Related Posts Plugin for WordPress, Blogger...

Monday, 4 April 2016

විද්‍යා ප්‍රවෘත්ති | Science News

කිලෝමීටර් 11ක් උඩින් පියාඹන ගිජුලිහිණියා

ලෝකයේ වැඩිම උසකින් පියාසර කල හැකි පක්ශියා ඔබ දන්නවාද? ඒ තමයි රූපෙල්ස් වල්චර් හෙවත් රූපෙල්ස් ගිජුලිහිණියා (Gyps rueppelli). අඩි 37,000ක් නැතිනම් මීටර් 11,000 (කිලෝමීටර් 11ක්) ඉහල අහසට එතරම් අපහසුවකින් තොරව ඉහල නැගීමට මෙම ගිජුලිහිණියන්ට පුලුවන් කියලා වාර්තාවෙනවා.

අප්‍රිකාවේ දකින්නට ලැබෙන මේ රූපෙල්ස් ගිජුලිහිණියාට ඒ නම ලැබිල තියෙනේ 19 ශතවර්ශයේ අප්‍රිකාව ගවිශණය කල එඩුවාර්ඩ් රුපෙල් සිහිවන්නට. ගවේශකයෙකු මෙන්ම සත්විවිද්‍යාඥයෙකු ලෙසද රූපෙල්ස් ගෞරවයට පාත්‍රවනවා.

ගණන් කරන පැළෑටි

Venus Flytrap: Copyright Shutter Stock

වීනස් ෆ්ලයිට්‍රැප් ලෙස හඳුන්වන, කෘමිසතුන් අල්ලාගෙන ආහාරයට ගන්නා මාංෂභක්ශක ශාකයට ගණන් කිරීමේ හැකියාව ඇතිබව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. සුවඳවත් ද්‍රාවණයක් මගින් මැස්සන් වැනි සතුන් ආකර්ෂණය කරගන්නා වීනස් ෆ්ලයිට්‍රැප් ශාකය එම සතුන් පැලෑටියේ ස්පර්ශකවල ගැටුනුවිට ක්ශණිකව එම කොටස වසාගෙන කෘමියාව සිරකර ගන්නවා.

කෙසේවෙතත් මෙලෙස උගුල් කොටස වසා ගැනීම විශාල ශක්තියක් වැයකල යුතු ක්‍රියාවලියක්. ඒ අනුව නිරපරාදේ එම උගුල වසාගැනීම ශක්තිය අපතේ යැවීමක්. මෙයට පිලියමක් ලෙසයි මෙම පැලෑටිය ගණන්කිරීමේ හැකියාව ලබාගෙන තියෙන්නේ.

උදාහරණයක් ලෙස වැහි බිංදුවක් ස්පර්ෂක වල ගැටුනවිට එය ගණන් නොගෙන සිටීම සඳහා පැලෑටිය එක්වර්ක් ස්පර්ෂක උත්තේජනයවීම නොසලකා සිටිනවා. දෙතුන් වතාවක් පිට පිට ස්පර්ශක උත්තේජනය වේනම් එය කෘමිසතෙකු වීමේ සම්භාවිතාව වැඩිනිසා පැලෑටිය දෙතුන්වතාවක් පිට පිට ස්පර්ශක උත්තේජනවීම් වලදි පමණයි උගුල වසාගන්නේ.

එමෙන්ම උගුල වැසුනු පසු ඊලඟ පියවර වන කෘමියා ජීර්ණය වීමේ ජීර්ණ එන්සයිම ශ්‍රාවය වීම සිදුවන්නේත් ගණනය කිරීමකින් පසුවයි.  වැස්සක් වැටෙන විට එකදිගටම ස්පර්ශක උත්තේජනය වන නිසා පැලෑටිය උගුල වසාගන්නවා. එහෙත් ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරන්නේ උගුල වසාගත් විටත් චලනයවීම් ස්පර්ශක වලට දැනෙනවානම් පමණයි. කෘමියෙකු අසුවූ විට ඌ උගුල තුල දඟලනවා. එමය සැබැවින්ම සතෙකු අසුවී ඇති බවට ඉඟියක්. විද්‍යාඥයින් පවසන අන්දමට වීනස් ෆ්ලයිට්‍රැප් ශාකය උගුල වැසීමෙන් පසුත් එකදිගට පස්වතාවක් පමණ උත්තේජනය වීම දැනුනොත් පමණයි ජීර්ණ එන්සයිම ශ්‍රාවය කරන්නේ.

මහත අය වැඩිවෙලා!


ලන්ඩන් නුවරින් ලැබෙන පර්යේෂණ වාර්තාවකට අනුව ලොවපුරා ස්ථුලභාවයෙන් පෙලෙන ජනයා මිලියන 640ක් සිටිනවා. මේ ගණන මන්දපෝෂණය නිසා තිබුය යුතු බරට වඩා අඩු බරක් ඇති (underweight) පිරිසට වඩා වැඩි බවයි මෙම වාර්තාව පෙන්වාදෙන්නේ.

1974දී ස්ථුල පුද්ගලයින් මිලියන 104ක් සිට ඇති අතර දැන් එම ප්‍රමාණය සයගුණයකින් වැඩිවෙලා. සෑම පිරිමි 10කින් එක් අයෙකුද, සෑම ගැහැණුන් 7කින් එක් අයෙකුද ස්ථුල ලෙස ගණන් ගත හැකි ප්‍රමාණයේ BMI අගයකට හිමිකම් කියනවා.

LinkedIn ප්‍රොෆයිලයකින් හෙලිවුනු NSA ඔත්තුබැලීමේ ව්‍යාපෘතිය


LinkedIn යනු වෘත්තිකයින් සඳහා වෙන්වූ සමාජ ජාලයක්. ෆේස්බුක් සාමාජිකයින් සිය දෛනික කටයුතු විස්තර කරන ආකාරයටම ලින්ක්ඩ්-ඉන් සාමාජිකයින් සිය වෘත්තීමය කටයුතු, පර්යේෂණ කටයුතු ආදිය විස්තර කරන අතර කැමති අයට ජාලගත වීමේ පහසුකම් ලබාදී තිබෙනවා.

මෙහි එක් සාමාජිකයෙකු සිය ප්‍රොෆයිලයේ විස්තර කොට තිබූ එක් ව්‍යාපෘතියක් වෙත උකුසු ඇස යොමුකල එක්තරා සමාජ ජාල ක්‍රියාකාරියෙකු, මෙම පුද්ගලයා අතිශය රහසිගත අමෙරිකානු ඔත්තු සේවාවක් වන ජාතික ආරක්ශක ඒජන්සිය හෙවත් National Security Agency (NSA) වෙනුවෙන් සිදුකරන ලද මෘදුකාංග නිර්මාණ විස්තරයක් ඇසුරින් මෙම ඔත්තු බැලීම හෙලිකරගෙන තිබෙනවා.

මෙම සාමාජිකයා කල විස්තරය අනුව 1990 දශකයේදී සාගරය යටින් ලොව පුරා ටෙලිෆෝන් පණිවුඩ හා දත්ත ගෙනයන ෆයිබර් ඔප්ටික් කේබල් වලට සොරෙන් ඇතුලුවී දත්ත හා ටෙලිෆෝන් පණිවුඩ වලට සවන්දිය හැකි රොබෝ ඩ්‍රෝන සබ්මැරීන සඳහා පාලන මෘදුකාංග නිර්මාණය කොට තිබෙනවා. ඔහුගේ විස්තරය අනුව මෙම ඩ්‍රෝන සබ්මැරීන නිර්මාණය කොට තිබෙන්නේ ෆයිබර් ඔප්ටික් කේබල්, සේවාවට බාධාවක් නොවන ආකාරයට  ඉතා සූක්ශමව කපා ඒවා තුලට ඉලෙක්ට්‍රොණික උපකරණ සම්බන්ධකොට එම කේබලයේ ගමන්කරන සියලුම ටෙලිෆෝන් පණිවුඩ හා දත්ත හුවමාරුවලට සවන්දිය හැකි ලෙස සකසනවා.

කිලෝමීටර් ගණනක් මහ මුහුද යට ඇති මෙම කේබල් වෙත ඩ්‍රෝන සබ්මැරීන ගෙනයන්නේ අමෙරිකානු නාවික හමුදාව සතු න්‍යෂ්ඨිකබලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන මගිනුයි. 1992 වසරේ ආරම්භවූ මේ ඔත්තු බැලීමේ ව්‍යාපෘතිය එන්.එස්.ඒ ආයතනය වසර 25ක් පුරාවට කිසිදු සැකයක් ඇති නොවන ලෙස කරගෙන විත් තිබෙනවා.

ශීතකරණයක් තරම් කුඩා ඖෂධ කර්මාණ්තශාලාවක් නිර්මාණය වේ.


ඉහත ඡායාරූපයේ පෙනෙන මේ කුඩා කර්මාණ්තශාලාව එක් පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කල හැකි, රෝහලක භාවිතාකල හැකි මට්ටමේ සුපිරිසුදු ඖෂධ වර්ග 4ක් අවශ්‍ය විට නිශ්පාදනය (on-demand production) කල හැකි ලෙස නිමවා ඇත. කෝටි ගණන් වැයවන දැවැන්ත ඖෂධ නිශ්පාදන ෆැක්ටරි වෙනුව දියුණුවන රටවල්වලට දැරිය හැකි මිලකට අවශ්‍ය ඖෂධ අවශ්‍ය වේලාවට නිපදවාගැනීම හැකියාව මේ මගින් ලැබේ.

දැනට මෙම කුඩා මිනි-ෆැක්ටරිය මගින් ලිඩොකේන් (නිර්වින්දන ඖෂධයක්), වැලියම් (මානසික ආතතියට ගන්න ඖෂධයක්), බෙනඩ්‍රිල් (ඇන්ටි-හිස්ටමීන් වර්ගයේ ඖෂධයක්) හා ප්‍රොසැක් (මානසික විෂාධියට ඖෂධයක්) වැනි ඖෂධ වර්ග 4ක් නිපදවිය හැකියි.


----------------------------------------------------------------------------------------------------------

Posted By : Terence Kahapola Arachchi | Author/Editor/Administrator
Contact     : terence.arachchi@gmail.com



Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
Related Posts Plugin for WordPress, Blogger...