අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : ඇන්ටාක්ටිකාවෙන් දියුණු ශිෂ්ඨාචාරයක නටඹුන් හමුවුනාද? රහසෙන් කැණීම් කරනවාද?

ඇන්ටාටිකාව යනු සදාකාලිකවම හිමෙන් වැසුනු මහාද්වීපයකි. විටක මෙම අයිස් තට්ටුවේ ඝණකම කිලෝමීටර් 3ක් පමණවේ යයි කීවොත් ඔබ පුදුම වන්නටද පුලුවන. මේ මහා හිම තට්ටුවෙන් වැසුනු ඇන්ටාක්ටිකා මහාද්වීපය කලින් හිමෙන් තොරවූ අර්ධ-ඝර්මකලාපීය (sub-tropical) දේශගුණයකින් හෙබි ප්‍රදේශයක් වූ බවට විද්‍යාඥයින්  අතර කල්පිතයක් ඇත. මෑතකදී ඇන්ටාක්ටිකාව අසල මුහුදේ කැනීම් කල විද්‍යාඥයින් පිරිසකට වසර මිලියන 52ක් පැරණි යයි සැළකෙන වැසිවනාන්තරවල වැවෙන ශාකවල ෆොසිල හමුවී ඇත.

පහතින් ඇති යූ-ටියුබ් වීඩියෝව අමෙරිකාවේ නාසා ආයතනය මගින් නිර්මාණය කොට ඇති අතර එය ඇන්ටාක්ටිකාව අයිස්වලින් මිදුනු විට පෙනෙනා ආකාරය දක්වයි. මේ සඳහා දත්ත නාසා ආයතනයේ  විද්‍යාත්මක ව්‍යාපෘතියක් වන Operation IceBridge මගින් රැස්කල ඒවා මෙන්ම මහා බ්‍රිතාන්‍ය රජයේ ඇන්ටාක්ටිකා ගවේශණ ව්‍යාපෘතිය වන British Antarctic Survey මගින් රැස්කල ඒවාවේ.

 

ඇන්ටාක්ටිකාවේ බිහිවූවා යැයි සැළකෙන ඉපැරණි ශිෂ්ඨාචාරයක් පිලිබඳව විවිධ මත තිබෙනවා. "ක්‍රස්ටල් ඩිස්ප්ලේස්මන්ට්" නම් භූගෝල විද්‍යා කල්පිතයට අනුව පෘථිවි කබොල්ලේ කොටස් ඊට යටින් ඇති ලාවා ස්ථරය මත පාවෙමින් ගමන් කරන අතර ඒ අනුව මීට වසර 12,000කට පමණ ඉහතදී ඇන්ටාක්ටිකා මහාද්වීපයේ විශාල ප්‍රදේශයක් අයිස් නොමැති පෙදෙසක් වී තිබෙනවා. මෙහි දියුණු ශිෂ්ඨාචාරයක් බිහිවී පසුව ඇන්ටාක්ටිකාව මිදී යාමත් සමග විනාශවී ගිය බවයි කියවෙන්නේ.

ඇන්ටාක්ටිකාවේ බිහිවුනු දියුණු ශිෂ්ඨාචාරය ග්‍රීක දාර්ශනික ප්ලේටෝ විස්තර කල ඇට්ලෑන්ටිස් ශිෂ්ඨාචාරය විය හැකි බවටද කල්පිතයක් තිබෙනවා.  ඇන්ටාක්ටිකාව ගැන දේශගවේෂකයින් නොදැන සිටි සමයක ඇඳුනු පිරී රීස් සිතියමේ ඇන්ටාක්ටිකා වෙරළ බොහෝ දුරට නිවැරදිව දක්වා තිබෙනවා. මෙසේ වන්නට ඇත්තේ පිරී රීස් සිතියම නිර්මාණය කල අද්මිරාල් පිරී ඉබන් හාජි  ඒ සඳහා මූලාශ්‍ර ලෙස ඉපැරණි සිතියම් රාශියක් යොදාගත් නිසා බවයි උපකල්පණය වන්නේ. එනම් අද්මිරාල් හාජිගේ කාලයේ (1513 A.D) ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටියාට පැරැණ්නන් එය ගවේශණය කොට සිතියම් සකසා තිබෙන බවත් පසුව එම දැනුම වැලලී ගිය බවත් කියවෙනවා.

එසේත් නොමැතිනම් ඇන්ටාක්ටිකාවේ ශිෂ්ඨාචාරය දියුණුව පවතින කාලයේදී එහි වැසියන් අඳින ලද සිතියම් අද්මිරාජ් හාජිගේ කාළය වනතෙක්ම රාජකීය පුස්තකාලවල තිබෙන්නට ඇති බවද කල්පිතයක්.

එපමණක් නොව ඇන්ටාක්ටිකාවේ රූගත කිරීම් වල නිරතව සිටි කැලිෆෝනියානු රූපවාහිණී කණ්ඩායමක් හදිසියේ අතුරුදහන් වූ  බවත් ඔවුනට සිදුවූයේ කුමක්ද යන්න තවමත් නොදන්නා බවටත් කටකතාවක් පවතිනවා. අතුරුදහන් වූ මෙම කණ්ඩායම ඇන්ටාක්ටිකාවේ සිදුවන රහසිගත කැණීම් රූගත කරන්නට යද්දී අතුරුදහන් වූ බවයි පැවසෙන්නේ. ඇන්ටාක්ටිකාවේ ඝණ අයිස් තට්ටුව යට තිබී පිටසක්වලයින්ගේ යානාවක් හෝ ඔවුන්ගේ නගරයක නටඹුන් හමුවී ඇති බවත් ඇමරිකාව ඉතා රහසිගතව එම ස්ථානයේ කැණීම් කරන බවත්  පැවසෙනවා.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments