Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 2 November 2017

BUSINESS STRATEGY : ලාභය (පැරාගේ ලිපිය +++)

"පැරාගේ පැරෆෙනීලියා" බ්ලොග් එක ලියන, අජිත් පැරකුම් මහතා "පුද්ගලික අංශයේ ලාභය හා ලාභ ලැබීමේ සංකල්පය" ගැන වැදගත් ලිපියක් ලියා තිබුණා. ඒ ලිපිය මෙහි උපුටා දක්වා ඇති අතර ඒ මත මා විසින් එකතුකරන ඌණ පූරණ හා අමතර එකතුකිරීම් ද ඇතුලත් කොට තිබෙනවා. මාගේ එකතුකිරීම් නිල් පැහැයෙන් දක්වා තිබෙනවා.

සයිටම් ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම හොඳ දෙයකි. ලාභ නො ලබන, පොදු ආයතන ගොඩනැගීම රජයට විකල්ප වැඩපිළිවෙලක් ලෙස ද සැලකිය හැකි ය.

එහෙත්, ලාභය යනු කුමක්දැයි අප තේරුම් ගත යුතු ය. ලාභය යනු ඔය කියන තරම් මහා නරක දෙයක් ද? 
ලාභය යනු ආදායම හා වියදම අතර ඇති අතිරික්තයයි. එහි අයිතිකරුවන් වන්නේ ව්‍යාපාරයට සිය මුදල් ආයෝජනය කොට, සිය ව්‍යවසායක දැනුම, සම්බන්ධතා හා කළමණාකරණ හැකියාවන් ආයෝජනය කරන ව්‍යවසායකයින්ට (entrepreneurs) හා ව්‍යවසායකයාගේ ව්‍යාපාරික සැළැස්ම පිලිගෙන එයට මුදල් ආයෝජනය කරන ආයෝජකයින්ටයි. ඔවුන් අයිතිකරුවන්, කොටස් හිමියන් හෝ හවුල්කරුවන් විය හැකියි.
ව්‍යවසායකයා, අයිතිකරුවා, ආයෝජකයා, කොටස් හිමියා හෝ හවුල්කරුවා සිය සම්පත් ආයෝජනය කිරීමෙන් ගන්නා අවදානමට ගෙවීම වන්නේ ලාභයයි. ලාභය හෝ ලාභ ලැබීමේ හැකියාව නැමති උත්තේජකය නොමැතිවිට තමන් සතු සම්පත් ආයෝජනය කිරීමට කිසිවෙකු පෙලෙඹෙන්නේ නැත.
ලාභය ලිබ්බොක්කේ වලලන යුගය අවසන් ය. ලාභ ලබන්නෝ ඒ මුදල් නැවත ආයෝජනය කරති. නැතිනම් ඉහළ මට්ටමින් පරිභෝජනය කරති. මේ මුදල් සංසරණය වන විට සමස්තයක් ලෙස රටේ රැකියා ඇති වේ. ආර්ථිකය ප්‍ර‍සාරණය වේ. නව ලිබරල්වාදී ආර්ථික විශේෂඥයෝ එය ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමක් ලෙස සැලකූ හ. එහෙත් විෂමතා ඇති වීමේ බරපතල ගැටලුවක් තිබේ. ධනවාදයේ ඇති මූලික ගැටලුව මෙම විෂමතා ය. ලාභය නියාමනය කිරීම ඇත්තෙන් ම දුෂ්කර ය. සමාජවාදීන්ගේ ක්‍රීඩාව ඇත්තේ එතැන ය.

මාගේ කියැවීමේ හැටියට ධනවාදී හෝ පුද්ගලික ව්‍යවසාය මූලික ආර්ථිකයක විෂමතා ඇතිවීම වැලැක්විය නොහැකිය. ව්‍යවසායකයෙකු විය හැක්කේ යම් ආකාරයක සම්පත් අයිතිකරුවෙකුට පමණය. අතේ සතේ නැතුව සුළු සුළු ගණුදෙනු සිදුකොට ශූරලෙස දියුණුව අදවනවිට කෝටිපතියන් වී ඇති අයද ඇත. ඔවුන් විරලය. ඔවුන්ගේ සම්පත් වන්නේ සහජ ව්‍යාපාරික ඥාණය හා අප්‍රතිහත ධෛර්යයි.
අන් බොහෝ දෙනා ව්‍යාපාර අරඹන්නේ තමන් අත ඇති යම් සම්පතක් (මුදල්, ඉඩමක්, වාහනයක්, ගෙයක්, කඩ කෑල්ලක්) ආයෝජනය කිරීමෙනි. එනිසා ව්‍යවසායකයා හා ව්‍යවසායකයින් නොවන අය අතර විෂමතාවයක් තිබිය යුතුය. ව්‍යවසායකයා ලබන ලාභය, ඔහු සේවක සේවිකාවන්ට ගෙවන වැටුපට වඩා කිසිසේත් අඩුවිය නොහැකිය. එසේ අඩුවෙනවා යනු ව්‍යාපාරය පාඩු ලබයි, එනම් ආදායමට වඩා වියදම වැඩිය. ඒ අනුව පවත්වාගෙන යා නොහැකිය. 
අජිත් පැරකුම් පෙන්වාදෙන මේ සමාජවාදීන්ගේ ක්‍රීඩාව වන්නේ මේ යතාර්ථය යටපත් කොට කොලේ වසා ගසමින් ජනතාව රැවටීමයි. ඔවුන් ජනතාවට පෙන්වා දෙන්නේ "ලාබය = ශ්‍රමය සූරාකෑම" නැතහොත් "ලාභය=රටේ සම්පත් සූරාකෑම" බවයි.
මෙය කොතරම් පල් බොරුවක් වුවත් ලංකාවේ ආර්ථික විද්‍යා උගතුන් පවා මේ බොරුවට රැවටී ඇත. නැතිනම් වෙනත් වාසි සඳහා බොරුව දිගටම ගෙනයනවාය. ලාභ ලැබීමට පෙර ව්‍යවසායකයා ගන්නා අවදානම, වෙහෙස හා කැපවීම සමාජවාදීන්ට පෙනෙන්නේ නැත. ඔවුන්ට පෙනෙන්නේ ප්‍රතිපලය පමණකි. ඔවුන්ගේ චින්තනයට අනුව ව්‍යවසායකයින්ට සිය වෙහෙසේ ඵලය භුක්තිවිඳීමට නොහැකිය. එය සමාජවාදීන් කියන ආකාරයට "කංකරුවන්ට" දන්දී ව්‍යවසායකයා අතපිසදාගෙන ගෙදරයා යුතුය.
ස්වාධීන ආයතනයකට පවා ලාභය අවශ්‍ය ය. හේතුව, එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජන වෙනුවෙන් ණය හා පොළී ගෙවිය යුතු ය. එසේම, ආයතනය සංවර්ධනය කළ යුතු ය. සංවර්ධනය වෙනුවෙන් ගොඩනගා ගත හැකි ඉලක්කවලට සීමාවක් නැත. ස්වාධීන ආයතන ලාභ ලබන ප්‍ර‍මාණය කෙතරම් ද යන්න පවා ප්‍ර‍ශ්නයකි.

සමුපකාර සංකල්පය යනු ලාභය පිළිබඳ නිශේධාත්මක අදහසකින් තොරව මහජනතාව අතරින් පැනනැගුණු ආර්ථික ව්‍යාපාරයකි. ලංකාවේ සමුපකාර ව්‍යාපාරය විනාශ කළේ රජයයි. සමුපකාර දෙපාර්තමේන්තුව පිහිටුවමින් රජය සමුපකාර සංවිධාන වක්‍ර‍ ලෙස රජයට පවරා ගනිමින් විවිධ සේවා සමුපකාර සමිති නමින් රාජ්‍ය ආයතනයක් පිහිටෙව්වේ ය. මේ වන විට සමුපකාරය සෘජුවම රජයේ බූදලයක් වී තිබේ. 

බොහෝ දෙනෙකු සිතන්නේ රජය ලාභ නො ලබන ආයතනයක් ය කියා ය. මෙය සම්පූර්ණයෙන් ම වැරදි ය. රජය පමණක් නො ව, දැවැන්ත සමායතන පවා මේ වන විට ලාභය ඉහළ වැටුප් හා වරප්‍ර‍සාදවලට පරිවර්තනය කරගෙන තිබේ. සමාගම් හිමිකරුවන් හා ප්‍ර‍ධානීන් එ් සමාගම්වල නිලධාරීන් ලෙද විශාල වැටුප්, දීමනා, නිවාස වැනි වරප්‍ර‍සාද, විදේශ චාරිකා ආදිය ලබා ගනිති. 

දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් රජයට කරන්නේ ද එය ම ය. රජයේ විශේෂත්වය වන්නේ පාඩුව මහජනතාව පිට පැටවීමට හැකි වීමයි. හොඳම උදාහරණය මිහින් ලංකා ය. එහි නිලධාරීහු තමන්ගේ ලාභය ගත් හ. පාඩුව අපට ය.
මිහින් ලංකා, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොට වැනි කාබාසිනියා ව්‍යවසායන් තවමත් කරේ තියාගෙන යා යුතුයයි මොරදෙන්නේ මේ සමාජවාදී නඩයමය. ඒවායේ පාඩු පියවා ඇදගෙනයාමට අඩුම ගණනේ ආදායම් බදු වත් නොගෙවන මේ සමාජවාදී දේශපාලන ක්‍රීඩකයින් කියන්නේ ඒවා ඒ අන්දමටම පාඩු ලබමින් හෝ ඇදගෙන යා යුතුබවයි.
ඒවා නඩත්තුකරමින්, ව්‍යාපාර සැළසුමකට දියුණුකරමින් ලාභ ලැබිය හැකි ආයෝජකයින්ට / ව්‍යවාසයකයින්ට ඒවා පැවරීම "රටේ සම්පත් විකුණං කෑමකි." රටේ මිනිසුන් සීනි, තේකොළ, පරිප්පු, පැට්‍රල් ලීටරේට ගෙවන වක්‍ර බදුවලින් නඩත්තුවන මේ සුදුඅලින්ගේ බරින් රටත්, මිනිසුන්වත් නිදහස් කරගන්නට හදන, කොන්දක් ඇති මිනිස්සු සමාජවාදී තාත්තලාට බාප්පලාට අනුව "වික්කම-සිංහලා" වේ.
නියම නායකයින් වන්නේ නම දාගන්නට ඕනෑවට ගුවන් තොටුපොලවල්, වරායවල්, කැලෑවල ක්‍රිකට් ස්ටේඩියම් හදන්නට කෝටි ගණන් ණය අරගෙන ඒවා ගෙවන්නට ජනතාවට භාරදෙන කැරිස්මැටික් පේට්‍රියට්ලාය. 
කැලෑවට පස්වෙන තෙල් ටැංකි ටිකක්, ඒවා රෙපයාර් කොට වැඩකට යොදවාගන්නට ආයෝජන ශක්තිය හා තාක්ෂණික ඥාණය ඇති ඉන්දියාවේ තෙල් සමාගමට දීම රටේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් වනබවත්, රටේ වටිනා සම්පත් (ඒ කියන්නේ යුද්ධකාලේ හදපු, දැන් මළකඩ ටැංකි) විකුණා කෑම මහා අපරාධයක් බවත් කියන සමාජවාදී ෆෘත්තිය සමිති ගහන්නේ තනිකරම බොරුවෙන් වැසුනු  ක්‍රීඩාවකි.
ඔවුන්ගේ බොරුව වඩාත් ස්ථිරකර ගැනීමට ත්‍රිකුණාමල වරායේ ස්වභාවික පිහිටීම පවා උපයෝගීකර ගනී. දැඩි උපක්‍රමීය වැදගත්කමක් ඇති ත්‍රිකුණාමල වරාය විදෙස් බලවේගවලට පැවරීමේ පියවරක් ලෙස ඔවුන් මෙය හඳුන්වයි. එහෙත් ත්‍රිකුණාමල වරායේ හා ඒ වටා ඇති භූමියේ වැඩි හරියක් අයිති නාවික හමුදාවට හා යුධ හමුදාවට බව නොකියා මගහරියි. දිරායන තෙල්ටැංකි කිහිපයක් ලබාදීමෙන් මෙම දැවැන්ත කඳවුරු ඉවත්වීමක්, කුඩාවීමක් හෝ ඒවාට වෙනත් හානියක් නොවන බව නොකියයි.
 එහෙයින් රජය හෝ කිසිදු ස්වාධීන ආයතනයක් හෝ ලාභයෙන් මුළුමනින් ම ගැලවී ඇතැයි සිතීමට වඩා ලාභය ගැන පුළුල් අන්දමින් විග්‍ර‍හ කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.
ලාභය යනු යහපත් ප්‍රතිපලයයි. එනම් පාඩුව අයහපත් ප්‍රතිපලයකි. ව්‍යවසායකයා සිය ආයෝජනයට, අවදානමට හා වෙහෙසට හිලව්වට ලාභ ලබාගනී. සේවකයින් සිය කායික හා මානසික ශ්‍රමයට අනුරූපව වැටුප් හා වේතන ලබා ගනී. ව්‍යාපාරයට ණය දෙන්නන් ණයට අනුරූපව පොලිය ලබාගනී. මේ සියල්ල ගණුදෙනු වන අතර මේ ගණුදෙනුවෙන් සියල්ලන්ටම වාසි සැළසේ.
ව්‍යවසායක හැකියාවක් / උනන්දුවක් / සම්පත් නැති සේවා නියුක්තිකයෙකු ලෙස ක්‍රියාකරන්නාට සිය හැකියාවේ හැටියට වැටුප් හා වේතන ලැබේ. සමාජවාදීන් කියනා ආකාරයට ශ්‍රම සූරාකෑම් තිබුණේ කාර්මික විප්ලවය කාලේය.

අද ඔය කියනා ආකාරයට ශ්‍රම සූරාකෑමක් ඇතිනම්, වත්තේ තණකොළ ටික කපාගන්නට කුලී තණකොළ මැෂින් කාරයෙකු හොයා ගන්නට මෙච්චර වදවිඳිය යුතු නැත. ගාමන්ට් ෆැක්ටරි අයිතිකාරයින්ට, වැඩට කෙල්ලන් සොයාගැනීමට අමාරුවිය යුතු නැත. රටපුරා පැන නැගී ඇති ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත් කාරයෙකුගෙන් වැඩට මිනිසුන් සොයාගැනීම කොතරම් පහසුදැයි අසා බලන්න.
ලංකාවේ ඇත්තේ ලාභ ලබන ව්‍යවසායකයින් ශ්‍රමය සූරාකන ආර්ථිකයක් නොව, ලඟදීම ජාතික අර්බුධයක් වන තරමට වැඩිවෙමින් ඇති පුහුණු / නොපුහුණු ශ්‍රම හිඟකමයි. 



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...