අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : අවුරුදු 122කට පෙර 1895 නොවැම්බරයේ දිනක අහම්බෙන් සොයාගත් X-කිරණ


ඔයාලා හැමෝම දන්නවා X-කිරණ නැමති කිරණ වර්ගය මුලින්ම හඳුනාගත්තේත්, ඒවායේ ගතිගුණ පරික්ෂාකොට, ඒවාට මෘදු ඝණ වස්තූන් විනිවිද යා හැකිබව සොයාගත්තේත් විල්හෙල්ම් රොන්ට්ජන් කියලා.

1895 වසරේ නොවැම්බර් මාසයේ දිනක ජර්මන් ජාතික විල්හෙල්ම් රොන්ට්ජන් නම් භෞතික විද්‍යාඥයා crookes tube නම්වූ ෆ්ලොරසන්ට් ආලෝකය විහිදුවන වීදුරු බල්බයක් යොදාගෙන පරීක්ෂණයක් කලා. 

මේ බල්බයට ප්‍රභල විදුලි දහරාවක් සම්බන්ධකල විට ෆ්ලොරසන්ට් හෙවත් ප්‍රතිදීප්ත ආලෝකයක් නිකුත් කලා. මෙවැනි එක් පරීක්ෂණයකදී ඝණ කාඩ්බෝඩ් කැබැල්ලකින් ආවරණය කල වීදුරු බල්බයට විදුලිය ලබාදීමේදී ඈතින් පිහිටි තිරයක් කොළපැහැ ප්‍රතිදීප්ත ආලෝකයකින් දීප්තිමත් වන බව රොන්ට්ජන්ගේ තීක්ෂණ දෑසට හසුවුනා.

තමන් මේ නිරීක්ෂණය කලේ ඝණ කාඩ්බෝඩ් කැබැල්ල විනිවිද ගොස් තිරයක් ප්‍රතිදීප්තකල හැකි අලුත්ම ආකාරයක විද්‍යුත් චුම්බක විකිරණයක් බවට නිගමනය කල රොන්ට්ජන් වැඩිදුර තොරතුරු සොයාගන්නා තෙක් එම කිරණ වර්ගය නොදන්නා කිරණ හෙවත් X කිරණ ලෙස නම්කලා. එය කලේ තාවකාලිකව වුවත්, ඒ නම දැන් ලෝක ප්‍රචලිත වෙලා. 

X කිරණ වල විවිධ ගතිගුණ හඳුනාගැනීම සඳහා විවිධ පරීක්ෂණ කල රොන්ට්ජන් ඉන් එක් පරීක්ෂණයකදී ලොව පලමු X කිරණ ඡායාරූපය අරගත්තා. ඒ සිය බිරිඳවූ ඇනා බර්තා රොන්ට්ජන් මහත්මියගේ වම් අත ඡායාරූප තැටියක (photography plate) තබා X-කිරණ බල්බය ක්‍රියාත්මක කිරීමෙන්. රොන්ට්ජන් ගත් මේ ඓතිහාසික X-රේ ඡායාරූපය ඔබට පහතින් දැකිය හැකියි.

ලොව පලමු X කිරණ ඡායාරූපය වූ ඇනා බර්තා රොන්ට්ජන් මහත්මියගේ වම් අත.












__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments