Related Posts Plugin for WordPress, Blogger...

Wednesday, 21 June 2017

HISTORY : පාදඩ විජය පාවී එන්නට වසර 40,000ක පෙර සිට මෙහි විසූ හෙළයන් ගේ දිවිපෙවෙත


හෙළයන්ගේ අතීතයේ තවත් රසවත් තොරතුරු ගොන්නක්‌ යළිත් මතුවෙමින් එන්නේය. මේ කතාව මතුවන්නේ සියවස්‌ ගණනාවක්‌ පුරා තැන්පත් වූ පස්‌ තට්‌ටු අතරිනි. මින් පෙර කාලයක මේ කතාවේ අපූරුව කුරුවිට බටදොඹලෙනෙන් මතු වුණේය. තවත් විටෙක බෙල්ලන්බැ`දිපැලැස්‌සෙන් හමුවූයේය. බුලත්සිංහල පාහියන් ලෙනෙන් ද, සීගිරිය පොතාන ගුහාවෙන් මෙන්ම අත්තනගල්ල අලවල ලෙනෙන් ද හමුවුණේය. මේ වන විට අපේ රටේ මිනිසුන්ගේ අවුරුදු විසි තිස්‌දාහක්‌ පැරණි අතීතයේ තොරතුරු හෙළිදරව් වන්නේ කූරගලිනි. පුරාවිද්‍යාඥයෝ ඒ කතාවේ හැඩතල මතුකරගන්නට මේ වනවිට වෙහෙස වෙමින් සිටිති. 


මේ වනවිට අවුරුදු විසිතිස්‌ දහසකට එපිට අපේ මුතුන් මිත්තන් රට තුළ ජීවත් වූ ආකාරය ගැන අලුත් දැනුමක්‌ ලැබෙමින් තිබේ. ඒ දැනුමෙන් පිරීගිය කතා අහන්නට පිරිය උපදවන්නේය. මුලින්ම කියන්නේ බලංගොඩ මානවයා ලෙස හැ`දින්වෙන, ප්‍රාග් ඓතිහාසික යුගයේ මේ රටේ ජීවත්වූ අපේ මුත්තලා රට තුළ සැරිසරමින් පරිසරය තුළ ගිලී ජීවිතය දියකර හරින ලද ආකාරයය.

බලංගොඩ මුත්තාගේ දඩකෙළිය


අද මෙන්ම මීට අවුරුදු විසි තිස්‌ දහසකට එපිට ලෝකයේ ජීවත්වූ මිනිසුන්ගේ වැදගත්ම ජීවිත අවශ්‍යතාව වූයේත් ජීවත්වීම ස`දහා ආහාර සොයාගැනීමය. ඒ ස`දහා පරිසරය සමග මහා තරගයක්‌ කරන්නට එදා ජීවත්වූ මිනිසුන්ට සිදු වූයේය. මේ තරගයට අනුගත වන්නට නොහැකි වූ මිනිසුන් පරිසරය විසින්ම ඉතාම අකාරුණික ලෙස විනාශ කර දැම්මේය. 



බලංගොඩ මුත්තා ජීවත් වූයේ දඩයමිනි. විටෙක ධීවර කමෙනි. දඩයම් කිරීමට දුනු ඊතල පමණක්‌ නොව උගුල්ද භාවිත වූයේය. උගුල එක්‌ එක්‌ සතා අනුව වෙනස්‌ විය. බලංගොඩ මානව ජනාවාස වල පුරාවිද්‍යාඥයන් කළ කැණීම් වලින් ද`ඩු ලේනුන්, ව`දුරන් වැනි සතුන්ගේ ඇටකටු සුලබව හමුවිය. ගස්‌වල ජීවත්වන මේ සතුන් දඩයම් කරනු ලැබුවේ උගුල් ඇටවීමෙනි. එමෙන්ම මේ උදවිය ඇති තරම් බෙල්ලන් කෑවේය. පුවක්‌ බෙල්ලන් වර්ග, මුක්‌කන් බෙල්ලන් විශේෂ, කලපු කොල කකුළු විශේෂ, මේ කෑමේදී ප්‍රමුඛ වූයේය. 

