Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 15 June 2017

HISTORY : ඇන්ටාක්ටිකාව හොයාගන්න ඉස්සෙල්ලා ඇඳපු සිතියම් වල ඇන්ටාක්ටිකාව!!


විකිපීඩියා විශ්වකෝෂයට අනුව ඇන්ටාක්ටිකාව මුලින්ම දැක ගත් යුරෝපීයයන් වන්නේ රුසියානු රාජකීය නාවික හමුදාවේ (ඔක්තෝම්බර් විප්ලවයට පෙර සාර් රජසමයේ) අද්මිරාල්වරයෙකු වූ ෆේබියන් ගොත්ලේබ් හා ඔහු සමග ගවේෂණයට එක්වූ අද්මිරාල් මිකයිල් ලසරෙෆ්ය. ඒ 1820 වසරේදීය.

විකිපීඩියාවට අනුව රුසියානුවන් ඇන්ටාක්ටිකාව  සොයාගැනීමට පෙරසිටම, එනම් වසර දහස් ගණනාවක සිටම "ටෙරා ඔස්ට්‍රාලිස්"  නම්වූ විශාල භූමියක් ගැන පුරාවෘත්ත පැවතිනි. (ටෙරා=භූමිය / ඔස්ට්‍රාලිස් = දක්ශිණ). 

පුරාවෘත්ත ඕනෑ තරම් පැවතිය හැකිය, එහෙත් එම පුරාවෘත්ත පදනම්වූ පෞරාණික සිතියම් ඇතැයි කිවහොත් ඔබ විශ්වාස කරනවාද? ඇන්ටාක්ටිකාව සොයාගැනුනේ 1820දීය. ඒ වනට විට මුලුමනින්ම අයිස් වලින් වැසීගොසිනි. ගොඩබිම පමණක් නොව සැතපුම් සියගණනක් ඈතට මුහුදපවා අයිස් වලින් වැසීගොස් ඇති නිසා ඇන්ටාක්ටිකාවේ නිවැරදි සිතියම් ඇඳගැනීමට හැකිවූයේ නවීන රෙඩාර් සිතියම් කරනය මගිනි.

එහෙත්, ඇන්ටාක්ටිකාවේ නියම භූමිය පෙන්වන පැරණි සිතියම් කිහිපයක්ම හමුවී තිබෙන අතර පුදුමයට කරුණ නම් මෙම සිතියම්වල පෙන්වන ඇන්ටාක්ටිකාව හිමෙන් වැසුනු හිම කාන්තාරයක් නොව ගංගා, ඇලදොළ පවා සලකුණු කෙරුනු, හිමෙන් තොර භූමියක සිතියම් වීමය.


පිරි රෙයිස් සිතියම


පිරි රෙයිස් නොහොත් අද්මිරාල් පිරී ඉබන් හාජි මෙමද් 16වැනි සියවස ඔටෝමාන් අධිරාජ්‍යයෙහි (තුර්කි අධිරාජ්‍යය) සුප්‍රකට දේශගවේශකයෙකි. සිතියම්කරණය පිලිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ඔහු 1513දී ලෝක සිතියමක් නිර්මාණය කලේය. 1929දී තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පැරණි රජමාලිගයක තිබී හමුවුනු මෙම සිතියමෙහි කොටසක් ඉරී විනාශවී ගොස් තිබුණත් ඉතිරි කොටස හොඳින් සංරක්ශණය වී තිබුණි.

මෙම සිතියමෙහි අප්‍රිකාව, යුරෝපය හා දකුණු අමෙරිකාව, නිවැරදි අක්ශාංශ වල ස්ථානගතකොට තිබෙන බව සිතියම් එය පරීක්ශාකල බොහෝ පළපුරුදු ශිල්පීන් පවසයි. ඇන්ටාක්ටිකාව භූමි ප්‍රදේශයක් ලෙස හඳුනාගන්නට වසර 300කට කලින් ඇන්ටාක්ටිකාවේ උතුරුදිග වෙරළ පෙන්වන මේ සිතියම බොහෝ විශේෂඥයින්ගේ විශ්මයට හෙතුවී තිබේ.

අද්මිරාල් පිරී රෙයිස්, තමා මෙම සිතියම නිර්මාණය කිරීමෙහිලා ඔටෝමන් අධිරාජ්‍යයේ රාජකීය පුස්ථකාලයේ තිබුණු ඉපැරණි සිතියම් ගණනාවක් උපයෝගීකරගත් බව ඔහු සිය සිතියම් විස්තරයේ සඳහන් කොට තිබේ. . පිරී රෙයිස් පවසන අන්දමට, ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජසමයේ ඇඳි සිතියම් මෙන්ම ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින් ඇඳි සිතියමක්ද පාදක කොටගත්බව බව සඳහන් කොට ඇතත් එම සිතියම් දැනට අස්ථානගත වී තිබේ.

සිතියමේ යම් යම් වැරදි ඇතත්, ඇන්ටාක්ටිකාව නමින් ගොඩබිමක් ගැන කිසිවෙකුත් නොදන්නා සමයක, එවැන්නක් මෙම සිතියමෙහි පෙන්වීමත්, එම සිතියම සකස්කිරීමට පෞරාණික සිතියම් භාවිතාකල බව සිතියම් සැකසූ අද්මිරාර් වරයාම පැවසීමත් නිසා ඈත අතීතයේදී මෙම සිතියම් සකස් කිරීමට දැනුම තිබුණූ, ලොව පුරා ගවේශණයේ නියතවන්නට ඇති ශිෂ්ටාචාරයක් තිබෙන්නට ඇති බව අනුමාන කල හැකිය.

පිරී රෙයිස් සිතියම පිලිබඳ විවේචන

මෙම සිතියම නිවැරදි නොවන බවත්, දකුණු ඇමරිකාව විශාලත්වයෙන් වැඩි බවත්, එහි දකුණු කෙලවර ඇන්ටාක්ටිකාවට හා වී ඇති බව පෙන්වන බවත් පවසයි. ඒ අනුව පිරි රෙයිස් (හා අනෙකුත් පෞරාණික සිතියම් සැකසූවන්) ජනප්‍රවාදයේ එන ටෙරා ඔස්ට්‍රාලිස් හිතලූවට සිතියමට ඇතුලත් කොට ඇති බවට ඔවුන් නිගමනය කරයි.

එහෙත්, පිරී රෙයිස්ම ලියාතබා ඇති අන්දමට, ඔහු එම සිතියම් සකස් කලේ පැරණි සිතියම් මූලාශ්‍රකොට ගෙනයි. ඒ අනුව, ඔහු පාදක කොටගත් බොහෝ සිතියම් වල ඇන්ටාක්ටිකාව සටහන් කොට නොතිබුණා නම් ඔහු එය සිය සිතියමට ඇතුලත් කර නොගන්නට තිබුණි.

එමෙන්ම, පිරී රෙයිස් ගේ ඇන්ටාක්ටිකාව විවේචනය කරන්නවුන් ඔහු අක්ශාංශ නිවැරදිව යුරෝපය, අප්‍රිකාව හා දකුණු ඇමරිකාව සටහන් කලේ කෙසේදැයි විස්තර නොකරයි. මේවා නිවැරදිව සටහන් කරන්නට ඔහුට හැකි වන්නට ඇත්තේ ඔහු පාදක කොටගත් පෞරාණික සිතියම්ද එලෙසම නිවැරදිව එම භූමි ප්‍රදේශ පෙන්වන නිසා වන්නට නොහැකිද? නිවැරදිව අප්‍රිකාව, යුරෝපය හා දකුණු අමෙරිකාව පෙන්වන්නට හැකිනම්, ඔවුන් ඇන්ටාක්ටිකාව ගැන නොදැන සිටින්නට ඇත්ද?

එනම් 16වැනි සියවසේ පිරි රේස්ගේ කාලයේදීත් පැරණියයි සිතිය හැකි නිවැරදි සිතියම් තිබී ඇත. ඒවා නිර්මාණය කලේ කවුරුන්ද? කෙසේද?


ඔරොන්ටෙයස් ෆිනේයස් ගේ ලෝක සිතියම


ඔරොන්ටෙයස් ෆිනේයස්ද 16 වැනි ශතවර්ශයේ විසූ ප්‍රංශ ජාතික ගණිතඥයෙකු හා සිතියම් ශිල්පියෙකි. ඔහුගේ සිතියමෙහි ඇන්ටාක්ටිකාව ඉතා පැහැදිලිව දක්වා ඇත. ෆිනේයස්ද මෙම සිතියම නිර්මාණය කරන්නට එවකට තිබූ පැරණි සිතියම් ගණනාවක් උපයෝගීකර ගන්නට ඇත.

ෆිනේයස්ගේ ඇන්ටාක්ටිකා සිතියමේ ඇති තවත් විශ්මිත ලක්ශණයක් නම් එහි ගංගා ඇලදොල හා කඳුවැටි සලකුණු කොට තිබීමයි.  කිසිවෙකුත් නොදුටු, ජනප්‍රවාදයේ එන දක්ශිණ භූමිය තමන්ට හිතෙන ආකාරයකට ගස්වැල් ඇළදොළ ඇති භූමියක් යයි සිතා ෆිනේයස් මෙම සටහන් තැබුවාද? නැතහොත් ඈත අතීතයේදී ඇන්ටාක්ටිකාව හිමෙන් තොර සමයක ජීවත්වුනු දියුණු ජනකොට්ඨාශයක් විසින් අඳිනලද ඉපැරණි සිතියම් ඔහු පාදක කර ගත්තේද?

විවේචන

ෆිනේයස් දක්වා තිබෙන්නේ ඇන්ටාක්ටිකාව නොව ඔස්ට්‍රේලියා මහාද්වීපය බව සමහර විවේචකයින් පවසයි. එලෙස තර්කයක් ගොඩ නැගිය හැකිය.

එහෙත්;

මෙම සිතියමේ දකුණු ඇමරිකාවේ කෙලවර මෙම මහද්වීපයට ගෑවී ඇත. දකුණු ඇමරිකාව ලඟින්ම ඇත්තේ ඔස්ට්‍රේලියාවද? ඇන්ටාක්ටිකාවද? - දක්ශිණ අර්ධගෝලයේ පහත සිතියම බලන්න;

ගණිතඥයෙකු වූ ෆිනේයස්ට මෙවැනි වැරද්දක් සිදුවිය හැකිද? සැතපුම් 4000ක් ඈතින් ඇති ඔස්ට්‍රේලියාව ඔහු දකුණු අමෙරිකාවට මෙතරම් ලඟින් සටහන් කලේ ඇයි?

ෆිනේයස් ඇඳ ඇත්තේ ඔස්ට්‍රේලියාවද? ඇන්ටාක්ටිකාවද?
ෆිනේයස් යනු ආධුනිකයෙකු නොව, 16 වැනි සියවසේ ප්‍රංශයේ ජීවත්වුනු සුප්‍රකට චරිතයකි. නැවියන්හට මුහුදු තරණයේදී මග සොයාගැනීම සඳහා Maritime Navigation විශය පිලිබඳව පොත් ගණනාවක් ලියූ ඔහු ගණිතය පිලිබඳවද පොත් රාශියක් ලියා තිබේ. එමපණක් නොව ඔහු තාරකාව විද්‍යාව පිලිබඳවද පොත් ලියා ඇත. ඔහුගෙන් විද්‍යාවට වුනු සේවාව අගැයිම සඳහා සඳහි ආවාටයක් "ඔරොන්ටෙයස්" ලෙස නම් කොට ඇත.

මෙවැනි පුද්ගලෙකුට විශාල වැරදි හෝ අතපසුවීම් වන්නට පුලුවනිද?


ගැස්ටාල්ඩිගේ සිතියම

ගැස්ටාල්ඩි 16වැනි සියවසේ ඉතාලියේ වෙනිස් නුවර ජීවත්වුනු සුප්‍රකට සිතියම් කරුවෙකි.1548දී ඔහු එලිදැක්වූ ලෝක සිතියම් පෙල, එතෙක් නිර්මාණය කරන ලද ඉතා නිවැරදිම ලෝක සිතියම් පෙල බවට පිලිගැනෙයි.

ගැස්ටාල්ඩිගේ සිතියමෙහිද දකුණු ඇමරිකාවේ කෙළවර ඇති ඇන්ටාක්ටිකාව බලන්න. ෆිනේයස්ට වැරදුනා නම්, ගැස්ටාල්ඩි හටද එම වැරැද්ද එලෙසම සිදුවිය හැකිද?


16 වැනි සියව්සේ ජීවත්වුනු ගැස්ටාල්ඩි, 19වැනි සියවසෙහි සොයාගත් ඇන්ටාක්ටිකාව මෙතරම් නිවැරදිව සටහන් කලේ කෙසේද? ගැස්ටාල්ඩි, ෆිනේයස්ගේ ආභාශය ලැබුවාද? නැතහොත් පිරි රෙයිස් හා ෆිනේයස් මෙන්ම ගැස්ටාල්ඩිද පෞරාණික සිතියම්වල ආභාශය ලැබුවාද?


නූතන මානව ඉතිහාසඥයින් නොපිලිගන්නා ඉතිහාසය

මානව ඉතිහාසය හා තාක්ශණයේ දියුණුව පිලිබඳවත් දැනට පොදුවේ ඉගැන්වෙන මතවාද නිවැරදි යයි පිලිගන්නවුන්, 
එනම් මිනිසා ශිෂ්ටාචාර ලෙස දියූණුවන්නට පටන්ගෙන දැනට වසර 10,000ක් වත් නොමැති බවත්, ඊජිප්තු පිරමීඩ වසර 5000කට පෙර රෝදය හෝ යකඩ පවා නොතිබුනු, ගොවිතැනින් හා වෙළඳාමෙන් ජීවත් වුනු පැරණි ඊජිත්තු වැසියන් විසින් නිර්මාණය කරන ලද බවත් විශ්වාස කරන මානව ශිස්ඨාචාර විශේෂඥයින්, මෙම සිතියම් හුදෙක් අනුමාන මත නිර්මාණය කරන ලද ඒවා බව ප්‍රකාශකරති.
එහෙත්;

ඈත අතීතයේදී දැනට මානව ඉතිහාසයේ උගන්වනවාට වඩා තාක්ශණයෙන් හා දැනුමින් සපිරි ලොව පුරාම දේශාගවේශණයේ හා වෙලඳාමේ නියුතු, සිතියම්කරණය, තාරකා විද්‍යාව, අක්ශාංශ දේශාංශ පිලිබඳ හසල දැනුමක් ඇති, නිවැරදි කාළගණක යන්ත්‍ර හා මාලිමා යන්ත්‍ර තිබූ, මානව ශිෂ්ටාචාරයක් තිබෙන්නට ඇතැයි අනුමාන කල හැකිය.සමහරුන් මෙම ශිෂ්ටාචාරය ප්ලේටෝ සඳහන් කරන ඇට්ලෑන්ටිස් සිශ්ඨාචාරය බවට අදහති. 

මෙම ශිෂ්ඨාචාරය, ඇට්ලෑන්ටිස් ශිෂ්ටාචාරය වූවාද නැද්ද යන්න විවාදයට බඳුන්කල හැකි කරුණකි. එහෙත් මීට වසර 10,000-25,000 ඈත අතීතයේ, එනම් නූතන මානව සිශ්ඨාචාරයේ උගන්වන අන්දමට මිනිසා ශිෂ්ටාචාරව, නගර තනමින්, දේශවේශණය කරන්නට පටන්ගන්නා කාලයට බොහෝ පෙර, ඉතා දියුණු මානව වර්ගය ලොවපුරා ගවේශණයේ යෙදෙමින්, සිතියම් තනමින්, ලොව පුරාම ජනාවාස බිහිකරන්නට ඇති බව පිලිගන්නට සිදුවේ.

පිරමීඩ වසර 5000-6000කට වඩා පැරණි නැතැයි පුරාවිද්‍යාඥයින් පැවසූවද, පැරණි මිසර ලේඛනවලට අනුව පිරමීඩ, ඔවුන්ගේ මිසර රාජධානිය ආරම්බවන කාලයේද අද මෙන්ම ඔවුනටද දකින්නට තිබූ බව කියැවේ. එනම් පිරමීඩ ඊජිප්තු ශිෂ්ටාචාරයට වඩා පැරණි විය යුතුය. එදීනෙදා ජීවිතයේ බොහෝ දේ පැපිරස් පත්වල හා පූජනීය ස්ථානවල බිත්තිවල සටහන් කොට තැබූ මිසර වැසියන්, ඔවුන්ගේ ප්‍රෞඩම නිර්මාණය වියයුතු පිරමීඩ තැනුවේ කෙසේදැයි කිසිම තැනක සටහන් කොට නැත. ඊජිප්තුවේ පෞරාණික ගොඩ නැගිලිවල දක්නට ලැබෙන හයරොග්ලිෆික් ලේඛන කිසිවක් පිරමීඩවල දක්ණට නැත.

එපමණක් නොව, ස්ෆිනික්ස් ලෙස හැඳින්වෙන පිරමීඩ අසල ඇති පැරණි මිනිස්/සිංහ රූපවල පාදක ගල්වල ජලයෙන් වූ ඛාදනය පිලිබඳ සළකුණු ඇත. එහෙත් මේවා තැනූ මිසර ෆේරෝවරුන්ගේ ශිෂ්ඨාචාරය ආර්ම්භවන විටත් ඊජිප්තුව අදමෙන්ම වියළි කාළගුණයක් ඇති ප්‍රදේශයකි. ඊජිප්තුවට ජලගැලීම් ඇතිවිය හැකි අන්දමේ මහා වර්ශා ඇදවැටුනේ මීට වසර 10,000 පමණ පෙර අයිස් යුගය අවසන් වෙමින් තිබූකාලයේය. එනම් මෙම ස්ෆිනික්ස් රූප මුලින්ම නිර්මාණය කරන්නට ඇත්තේ මිසර ෆේරෝ රජවරු නොව මීට වසර 10,000-15,000 පෙර ඇතිවී තිබුණු ශිෂ්ඨාචාරයක් විසිනි.

අවාසනාවකට මෙන්, බහුතරයක් මානව විද්‍යාඥයින්, පුරාවිද්‍යාඥයින් මෙම තර්ක විතර්ක් අවඥාවෙන් බැහැර කරයි. මෙවැනි කරුණු පිලිබඳව වැඩිදුර හැදෑරීමක් හෝ කිරීමට ඔවුන් උත්සහ නොකරයි.

මීට පෙරද ජනප්‍රවාදයේ හා ප්‍රබන්ධවල විස්තර කර ඇති නගර හා සිදුවීම් පසුකලක සැබෑ බවට පුරාවිද්‍යාඥයින් විසින්ම සොයාගෙන ඇත. මීට හොඳම උදාහරණය ග්‍රීක කවියෙකු වූ හෝමර්, සිය ඉලියඩ් හා ඔඩෙසි කාව්‍යයන්හි විස්තර කල ට්‍රෝයි පුරවරයයි.


ප්‍රවාදයක්ව තිබී පසුව සැබෑවටම සොයාගත් හෝමර්ගේ ට්‍රෝයි පුරවරය.

