ඈත තරුවක් වටා පිටසක්වලයින් ඉදිකල දැවැන්ත අභ්‍යවකාශ වස්තුවක්?? | Alien mega-structure around a distant star?

අතිශය දියුණු පිටසක්වල ශිස්ඨාචාරයක් සිය සූර්යයා වටා ඉදිකල නිර්මාණයක් සිත්තරෙකුගේ ඇසින් - An artist's concept of an alien mega-struture around a star

ඈත පිටසක්වල තාරකා නිරීක්ශණය කරන විද්‍යාඥයින් කුතුහලයට පත්කරන අපූර්ව සංසිධියක් මෑතකදී වාර්තාවුනා. එය නම්කොට ඇත්තේ KIC 8462852. නමින්. මෙය  ඈත විශ්වයේ තාරකා නිරීක්ශණය කරමින් එම තාරකා වටා ග්‍රහලෝක මණ්ඩලයක් ඇතිදැයි සොයාබැලීම සඳහා 2009දී  අභ්‍යවකාශගත කල කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ශය මගින් හඳුනාගත් අපගේ සූර්යයා මෙන් 1.5 ගුණයක් විශාල තාරකාවක්.

විශ්වයේ තාරකා වටා භමණය වන සෞරග්‍රහමණ්ඩල හා එම සෞරග්‍රහමණ්ඩලවල ඇති ජිවයට හිතකර යැයි සිතිය හැකි ග්‍රහලෝක සොයාගැනීමේ අරමුණින් අභ්‍යවකාශයට යැවූ කෙප්ලර් දුරේක්ශයට ඒ නම ලබාදී ඇත්තේ ඔස්ට්‍රියාවේ විසූ යොහැන්නස් කෙප්ලර් (Johannes Kepler 1531-1630) නම් තාරකා විද්‍යාඥයා සැමරීමටයි. යොහැන්නස් කෙල්පර් සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණයවන ආකාරය පැහැදිලි කිරීමට ග්‍රහලෝක චලිත නියමයන් (laws of planetary motion) ව්‍යුත්පන්න කල විශිෂ්ඨ විද්වතෙක්. ඔහු තාරකා විද්‍යාවේ හා භෞතික විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ ගැලලිගේ සමකාලීනයෙක්ද වනවා.

කෙප්ලර් අභ්‍යවකාශ යානය - රූපසටහන්: නාසා

කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ශය ඈත තාරකා වටා ග්‍රහයින් භ්‍රමණය වන බවට තහවුරු කරගන්නා ආකාරය සරලව විස්තර කරන්නේ නම්, කෙප්ලර් යානාව වසර කිහිපයක් එක් තාරකා රාශියක් නිරීක්ශණය කරන අතර එක් එක් තාරකාවෙන් දිනපතා නිකුත්වන ආලෝක ප්‍රමාණය නිවැරදිව මැනගෙන පෘථිවියට එවනවා. කෙප්ලර් මෙහෙයුමේ නිරත තාරකා විද්‍යාඥයින් මෙම එක් එක් තාරකාවෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය නොවෙනස්ව පවතීද නැතහොත් නිශ්චිතා කාළාන්තර වලදී අඩුවී යලිත් වැඩිවේදැයි සොයා බලනවා.

තාරකාවක් වටා ග්‍රහයන් ගමන්කරනවිට එම තාරකාව නිරීක්ශණය කරන දිසාව ඉදිරියෙන් ග්‍රහයා (හෝ ග්‍රහයන්) ගමන් කරන සෑම විටම තාරකාවෙන් නිකුත්වන ආලෝකය 1% සිට 2% පමණ අඩුවී යලිත් වැඩිවෙනවා. ඒ තාරකාවේ ආලෝකයෙන් කොටසක් ග්‍රහලෝකයෙන් වැසීයාම හේතුවෙන්. මෙලෙස ආලෝකය අඩුවීමේ ප්‍රමාණය අනුව ග්‍රහයාගේ විශාලත්වයත්, එය සිදුවන කාලාන්තරය අනුව ග්‍රහලෝකය තාරකාවට කොතරම් දුරකින් ගමන් කරන්නේද යන්නත් ගණනය කිරීමට විද්‍යාඥයින්ට හැකියි.

KIC 8462852 තාරකාවේ විෂමතාවය -  Anomaly of KIC 8462852

කෙප්ලර් දුරේක්ශය ආධාරයෙන් විද්‍යාඥයින් තාරකා 150,000ක් පමණ නිරීක්ශණය කොට ඇති අතර ග්‍රහලෝක සියගණනක් සොයාගෙන තිබෙනවා. මින් සමහර ග්‍රහලෝක පෘථිවියට සමාන, සිය තාරකාව වටා පෘථිවිය සූර්යයාගේ සිට ඇති දුරට ආසන්න දුරකින් පිහිටි, බොහෝවිට ද්‍රව ජලය ඇති ග්‍රහලෝක වියහැකි බවටද ඔවුන් විශ්වාස කරනවා.

එහෙත් KIC 8462852 මේ සියල්ලටම වඩා වෙනස්. මෙම තාරකාවේ ආලෝකය වරකට 20% තරම් අඩුවී වැඩිවෙනවා. 20%ක ආලෝක ප්‍රමාණයක් අවහිර කිරීමට මෙම තාරකාව වටා ඇති ග්‍රහලෝකය එම තාරකාව් මෙන් 50%ක තරම් විශාල විය යුතුයි. එමෙන්ම එම තාරකාවද අපේ හිරු මෙන් 1.5ක ප්‍රමාණයක් විශාල නිසා මෙම ග්‍රහලෝකය අතිශයින්ම සුවිසල් ග්‍රහලෝකයක් විය යුතුයි.

විදයාඥයින් පවසන අන්දමට මෙවැනි සුපිරි විශාලත්වයේ ග්‍රහලෝකයක් මෙවැනි ප්‍රමාණයේ සූර්යයෙක් වටා බිහිවිය නොහැකියි. එමෙන්ම මෙලෙස ආලෝකය අඩුවිය හැකි වෙනත් ස්වභාවික හේතූන් ගණනාවක්ම ඉතා සූක්ෂම නිරීක්ශණයන් මගින් බැහර කොට තිබෙනවා.

එසේනම් මෙම තාරකාවේ ආලෝකයෙන් 50%ක් උරාගන්නා, එයවටා කක්ශගත්වී ඇති අත්භූත වස්තුව කුමක්ද? 

Dyson Sphere Hypothesis - ඩයිසන් ගෝල කල්පිතය

ඩයිසන් ගෝලය යනු, 1960දී ෆ්‍රීමන් ඩයිසන් නම් තාරකා විද්‍යාඥයා විශ්වයේ දියුණු පිටසක්වලයින් සිය බළශක්ති අවශ්‍යතා සපුරාගන්නා ආකාරය පිලිබඳ ඉදිරිපත්කල කල්පිතයක්. ඩයිසන්ගේ කල්පිතයට අනුව යම් ශිෂ්ඨාචාරයක් දියුණුවන විට ඔවුන්ගේ බලශක්ති අවශ්‍යතා වේගයෙන් ඉහල යනවා. මිනිසා සිය තාක්ශණ දියුණුවත් සමග ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්ව වෙනත් බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවන්නාසේම පිටසක්වල අතිශය දියුණු ශිෂ්ඨාචාරයක ජීවීන් ඔවුන්ගේ දියුණුවේ එක්තරා අදියරකදී ඔවුන්ගේ මව් ග්‍රහලෝකයේ ඇති සියලුම බලශක්ති ප්‍රභවයන්ට වඩා විශාල බලශක්තියක් අවශ්‍ය වන යුගයකට එළනවා. මිනිසා ක්‍රිස්තුවර්ශ 3000දී පමණ මෙවැනි යුගයකට එළබෙන්නට පුලුවන්.

මෙහිදී ඔවුන්, තමන්ට පහසුවෙන්ම බලශක්තිය ලබාගත හැකි තමන්ගේ සූර්යයා නිපදවන බලශක්තියෙන් විශාල ප්‍රතිශතයක් උකහාගත හැකි ක්‍රමවෙත යොමුවනවා. ඩයිසන් ගෝලය නැමති කල්පිත බලශක්ති උපක්‍රමය එවැන්න. මෙහිදී පිටසක්වල ජීවීන් සිය තාරකාවේ බලශක්තිය උරාගෙන තමන්ට ප්‍රයෝජනයට ගත හැකි ආකාරයේ ඉදිකිරීමක් එම තාරකාව වටා ඉදිකරනවා. ඉතාම දියුණු අදියරකදී ඔවුනට සිය තාරකාව සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස කෘත්‍රිම ගෝලයක් ඉදිකොට තාරකාව නිපදවන සියලුම බලශක්තිය උරාගෙන තමන්ට අවශ්‍ය ලෙස යොදාගැනීමට හැකි අවස්ථාවකට පත්වනවා. මෙවැනි ගෝලාකාර ඉදිරිකිරීමක් ඩයිසන් ඩෝලයක් ලෙස දැන් හඳුන්වනවා.

තාරකාව ආවරණය වන ලෙස ඉදිකරන ලද ඩයිසන් ගෝල නිරීක්ශණය අතිශය දියුණු පිටසක්වල ජීවීන් ඇති තාරකා හඳුනාගැනීමේ උපක්‍රමයක් ලෙසද යොදාගත හැකි බවට ඩයිසන් තවත් මතයක් ඉදිරිපත්කලා.

KIC 8462852තාරකාවේ එලිය මෙතරම් අඩුවන්නේ එය වටා ඉදිකල දැවැන්ත ඩයිසන් ගෝලයක කොටසක් නිසාද?

KIC 8462852 තාරකාවේ ආලෝකය මෙතරම් (20%) අඩුවීම පැහැදිලි කිරීමට වෙනත් ක්‍රම නොමැති නිසා සමහර විද්‍යාඥයින් එය, එම තාරකාවේ සෞරග්‍රහ මණ්ඩලයේ වාසය කරන අතිශය දියුණු (මිනිසාට වඩා අඩුතරමේ වසර 2000ක්වත් ඉදිරියෙන් - එනම් ක්‍රිස්තුවර්ශ 4000දී පමණ මිනිසා ලබාගනී යැයි සිතියහැකි තාක්ශණික දියුණුව දැන් ලඟාකරගෙන ඇති ) පිටසක්වල ශිෂ්ඨචාරයක ජීවීන් සිය තාරකාවේ බලය උරාගැනීම සඳහා ඉදිකල යම් ආකාරයක ඩයිසන් ඉදිකිරීමක් විය හැකි බවට කල්පිතයක් ඉදිරිපත් කරනවා.

ඩයිසන් ගෝල කල්පිතය පිලිබඳ සවිස්තර තොරතුරු මේ විකිපීඩියා පිටුවෙන් ලබගත හැකියි.
 __________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  
.
CONTACT    : terence.arachchi@gmail.com .  
.
GOOGLE +   : About Me  .  
.
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments