය කල අත්භූත සිදුවීම් රැගත් STRANGER THINGS ටෙලි වෘතාන්තය 2016දී එලිදැක්වුනා. හෝකින්ස් නම් ප්‍රබන්ධමය නගරයක ජීවත්වන කුඩා දරුවන් කිහිපද දෙනෙකු, එම නගරයේ ඇමරිකන් රජය විසින් පවත්වාගෙන ගිය රහසිගත පර්යේෂණාගාරයක් හා හෝකින්ස්වල නගරාරක්ෂක නිළධාරීයා (sheriff) වටා ගෙතී ඇති මෙම අත්භූත-විද්‍යාප්‍රබන්ධය නෙට්ෆ්ලික්ස් හිතුවාටත් වඩා ජනප්‍රියවුනා. 

එය, ඇමරිකාව හා රුසියාව අතර සීතල යුද්ධය (cold war) තිබූ 1980 අවදිය පාදක කරගෙන නිමැවී තිබූ අතර, එම කාලයේ ඇමරිකාවේ සාමාන්‍ය ජනජීවිතය ඉතා මැනවින් ප්‍රතිනිර්මාණය කර තිබුනා.

NO SPOILERS!!! - ඔබගේ රසවින්දනයට බාධාවන ලෙස Stranger Things Season 4 පිලිබඳව Spoiler මෙහි අඩංගු කොට නොමැති අතර Stranger Things සීසන් 1, සීසන් 2 හා සීසන් 3 පිලිබඳව කෙටි සාරාංශ මෙහි අඩංගු වෙනවා. සීසන් 4 සිදුවීම් මාලා තේරුම් ගැනීමට මේවා ඔබට උපකාරී වුනු ඇතැයි අප සිතනවා.

SEASON 1

1983 නොවැම්බර් - ඇමරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්තයේ, හෝකින්ස් නම් ප්‍රබන්ධමය නගරයක පිහිටුවා ඇති ඉතා රහසිගත පර්යේෂණාගාරයක අත්භූත පර්යේෂණ සිදුවනවා. අධි-මානසික ශක්තියක් ඇති කුඩා දරුවන් යොදාගෙන සිදුකරන නීති විරෝධී-සදාචාර විරෝධී පර්යේෂණ මෙම විද්‍යාගාරය තුල සිදුවන අතර ඒ පිලිබඳව කිසිදු තොරතුරක් හෝකින්ස් නගරවාසීන් දන්නේ නෑ..

එහි ප්‍රධාන විද්‍යාඥ මාටින් බ්‍රෙනර් මෙම දරුවන් යොදාගෙන අප ජීවත්වන භෞතික මානයෙන් (physical dimension) පිටත පිහිටි අප්සයිඩ්-ඩවුන් ලෙසින් හඳුන්වන වෙනත්  දර්පණ මානයකට (mirror dimension) ගමන් කිරීම පිලිබඳව පර්යේෂණ සිදුකරන අතර එම පර්යේෂණ අතරතුරදී එම මානයන් දෙක අතර ඇති භාධකය බිඳී, එම මානයේ සිටින විනාශකාරී අධිමානසික ජීවියෙකු සිය බලය හෝකින්ස් නගරය වෙත විහිදුවනවා.

සියල්ලන්ටම රහසේ, හෝකින්ස් නගරයේ විවිධ තැන්වලින් දර්පණ මානයේ ජීවත්වන අධිමානසික ජීවියා සිය බලය විහිදුවන අතර, විල් බයර්ස් නැමති දරුවෙකු අතුරුදහන් වෙනවා. එලෙස අතුරුදහන්වන විල් බයර්ස් සොයාගැනීම සඳහා ඔහුගේ සමවයස් මිතුරන් කැල, ඔහුගේ මව වන ජොයිස් බයර්ස් හා නගරයේ  ශෙරිෂ් වරයා වන ජිම් හොපර් ගන්නා උත්සාහය වටා ස්ට්‍රේන්ජර් තින්ග්ස් සීසන් 1 කතාව ගෙතී යනවා. හෝකින්ස් විද්‍යාගාරයේ පර්යේෂණවලට යොදාගෙන සිටියදී ඉන් පැන ආ ඉලෙවන් (Eleven) නමින් තමාව හඳුන්වාගන්නා අධිමානසික ශක්තියක් ඇති ගැහැණු දරුවෙකුද ඔවුන් හා එක්වනවා.

SEASON 2

1984 ඔක්තෝම්බරය - 008 නැමති පච්ච කෙටූ සටහනක් දකුණු බාහුවේ ඇති ගැහැණු දරුවෙකු ඇමරිකාවේ පිට්ස්බර්ග් නගරයේ දරුවන්ගෙන් සැදුම්ලත් සොර කල්ලියක සාමාජිකයෙක්. අධිමානසික ශක්තියක් තිබූ ඇයට ඕනෑම පුද්ගලයෙකුගේ මනසට ඇතුලුවී ඔහුට/ඇයට මායාවක් පෙනෙන්නට සැලැස්වීමේ හැකියාව තිබෙනවා. ඇයගේ මේ හැකියාව භාවිතාකරගෙන බැංකු මංකොල්ල වැනි දරුණු ක්‍රියා පවා සාර්ථකව කරගැනීමට ඔවුන්ට හැකිවෙනවා.

මේ අතර හෝකින්ස් නගරයේ විල් බයර්ස් තවමත් අතුරුදහන්ව සිටින අතර ඔහු හා ඔහුගේ මිතුරන් ඉගෙන ගන්නා පාසැලට කැලිෆෝනියාවේ සිට හෝකින්ස් වෙත පැමිණි මැක්සීන් නම් ගැහැණු දරුවෙකු ඇතුලත් වෙනවා. මුරණ්ඩු ගතිපැවැතුම් ඇති මැක්සීන්, බිල් බයර්ස්ගේ මිතුරන් වූ මයික්, ඩස්ටින්, ලූකස් හා පර්යේෂණාගාරයෙන් පැන ආ ඉලෙවන් සමග මිතුරු වෙනවා.

නිර්භීත ගති ඇති මැක්සීන්ගේ සහය ලබාගන්නා විල් බයර්ස්ගේ මිතුරන්, ඉලෙවන්ගේ අධිමානසික ශක්තියද භාවිතා කරගෙන, මයින්ඩ් ෆ්ලේයර් නම් දර්පණ මානයේ විනාශකාරී ජීවියා, දර්පණ මානයට පැහැරගෙන ගොස් රඳවාගෙන සිටින විල් බයර්ස්ව බේරාගෙන නැවත හෝකින්ස් වෙත රැගෙන එන ආකාරය දෙවැනි සීසන් එකෙන් පෙන්වනවා.

SEASON 3

1984 - අප් සයිඩ් ඩවුන් නම් දර්පණ මානය පිලිබඳව එවක සෝවියට් දේශය (දැන් රුසියාව) සයිබීරියාවේ රහසිගත පර්යේෂණාගාරයකදී පර්යේෂණ පවත්වන අතර ඔවුන් එම දර්පණ මානයට දොරටුවක් විවරකර ගන්නවා. 

අනාත දැරියක වූ ඉලෙවන්, ඒ වනවිට නගරයේ ශේරීෆ් වූ ජිම් හොපර්ගේ භාරයේ සිටින අතර ඇය හා හොපර් අතර නිතරම අඬ දබර ඇති වනවා. ඇය විල්, මයික්, ඩස්ටින් හා ඔවුන්ගේ මිතුරු කැල සමග කල් ගතකිරීම ඔහු අනුමත කරන්නේ නෑ.

හෝකින්ස් හි මිතුරු කැල ඉගෙන ගන්නා පාසලේම ඉගෙන ගන්නා ඉලෙවන්, සිය පාසැල් නිවාඩුව මයික්, විල්, මැක්සීන් ඇතුලු මිතුරු-මිතුරියන් සමග ගත කරද්දී ඩස්ටින් ශ්‍රීස්ම නිවාඩු කඳවුරකට (summer holiday camp) සහභාගී වනවා. ස්භාවයෙන්ම කුලෑටි ගති ඇති ඩස්ටින්, එහිදී සූසී නම් සමවයස් මිතුරියක් හඳුනාගන්නවා. ඩස්ටින් මෙන්ම විද්‍යාවට හා තාක්ෂණයට දැඩි ආශාවක් දැක්වූ සූසී සමග කෙටි තරංග ගුවන්විදුලිය (short-wave ham radio) ඔස්සෙ කතාබස් කිරීමට ඩස්ටින් සිය නිවස ආසන්නයේ කෙටි තරංග ගුවන් විදුලි ඇන්ටෙනාවක් සකසා ගන්නවා.