ට්‍රෝයි පුරවරය ප්‍රසිද්ධ වන්නේ ක්‍රිස්තුපූර්ව 850දී පමණ ග්‍රීසියේ ජීවත්වුනු හෝමර් විසින් රචිත ඉලියඩ් හා ඔඩෙසි වීර කාව්‍යයන්ගෙනි. 

ට්‍රෝයි පුර ඔටුන්න හිමි කුමරා වුනු පැරිස්, ඉපැරණි ග්‍රීක සමූහාණ්ඩුවේ කොටසක් වුනු ස්පාර්ටාවට දූත මෙහෙවරකට පැමිණෙයි. මෙහිදී ස්පාර්ටාවේ රජු වුනු අගමෙම්නන්ගේ අගමෙහෙසිය වුනු සුරූපී හෙලන් හා පෙමින් බැඳෙන පැරිස් ඇය හා සමග සිය නුවර වුනු ට්‍රෝයි පුරයට පලා එයි. ස්පාර්ටාවේ රජු අගමෙම්නන්, අනෙකුත් ග්‍රීක රාජ්‍යයන් සමග එක්ව තමන්ගේ මෙහෙසිය සොරාගෙන ගිය පැරිස් කුමරුගේ ට්‍රෝයි පුරවරය වටලයි. දස වසරක යුද්ධයකට මුලපුරන මෙම ආක්‍රමණය අවසන්වන්නේ සුප්‍රකට ට්‍රෝජන් අශ්වයා උපකාරයෙන් ට්‍රෝයි වැසියන් රවටා ඔවුන්ගේ සශ්‍රීක නගරය වනසා දැමීමෙනි.

තනිකරම හෝමර්ගේ හිතලූ ප්‍රබන්ධයක් ලෙස සැළකෙමින් තිබුණු ට්‍රොයි පුරවරය සොයා ගැනීමට 1870දී ජර්මන් පුරා විද්‍යාඥයෙකු වූ හෙන්රික් ශ්ලීමන්ට හැකිවිය.

එපමණක් නොව, ට්‍රෝයි පුරවරය සොයා ගැනීමෙන් පසුව වුවද හෝමර්ගේ ඉලියඩ් හා ඔඩෙසි කාව්‍යයන් ප්‍රබන්ධ පමණක් බවත්, භාරතයේ රාමායනයෙන් ආභාශය ලබන්නට ඇති බවටත් තර්කයක් ගොඩනගන ලදී, එහෙත් මෙම තර්කයද සෑහෙන දුරට බිඳදැමීමට 2001 වසරේදී අමෙරිකානු හා අයර්ලන්ත පර්යේශකයින් දෙපොලක් සමත්විය. භූ විද්‍යාඥයින් වුනු ඔවුන්, හෝමර්ගේ වීර කාව්‍යවල විස්තර කෙරෙන ට්‍රෝයි පුරවරය අවට භූවිශමතා හා ලක්ශණ, ට්‍රෝයි පුරවරය අසල දකින්නට ලැබෙන භූවිශමතා වලට සමාන බව වසර 20කට අධික කාලයක පරීශණ හා ගවේශණ වලින් පසුව තහවුරු කරන ලදී. ඒ අනුව හෝමර්ගේ කාව්‍යයේ සඳහන් ට්‍රෝයි පුරවරය සැබැවින්ම තිබුණා පමණක් නොව ග්‍රීක ට්‍රෝයි යුද්ධය පවා සැබැවින්ම සිදුවන්නට ඇති බව දැන් විශ්වාස කෙරේ. ඔවුන් යුධ වැදුනේ සුරූපී හෙලන් වෙනුවෙන්ද නැතහොත් වෙනත් ආර්ථික හෝ දේශපාලන හේතූන් මතද යන්න තවමත් පැහැදිලි නැත.

හෝමර්ගේ ට්‍රෝයි සැබෑනම් අනෙක් පෞරාණික පුරාවෘත්ත හා සිතියම්?

ඒවාවලද යම් සත්‍යයක් තිබෙන බවට අනාගතයේදී සොයාගන්නට හැකිවන්නට පුලුවන....


- // -







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...