ධීවරකම ඒ වකවානුවේ උන්දැලාට හුරුව තිබුණේය. බලංගොඩ මානවයාගේ ජනාවාසවල සත්ත්ව ඇටකටු සමග බොහෝවිට නොදිරූ මාළුකටු ද හමුවුණේය. සීගිරිය පොතාන ගුහාව බටදොඹලෙන ඇතුළු ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වලින් මෝර දත් ලැබිණි. මේ බොහෝ ජනාවාස වලින් මඩුවන්ගේ අවශේෂ, මුහුදු කකුළුවන්ගේ සුන්බුන් පරවුන්ගේ කටු හමුවූයේය. සමහර තැන් වල හක්‌බෙල්ලෝ හමුවූහ. හක්‌බෙල්ලන් හසුකරගන්නට කිමිදීමේ හැකියාව අවශ්‍ය වූයේය. ඇළදොළවල වෙසෙන සෑම මාළුවෙක්‌ම මේ ධීවර මුත්තාගේ ආහාරයට එකතු වී තිබුණේය.

දඩබිමෙන් දඩබිමට 

ජීවත්වීම ස`දහා ගොදුරුබිම්වල සැරිසැරීමේ ස්‌වරූපය බොහෝවිට තීරණය කරනු ලැබුවේ දේශගුණික සාධක විසිනි. තෙත් කලාපයට ධාරානිපාත වර්ෂාව එළඹියේ කුසගින්නද සමගිනි. එම නිසා දඩයමෙන් ජීවිකාව ගෙවූ මේ ආදි මනුෂ්‍යයා රටේ දේශගුණ විචලනයන් පිළිබ`ද ඉතා හො`දින් දැනුවත්ව සිටියේය. දේශගුණ රටාව අනුව ආහාර සොයා යන ඔවුන්ගේ සංචාරක ජීවිතය සැකසුණේය. 

නූතන මනුෂ්‍යයා අප්‍රිකාවෙන් පිටවීම පිළිබ`ද න්‍යාය ගැන අද ලෝකයේ මානව විද්‍යාඥයන් කොතෙකුත් කතා කරන්නේය. ඉන් කියෑවෙන්නේ අප්‍රිකාව තුළ නූතන මානවයා බිහිවී ලෝකය පුරා ව්‍යාප්ත වූ ආකාරය පිළිබ`දවය. පෙළගැසෙනා තොරතුරු අනුව අපේ රටේ දී බලංගොඩ මානවයා තෙත් කලාපයෙන් පිටවී රට පුරා ව්‍යාප්ත වූ ආකාරය පිළිබ`ද චිත්‍රයක්‌ මවා ගත හැකිය. එයත් සිත්ගන්නා සුලු තේමාවකි. 

තෙත් කලාපය තුළ අවුරුදු හතලිස්‌ දහසේ සිට ජීවත් වූ බලංගොඩ මානවයා හෙවත් අපේ ප්‍රාග් ඓතිහාසික මුත්තාගේ තොරතුරු ලැබෙනා ගල් ලෙන් රාශියක්‌ වේ. පාහියන් ලෙනේ මීට අවුරුදු හතලිස්‌ අට දහසකට පෙර සිට ප්‍රාග් ඓතිහාසික මානවයෝ ජීවත් වූහ. කුරුවිට බටදොඹ ලෙනෙන් හමුවන පැරණිම මානවයාගේ වයස අවුරුදු විසි අට දහසකි. කිතුල්ගල බෙලි ලෙනේ මානවයාගේ ඉතිහාසයද එතරම්ම පැරණිය. බෙල්ලන්බැඳිපැලැස්‌ස එළිමහන් භූමියෙන් හමුවන මිනිස්‌සු එතැන ජීවත්වීම පටන් අරන් තිබුණේ මීට අවුරුදු දොළොස්‌දහස්‌ හත්සියයකට එපිටදීය. අත්තනගල්ල අලවල ගුහාවේ පුරාණ මානවයා එතැන ජීවත්ව සිටියේ මීට අවුරුදු දාහතර දහසකට එපිටිනි. මේ මිනිසුන් මෙම ලෙන් වල ජීවත් වූයේ අවුරුද්දේ එක්‌ කාලයක්‌ පමණි. වර්ෂා කාලයේදී ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා සාපේක්‌ෂව සත්ත්ව ඝනත්වය අඩු තෙත් කලාපික වනාන්තර තුළ දඩයක්‌කාර අතීත මිනිසාට ජීවත්විය හැකි අවස්‌ථාවන් අවම වී තිබුණේය. ඒ කාලවලදී හේ තෙත් කලාපයෙන් පිටවූයේය. දඩබිම් සොයා ගියේය. බහුලව දඩයම් හමුවන ප්‍රදේශයන්හි වැඩි කාලයක්‌ ගත කළේය. 

මෙසේ පිටව වියළි කලාපයට පිවිසියේ යෑයි සිතිය හැකි මං පෙත් කීපයක්‌ වේ. වර්ෂාව පැමිණීමත් සමග බටදොඹලෙනස, කිතුල්ගල, අත්තනගල්ල වැනි තෙත් කලාපික ප්‍රදේශවල ජීවත්වූ අතීත මානවයා බලංගොඩ කූරගල හරහා උඩවලව නිම්නය ඔස්‌සේ වියළි කලාපයට පිවිසුණහ. බෙල්ලන්බැඳිපැලැස්‌ස මේ ගමන්මගේ හමුවන එක්‌ එළිමහන් භූමියකි. දකුණු දිග බෙලිඅත්ත පල්ලෙමලල වැනි ප්‍රදේශවලින් තවමත් අතීත මානව හැසිරීම් ගැන කියෑවෙනා ගල් ආයුධ ගැන තොරතුරු ලැබෙන්නේය. හෝර්ටන් තැන්න ආශ්‍රිතව ජීවත්වූ මිනිස්‌සු නකල්ස්‌ හරහා වස්‌ගමුව වනාන්තරයටත් එතැනින් මීමුරේ ඔස්‌සේ සීගිරියටත් එතැනින් උතුරු ප්‍රදේශයටත් සංක්‍රමණය වූහ. ඒ අනුව ආදිකල්පික මානවයන් වියළි කලාපයෙන් තෙත් කලාපයටත්, තෙත් කලාපයෙන් වියළි කලාපයටත් පිවිසි ප්‍රධාන ප්‍රවේශ දෙක අතරින් උතුරු ප්‍රවේශය ගැන තොරතුරු සීගිරිය පොතාන ගුහාවෙන් ලැබෙන්නේය. දකුණු ප්‍රවේශය දැනටත් කැණීම් කරගෙන යන කූරගලින් මතුවන්නේය.

සංචාරයේ තොරතුරු

මේ තොරතුරු ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැනීම් වලින් මතුව එන සත්ත්ව අවශේෂ වලිනි. බලංගොඩ මුත්තාගේ උතුරු ප්‍රවේශය ලෙස පෙනෙනා සීගිරියේ පොතාන ගුහාවේ කළ කැනීම් වලින් පුදුම එළවනසුලු තොරතුරු හමුවුණේය. මේ කැණීමේදී කිලෝ දාහකට වඩා විශාල මෝරෙකුගේ දතක්‌ ලැබිණි. මුහුදු ගිරවා ලෙස හඳුන්වන ගල්මාළුවාගේ අවශේෂ ලැබිණි. එපමණක්‌ නොව දැනට වඳවී ගිය හිපපොටේමස්‌ සතෙකුගේ දතක්‌ ලැබිණි. සීගිරිය ඇත්තේ මුහුදට බොහෝ ඈතිනි. එහෙත් සීගිරියෙන් මුහුදු ජීවීන්ගේ අවශේෂ ලැබෙන්නේය. හිපපොටේමස්‌ සතුන්ගේ පොසිල ලැබෙන්නේ රත්නපුරයේ මැණික්‌ පතල් වලිනි. එහෙත් තෙත් කලාපික වනාන්තර වාසී හිපපොටේමස්‌ ගේ දත් ද සීගිරියෙන් ලැබෙන්නේය.

මුහුදේ ජීවත්වන මොරුන්ගේත් මඩුවන්ගේත් මුහුදු ගිරවු ඇතුළු මත්ස්‍යයන්ගේත්, මුහුදු කකුළුවන්ගේ හා බෙල්ලන්ගේත් අවශේෂ රට අභ්‍යන්තරයේ ඇති බලංගොඩ මානවයාගේ ජනාවාස වලින් පොදුවේ හමුවුණේය. තිත් මුවා වියළි කලාපයට ආවේණික සතෙකි. තිත් මුවාගේ ඇටකටු තෙත් කලාපයේ මානව ජනාවාස වලින් ලැබුණේය. හුංගම මුත්තා ලෙස හැඳින්වූ අවුරුදු හයදහස්‌ පන්සියයක පමණ කාලනිර්ණය කළ හම්බන්තොට ප්‍රදේශයේ හුංගම මිණිඇතිලියේ තිබූ ආදි මිනිසාගේ ජනාවාසයෙන් තෙත් කලාපයට පමණක්‌ ආවේණික පුවක්‌බෙල්ලන් හමුවූයේය. එම බෙල්ලන්ම ගොඩවාය ප්‍රාග් ඓතිහාසික ජනාවාසයෙන්ද හමුවූයේය. එමෙන්ම තෙත් කලාපික වනාන්තරවල ඇති කැකුණ ඇට ද මේ ජනාවාසවලින් ලැබිණි. ප්‍රාග් ඓතිහාසික මානවයා මෙම කැකුණ ඇට භාවිත කර තිබුණේ ආහාරයකටත් වඩා ඉන්ධනයක්‌ ලෙසිනි. මේ පුරාණ ජනාවාස වලින් හමුවන අළු තට්‌ටු අතර සියයට හැත්තෑපහක්‌ම ඇත්තේ කැකුණ ඇටවල අඟුරුය. 

ප්‍රාග් ඓතිහාසික මානව ජනාවාස වලින් හමුවන මේ සත්ත්ව අවශේෂවල සංකීර්ණ විවිධත්වය පිළිබඳව සමහර විද්වත්තු විවිධ මත පළ කරති. සමහරු ඒ වකවානුවේ පැවති හුවමාරු ක්‍රමයක්‌ ගැන කතා කරති. එහෙත් තේරුම්ගත යුත්තේ මේ සංකීර්ණ සත්ත්ව අවශේෂ වලින් කියෑවෙන්නේ බලංගොඩ මුත්තාගේ සංචාරක ජීවිතය බවය. මුහුදුබඩ ප්‍රදේශ වල සංචාරයේදී මුහුදු බෙල්ලන්, කොරල් හා මාළු අවශේෂවලින් ප්‍රයෝජනයට ගතහැකි දේ ඔවුහු රැගෙන ආහ. මාළු කටු බොහෝවිට භාවිත කර තිබුණේ කුඩා ආයුධ ලෙසය. මෝර දත්, සමහර බෙල්ලන් ඔවුන් විසින් පළඳනා ලෙස භාවිත කර තිබිණි. 

දඩබිම් සොයා යන මේ ගමන සිදුවී තිබුණු බව පෙනෙන්නේ ඇළ දොළ හා ගංගා නිම්න ඔස්‌සේය. මේ මානව ජනාවාස වලින් වැඩිපුරම ගස්‌බෙල්ලන් හා දියබෙල්ලන් හමුවන්නට හේතුවත් මෙය වන්නට පුළුවන. 


මේ වනවිට අපේ ප්‍රාග් ඓතිහාසික මනුෂ්‍යයා පිළිබඳ බොහෝ තොරතුරු හෙළිදරව් වී හමාරය. ඒ විද්‍යාත්මක සාධක මත පදනම්ව ආචාර්ය ශිරාන් දැරණියගලත් ආචාර්ය නිමල් පෙරේරාත් ලියූ ශාස්‌ත්‍රීය ග්‍රන්ථ ද්වය ලෝක සම්භාවනාවට පාත්‍ර වී ඇත. පී.ඊ.පී. දැරණියගල, ශිරාන් දැරණියගල, රා- සෝමදේව, නිමල් පෙරේරා, ප්‍රේමතිලක, කැලුම් මනමේන්ද්‍රආරච්චි වැනි විද්වතුන් මේ ක්‌ෂේත්‍රය තුළ මනා ශාස්‌ත්‍රීය ශික්‌ෂණයක්‌ සහිතව සිය පරීක්‌ෂණ මෙහෙයවා තිබේ. මේ වනවිට සිදුවන කූරගල කැණීම මේ දැනුම තවත් තියුණු කරවන්නකි. තවත් රසවත් කතා බොහෝමයක්‌ කූරගල ලෙනේ පස්‌තට්‌ටු අතරින් ඉදිරියේදී හෙළිදරව් වනු ඇත.


(සංවාදයක්‌ ඇසුරින් සැකසිණි)
ජූඩ් පෙරේරා
සත්ව පුරාවිද්‍යාඥ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

දිවයින ඉරිදා සංග්‍රහය








__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...