මේ අතර රුසියානුවන් විවර කල දොරටුව හරහා විල් බයර්ස්ව යලිත් තමන්ගේ ග්‍රහණයට ගෙන ඔහු හරහා පෘථිවියේ බලය පතුරවා ගැනීමට මයින්ඩ්ෆ්ලේයර් උත්සහ කරන අතර ඒ සඳහා දුර්වල මනස් ඇති මිනිසුන් සිය ග්‍රහණයට ගන්නවා. මැක්සීන්ගේ සොයුරා වන බිලී මයින්ඩ් ෆ්ලේයර්ගේ ගොදුරක් බවට පත්වී තව තවත් මිනිසුන් ඔහුගේ ග්‍රහණයට ලබාගැනීමට ක්‍රියාකරනවා.

හෝකින්ස් නගරයේ යලිත් සිදුවන අත්භූත සිදුවීම් ගැන විපරම් කරන මයික්, විල්, ඩස්ටින්, ඉලෙවන්, මැක්සීන් හා ඔවුන්ට උදව් කරන්නට පෙළඹී සිටින ස්ටීව් හා ඔහුගේ පෙම්වතිය නැන්සී, හෝකින්ස් නගරයේ රහසින් පවත්වාගෙන යන රුසියානු පර්යේෂණාගාරයක් සොයා ගන්නවා.

SEASON 4

සීසන් 3 අවසන් වන විට හෝකින්ස් වල රුසියානු විද්‍යාගාරය හරහා යලිත් පෘථිවි මානයේ බලය පතුරුවා ගන්නට උත්සහ කල මයින්ඩ් ෆ්ලේයර් ජීවියා පරාජය වන අතර එම සටනේදී නගරාරක්ෂක ජිම් හොපර් අතුරුදහන් වනවා. ඔහු මිය යන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

සීසන් 3 අවසන් කථාංගයේ අවසන් රූප රාමු කිහිපය රුසියාවේ ඈත උතුරේ කම්චත්කා (Kamchatka) අර්ධද්වීපයේ දැඩි හිමපතනය ඇති පෙදෙසක සිර කඳවුරක් පෙන්වනවා. එහි මුරකරුවෙකු, ඔවුන් සිරකරගෙන සිටින ඇමරිකානු සිරකරුවෙකු ගැන යමක් පවසන නමුත් එම සිරකරුවා කවුරුන්දැයි හෙලි වන්නේ නෑ.

සීසන් 4 කතාංග එපිසෝඩ් නවයකින් සමන්විත අතර එයින් එපිසෝඩ් 7ක් අද එනම් මැයි 27 එලි දැක්වෙනවා. අවසන් එපිසෝඩ් දෙක මාසයකින්, එනම් ජූලි 1 වැනිදා එලිදැක්වෙනු ඇති.

සීසන් 4 ප්‍රධාන චරිත මෙසේයි.

  • ඉලෙවන් (ඇය දැන් ජේන් හොපර් වන අතර ජිම් හොපර් ඇයගේ සුළු පියා ලෙස ඇයව භාරගෙන තිබෙනවා)
  • මයික් වීලර්
  • ඩස්ටින්
  • ලූකස්
  • මැක්සීන් (මැක්ස්)
  • විල් බයර්ස්
  • ජොනතන් බයර්ස් (විල් බයර්ස් ගේ වැඩිමල් සොයුරූ)
  • ජොයිස් බයර්ස් (විල් හා ජොනතන්ගේ මව)
  • නැන්සි වීලර්
  • ස්ටීව් හැරිංටන් (නැන්සිගේ පෙම්වතා)
  • ජිම් හොපර්


Comments