අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : වසර 2000කට පෙර විසූ මිසර පාරාවෝ තූතන්කාමුන් ගේ සැබෑ රුව හෙලිවේ!!


තූතන්කාමුන් යනු මිසරයේ එනම් ඊජිප්තුවේ පාරාවෝ (ෆේරෝ) රජ පරම්පරාවේ විසූ,  ලාබාළ වයසේදීම රජවී, ටික කළකින් මියගිය ළමා රජෙකි (boy king). ක්‍රි.පූ 1341හි ඉපිද ක්‍රි.පූ 1323 දී වසර 18ක් තරම් ලාබාළ වයසේදී මියගිය තූතන්කාමුන් රජවූයේ ක්‍රි.පූ 1333 එනම් යාන්තම් වයස 9 වූ විටයි. ප්‍රතාපවත් අක්හෙනාටන් රජුට දාව නෙෆර්ටීටී රැජිණට උපන් පුත්‍රයෙකි. 

අක්හෙනාටන් හා නෙෆර්ටීටී ලේ නෑයන් වූ අතර සමහර ඉතිහාසඥයින්ට අනුව ඔවුන් දෙදෙනා සොයුරු-සොයුරියන් වූවාය. සොයුරන් හා සොයුරියන් අතර විවාහය පාරාවෝ රජ පරම්පරාවේ ඉතා සුලභව දකින්නට ලැබේ. මේ ආසන්න ලේ ඥාතිත්වය නිසා ඔවුන් දෙදෙනාට දාව උපන් තූතන්කාමුන් උපතින්ම රෝගියෙකු විය. 

ඔහුගේ කොඳුඇට පෙල මදක් ඇදවූ අතර ගෙලෙහි ඇට සියල්ලම එකට හාවී තිබූ නිසා උපතින්ම හිස හැරවිය නොහැකි විය. එමෙන්ම ඔහුගේ දකුණු පාදය වළලුකරින් ඇදවී තිබූ අතර ඒ නිසා සැරියටියක් නොමැතිව ඇවිදීම කල නොහැකි විය.

කෙසේ වෙතත් ජනප්‍රවාදයේ එන පරිදි තූතන්කාමුන් මියගියේ යුධ කරත්ත (war chariot) අණතුරකින් සිදුවූ අස්ථි බිඳීම් හා තුවාලවලිනි.

බී.බී.සී වාර්තා චිත්‍රපටයක්වූ "Tutankhamun: the Truth Uncovered" සඳහා තූතන්කාමුන් මමීකෘත දේහයේ කැට් ස්කෑන් 2000ක් ආධාරයෙන් නිර්මාණය කල ත්‍රිමාණ සජීවීකරණ රූපවලින්, තූතන්කාමුන්ගේ සැබෑ රුව ප්‍රථම වරට හෙලිවී ඇත. සී.ටී ස්කෑන් දත්ත වලින් කල තූතන්කාමුන් ත්‍රිමාන රුව  අනුව ජනප්‍රවාදයේ එන යුධ කරත්ත අණතුර මරණයට හේතු විය නොහැකි බව තහවුරුවී තිබේ. විකෘති පාදයක් ඇති නිසා තූතන්කාමුන්ට වේගයෙන් යන යුධ කරත්තයක සිටගෙන අසුන් එළවීම සිදුකල නොහැකි බව දැන් සනාථවී ඇත.

ජාන විකෘති රෝගී තත්වයන් නිසා නිරන්තර වේදනාවෙන් හා දැඩි අපහසුතාවලින් පෙලෙමින් ජීවත්වූ තූතන්කාමුන් මියයන්නට පෙර දරුණු මැලේරියා රෝගයකින්ද පෙලෙමින් සිටි බව ඔහුගේ මමීකෘත දේහයේ ජාන විශ්ලේෂණයේදී හමුවූ මැලේරියා ප්ලැස්මෝඩියම් ප්‍රෝටෝසෝවා ජානවලින් තහවුරුවී තිබෙනවා.




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments