Science Quick Bites - පෝලියෝ වැක්සීනයට එරෙහිව යුධ වදින පාකිස්ථානයේ මුස්ලිම් අන්තවාදීන්


1988දී ලෝකයේ රටවල් 125ක පෝලියෝ රෝගය පැතිරෙමින් පැවතුනි. අදවන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය, රාජ්‍ය නොවන සංවිධාන හා රටවල ජාතික සෞඛ්‍ය සේවා විසින් දරන ලද දැවැන්ත ප්‍රයත්නය (Global Polio Eradication Initiative) හමුවේ පොලියෝ රෝගය රටවල් 123කින් තුරන් කිරීමට සමත්වී ඇති අතර එම රටවලින් පෝලියෝ රෝගියෙකු වසර ගණනාවකින් හමුවී නැත.

එහෙත් තවමත් ලෝකයේ රටවල් දෙකක පෝලියෝ පැතිරෙමින් පවතී. ඒ පාකිස්ථානය හා ඇෆ්ඝනිස්ථානයයි.

1988දී පෝලියෝ රෝගීන් හමුවූ රටවල්



2015දී පෝලියෝ රෝගීන් හමුවූ රටවල්


පෝලියෝ (පෝලියෝ මෙලයිටිස් - බාලක පක්ෂාඝාතය ) රෝගය වෛරසයක් මගින් පැතිරෙන අතර එම වෛරසය රෝගියාගේ ස්නායු පද්ධතිය ආක්‍රමණය කරයි. වයස අවුරුදු 5ට අඩු ළමුන්ට සෑදෙන පෝලියෝ රෝගීන් ගෙන් සමහරක් සදාකාලික ආබාධිතයින් බවට පත්වන්නේ ඔවුන්ගේ පාදයක් හෝ දෙකම පණනැතිවී යාම නිසාවෙනි. 

අන්තදුගී, ස්ථාවර රාජ්‍ය පාලනයන් පවා නොමැති ඉතියෝපියාව, සූඩානය වැනි රටවලින්ද පෝලියෝ තුරන්වී ඇතත් ඇෆ්ඝනිස්ථානයෙන් හා පාකිස්ථානයෙන් මෙම මාරාන්තික රෝගය තුරන්කිරීම දුෂ්කරවී ඇත. පාකිස්ථානයේ හා ඇෆ්ඝනිස්ථානයේ අන්තවාදී මුස්ලිම් දේශකයින්ට අනුව පෝලියෝ ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘති මුස්ලිම් දරුවන් වඳ භාවයට පත්කරන බටහිර කුමණ්ත්‍රණයක් බව නිතර දේශනාකරන අතර මේ නිසා පාකිස්ථානයේ හා ඇෆ්ඝනිස්තානයේ අවිගත් කල්ලි, මුස්ලිම් දරුවන් වඳභාවයෙන් බේරා ගැනීම සඳහා පෝලියෝ වැක්සීන ලබාදෙන සෞඛ්‍ය සේවකයින් ඉවක් බවක් නැතිව ඝාතනය කරති. එසේ කිරීමෙන් දෙව්ලොව යන බවද අදහති.

2012 සිට ආරම්භවූ මෙම පෝලියෝ වැක්සින විරෝධී යුද්ධයෙන් සෞඛ්‍ය සේවක සේවිකාවන් හා ඔවුනට ආරක්ශාව සපයන පොලිස් හා ආරක්ශක හමුදා සාමාජිකයින් මියගොස් ඇත.

ඊයේ කරච්චි නුවරදී පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහනක් ඉලක්ක කරගෙන සිදුකල ප්‍රහාරයෙන්, එම වැඩසටහනේ සේවකයින් හා සේවාලාභීන්ට ආරක්ශාව සලසමින් සිටි පොලිස් නිළධාරීන් සත් දෙනෙකු මියගොස් ඇත.

පාකිස්ථාන තලේබාන් සංවිධානයක් වන Tehreek-e-Taliban Pakistan Jamaatul Ahrar (TTP-JA) අන්තවාදී කල්ලියේ ප්‍රකාශකයෙක් පැවසූ අන්දමට "පෝලියෝ වැක්සිනීකරණය ඉස්ලාම් ශරියා නිතියට පටහැනි අතර පෝලියෝ වැක්සින ලබා දෙන්නන් හා ලබා ගන්න යන දෙපාර්ශවයටම අප හැකි හැම විටම පහර දෙන්නෙමු.."

පසුගිය ජනවාරියේ පෙෂාවර් නගරයේද පෝලියෝ මධ්‍යස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල්වූ අතර එයින් පුද්ගලයින් 14ක් මරණයට පත්විය.

CIA බින් ලාඩන් මෙහෙයුම ප්‍රතිශක්තිකරණ වැඩසටහන් වලට එල්ල වන ප්‍රහාර වැඩිකරයි?

කෙසේවෙතත් මැදහත් ප්‍රකාශකයින් පවසන අන්දමට බින් ලාඩන් පාකිස්ථානයේ ඇබොටාබාද් නගරයේ නිවෙසක සැඟවී සිටින බවට සැක කල සී.අයි.ඒ සංවිධානය එම නිවැසියන්ගේ ඩී.එන්.ඒ සාම්පල ලබාගැනීමේ මෙහෙයුමක් ලෙස, සී.අයි.ඒ සේවකයෙකු වූ පාකිස්ථාන වෛද්‍යවරයෙකු වන ශාකිල් අෆ්‍රිඩි යොදවා ඇබොටාබාද් නගරයේ හෙපටයිටිස් රෝගය හඳුනාගැනීමේ හා ප්‍රතිශක්තිකරණය කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත.

මෙහිදී ලබාදුන් හෙපටයිටිස් ප්‍රතිශක්ති ඖෂධ බොරු ඖෂධවන අතර ඔවුන්ගේ එකම අරමුණ වී ඇත්තේ හෙපටයිටිස් වලට පරීක්ශාකරන මුවාවෙන් බින් ලාඩන් සැඟවී සිටිතැයි සිතන නිවසේ නිවැසියන්ගේ ලේ සාම්පල ලබාගෙන එම සාම්පල් අනුව බින් ලාඩන් සැබැවින්ම සිටීදැයි තහවුරු කරගැනීමයි.

මෙම සී.අයි.ඒ හොර වැක්සීන් ව්‍යාපෘතිය පිලිබඳ තොරතුරු අනාවරණය වීමත් සමග වැක්සීන වලට විරුද්ධ අන්තවාදීන් නවපණක් ලැබූ අතර දැන් ඔවුන් විශාල විනාශයක් සිදුකරමින් සිටී.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments