7 BMW Innovations that changed the world of mobility | මෝටර් රථ තාක්ශණයේ පෙරලියක් ඇතිකල බී.එම්.ඩබ්ලිව් සමාගමේ නව නිර්මාණ



1] ඉලෙක්ට්‍රික් වාහන 

අදවන විට ඉලෙක්ට්‍රික් වාහන, හයිබ්‍රිඩ් වාහන සාමාන්‍ය දෙයක්. බොහෝ කාලයක් තිස්සේ විද්‍යා ප්‍රබන්ධවලට සීමාවෙලා තිබුණු ඉලෙක්ට්‍රික් වාහන අද ප්‍රායෝගික වාහනයක් බවට පත්වෙලා තිබුණත්, මුලින්ම ඉලෙක්ට්‍රික් වාහනයක් ප්‍රායෝගික වැඩකට යොදාගැනුනේ 1972 මියුනික් ඔලිම්පික් උළලේදී. මැරතන් වැනි දිගුදුර ඉසව් වලදී පරිවාර වාහනයක් ලෙස යොදාගැනුනු බී.එම්.ඩබලිව් ඉලෙක්ට්‍රික් කාරය ඉලෙක්ට්‍රික් වාහන ප්‍රායෝගික බව ඔප්පුකලා. බැටරි තාක්ශනය එතරම් දියුණුව නොතිබූ නිසා ගමන්කල හැකි දුර සීමාවූවත්, එම සීමිත බැටරි බලය උපරිම කරගන්නට මේ ඉලෙක්ට්‍රික් වාහනයට නූතන ඉලෙක්ට්‍රික් හා හයිබ්‍රිඩ් වාහන වල ඇති regenerative braking නම් ප්‍රතිජනන පද්ධතියක් පවා තිබුණා. රීජෙනරේටිව් ප්‍රතිජනන පද්ධතියෙන් සිදුකරන්නේ තිරිංග තද කිරීමේදී අපතේ යන ජවය ෆ්ලයිවීල් එකක් ආධාරයෙන් නැවත බැටරි ආරෝපනයට යොදාගැනීමයි.



අද සැමගේ සිත් ඇදගන්නා බී.එම්.ඩබලිව් i8 ඉලෙක්ට්‍රික් කාරයේ ආදිකතෲ විධියට මෙම ඉලෙක්ට්‍රික් කාරය හඳුන්වන්න පුලුවන්. 1969දී නිර්මාණය ආරම්භවූ මෙම ඉලෙක්ට්‍රික් කාරය BMW 1602e ලෙස නම් කොට තිබුණා. සාමාන්‍ය ලෙඩ්-ඇසිඩ් බැටරි වලින් බලගැන්වුනු මෙම කාරයේ මෝටරයට අශ්වබල 43ක ජවයක් නිපදවන්නට පුලුවන් වුනු අතර කිලෝමීටර් 19ක දුරක් එක් ආරෝපනයකින් ධාවනය කල හැකිව තිබුණා.

බී.එම්.ඩබලිව් සමාගම නිර්මාණය කල අනෙකුත් ඉලෙක්ට්‍රික් වාහන අතර 1975 LS Electric, 1981 325iX, 1991 BMW E1 and E2, E36 electric 325 හා  Mini E මුල් තැනක් ගන්නවා.


1972 මියුනික් ඔලිම්පික් උළලේදී හඳුන්වාදුන් බී.එම්.ඩබලිව් ඉලෙක්ට්‍රික් කාරයේ බැටරි පද්ධතිය.

2] අණතුරු වලක්වන රේඩාර්


නූතන සුඛෝපභෝගී වාහන සියල්ලෙම පාහේ තිබෙන අත්‍යාවශ්‍ය ආරක්ශක උපක්‍රමයක් වන්නේ ඉදිරියෙන් ඇති බාධක පිලිබඳ අණතුරු අඟවන රේඩාර් පද්ධතිය. බී.එම්.ඩබ්ලිව් සමාගම මෙම තාක්ශණය මුල්වරට ඉදිරිපත් කලේ 1972 තරම් ඈතදී. ඔවුන්ගේ බී.එම්.ඩබලිව්. E25 ටර්බෝ ලෙස හඳුන්වපු කල්පිත මාදිලි (concept model) වාහනයෙ තමයි මුල්වරට අණතුරු කල්තියා හඳුනාගෙන වාහනයේ බ්‍රේක් පද්ධතිය ක්‍රියාත්මක කොට වේගය අඩුකරන, නැතිනම් වාහනය නවත්වන රේඩාර් ආරක්ශක උප්‍රක්‍රමය හඳුන්වා දීලා තියෙන්නේ. අද ජනප්‍රියව පවතින රේඩාර් භාවිතයෙන් ක්‍රියාත්මක වන ඇක්ටිව් කෲස් කොන්ට්‍රෝල් තාක්ශණයේ ආදි කතෲ විධියට මේ තාක්ශණය හඳුන්වන්න පුලුවන්.

E25 Turbo Concept Car - 1972
මෙම රථයද 1972 ග්‍රීෂ්ම සෘතු ඔලිම්පික් උළලේදී ජර්මන් තාක්ශණය ලොවට පිලිබිඹු කිරීම සඳහා බී.එම්.ඩබලිව් සමාගම නිර්මාණය කොට ඔලිම්පික් උළලේදී ප්‍රදර්ශණය කරනු ලැබුවා.

BMW E25 Turbo Concept Car - Dashboard

3] ඉලෙක්ට්‍රොනික ආපදා විනිශ්චය

සියලූම නූතන බී.එම්.ඩබලිව් හා වෙනත් උසස් තත්වයේ වාහන සියල්ලකම පාහේ ඉලෙක්ට්‍රොනික් ආපදා විනිශ්චය තාක්ශනය හෙවත් අඩංගුකොට තිබෙනවා. ඒ අනුව වාහනයේ ගමනාරභයට පෙර එහි සියලුම පද්ධති, එනම් එන්ජිම, ගියර පද්ධතිය, බ්‍රේක්, සුක්කානම, එයා බෑග් හා වෙනත් ආරක්ශක උපක්‍රම යනාදී සියල්ලේම ක්‍රියාකාරීත්වය සොයාබලා රියදුරාට දැනුම් දෙනවා. එමෙන්ම වාහනය ධාවනයේදීද යම් පද්ධතියක ක්‍රියාකාරිත්වය අඩපනවේනම් අයද දැනුම් දෙනවා. මෙවැනි පද්ධතියක් මුලින්ම හඳුන්වා දුන්නේ 1976දී හඳුන්වාදුන් බී.එම්.ඩබලිව් 6 සීරීස් ( BMW 6 Series - E24) මෝටර් රථය.


4] Active Rear Axle Kinematics

Anti-lock Braking System (ABS), Automatic Stability Control (ASC), Automatic Traction Control (ATC) වැනි ආරක්ශණ තාක්ශණයන් ගෙන වාහනයක ලෙස්සා යාම හා පෙරලී යාමට ඇති හැකියාව අවම කරන අතර 1989දී BMW 8 සීරීස් අධිවේගී මාදිලියෙන් (Sports Coupe) හඳුන්වා දුන් ඇක්ටිව් රියර් ඇක්සල් කයිනමැටික්ස් තාක්ශණයෙන් වාහනය අධිවේගී ධාවනයේදී රියදුරා අතින් පාලනයෙන් ගිලිහීම වලක්වනවා. මේ සඳහා සංකීර්ණ පරිගණක පද්ධතියක් වාහනයේ වේගය, ත්වරණය, ඉදිරිපස රෝද හැරවෙන ප්‍රමාණය, වාහනයට දැනෙන බලය හා වෙනත් මාන රාශියක් ආධාරයෙන් වාහනයේ පිටුපස රෝද අංශක කිහිපයක් වමට හෝ දකුණට හරවමින් රියදුරාට සුපිරි පාලනයක් ලබාදෙනවා.




5] Electronic Engine Control තාක්ශණය

BMW සමාගම ඉලෙක්ට්‍රොනික එන්ජින් පාලන පද්ධති හඳුන්වාදීමේද පුරෝගාමියෙකු වනවා. 1979දී හඳුන්වාදුන් 732i මාදිලියන් මුල්වරට පරිගණකයක් මගින් පාලනය වන ඉන්ධන ලබාදීම හා ස්පාර්ක්-ප්ලග් දැල්වීමේ පද්ධතියක් (fuel injection and spark-plug timing control) හඳුන්වා දුන්නා. ජර්මනියේ බොෂ් සමාගම හා බී.එම්.ඩබලිව් සමාගම එක්ව නිර්මානය කල මෙය "මෝට්‍රොනික්" නම් වෙළඳ නාමය යටතේ එලිදැක්වුනා.

මෝට්‍රොනික් එන්ජින් පාලන පද්ධතිය මගින් එන්ජිමේ වේගය (RPM), ක්‍රැන්ක්-ෂාෆ්ටයේ ක්‍රියාකාරිත්වය, සිසිලන පද්ධතියේ උෂ්ණත්වය, ඇක්සලරේටරය ක්‍රියාත්මක කොට ඇති ප්‍රමාණය යන දත්ත මෙන්ම එයා ක්ලීනරය හරහා එන වාතය පරිමා දත්තද ලබාගෙන ඒ අනුව එන්ජිමට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණය හා ස්පාර්ක්-ප්ලග් දැල්විය යුතු කාලාන්තරද නිර්ණය කරනවා. මේ මගින් වාහනයේ ඉන්ධන පිරිමැස්ම උපරිම කරනවා.

1979 BMW 7 Series - First model to use digital engine control system

6] All Wheel Drive (AWD)

xDrive නම්වූ BMW - All Wheel Drive තාක්ශණය  ඕල් වීල් ඩ්‍රයිව් තාක්ශනයේ පෙරලියක් ඇතිකලා. වාහනයේ වේගය, පාරේ ස්වභාවය, වාහනය මත ඇතිවී ඇති ගුරුත්ව බලය (g force) යනාදී දත්ත ආධාරයෙන් රියදුරාගේ විධානයන් අනුව වාහනයේ ස්ථාවරත්වයට (stability) කිනම් බලපෑමක් ඇතිවේදැයි මොහොතින් මොහොත නිර්ණය කරමින්, ඒ අනුව රෝද හතරේ එක් එක් රෝදයට ලබාදිය යුතු ව්‍යවර්ත බලය නිර්ණය කිරීම මෙම පද්ධතියේ විශේෂත්වයයි. එක්ස්-ඩ්‍රයිව් පද්ධතිය මුල් වරට හඳුන්වාදුන්නේ 2003 තරම් ඈතදී. ඒ වෙනත් වාහන නිශ්පාදකයින් සමාන පද්ධති සිය වාහන වලට එකතුකිරීමට බොහෝ කාලයකට පෙර සිටයි.




7] Gesture Controls

Gesture control හෙවත් දෑත් අභිනයෙන් ඉලෙක්ට්‍රොනික උපාංග පාලනය එතරම් අලුත් තාක්ශණයක් නොවෙයි. විශාල ලෙස පාරිභෝගිකයින් අතරට අවතීර්ණ නොවුනත් ජෙස්චර් කොන්ට්‍රොල් පාලන පද්ධති පරිගණක ක්‍රීඩා ලෝලීන් අතර ඉතා ජනප්‍රියයි. රියදුරන් හට වාහනයේ වායුසමන පද්ධතිය, රේඩියෝව, දුරකථන ඇමතුම් ලබාගැනීම හා විසන්ධි කිරීම වැනි විධාන ලබාදීම ජෙස්චර් කොන්ට්‍රොල් ආකාරයෙන් ලබාදීමේ පහසුමකම 2015 සිට සියලුම BMW සීරීස් 7 සුඛෝපභෝගී මෝටර් රථවලට ලබාදී තිබෙනවා.


__________________________________________________________________________ .

.
POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

.
CONTACT    : terence.arachchi@gmail.com

.
GOOGLE +   : About Me 

.
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments