Science Quick Bites - චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මුල් අදිරයර 2018දී පෘථිවි කක්ෂයට


"ටියන්ගොංග් අභ්‍යවකාශ මධ්‍යස්ථානය"
අභ්‍යවකාශ තරණයේදී අමෙරිකාව හා රුසියාව සමග කරට කර සිටීමට දැවැන්ත ප්‍රයත්නයක නිරත වන චීනය මේ වනවිට දේශීය චීන තාක්ශණයෙන් නිමැවූ රොකට්ටු හා අභ්‍යවකාශ යානා ආධාරයෙන් අභ්‍යවකාශගාමීන් උඩුගුවනට යවා ආපසු නිරුපද්‍රිතව ගෙන්වාගෙන ඇති අතර සඳමතට රොබෝ ගවේෂණ යානාවක් ගොඩබස්වා තිබේ. එමෙන්ම දැනට අමෙරිකාව පෙරමුනේ සිටින නැවත නැවත භාවිතකල හැකි රොකට් තාක්ශණයද තමන් සතුකරගැනීම සඳහා නැවත ප්‍රයෝජනයට ගතහැකි රොකට්ටු නිර්මාණය කරමින් සිටී.

එපමණක් නොව නුදුරු අනාගතයේදී අමෙරිකානු හබල් දුරේක්ෂයට සමාන අභ්‍යවකාශ දුරේක්ශයක් ගුවනගත කිරීමටද චීන අභ්‍යවකාශ ඒජන්සිය බලාපොරොත්තු වනවා. චීන අභ්‍යවකාශ ව්‍යාපෘතියේ ඊලඟ ඉලක්කය වන්නේ තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ගොඩනගා ගැනීමයි. චීන ජනාධිපති සී ජින්පිංග්, චීනය අභ්‍යවකාශ බලවතෙකු බවට පත්වීම ජාතික ප්‍රමුඛතාවයක් බවට ප්‍රකාශකොට ඇත.

චීනය තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් නිර්මාණය කරගැනීමට දැඩි අධිශ්ඨානයකින් ක්‍රියාකරන්නට පටන්ගත්තේ 2011දී අමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලය, අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය (ISS) චීනයට තහනම් කිරීමත් සමගයි. යුධ චීන තාක්ශණය වැඩි දියුණු කරගැනීමට අවශ්‍ය දැනුම උකහාගැනීමට චීනය සිය ගගනගාමීන් යොදවනු ඇතැයි බිය පලකල ඇමරිකන් කොන්ග්‍රස් මණ්ඩලය අමෙරිකානු අභ්‍යවකාශ තාක්ශණය භාවිතාවන සියලුම ස්ථාන චීනයට තහනම් කිරීමට තීරනය කලා. ඒ අනුව මැලේසියාව වැනි කුඩා රටවල ගගනගාමීන්ට පවා ISS මධ්‍යස්ථානයේ දොර ඇරෙද්දී චීනයට එය තරයේ වසා දැමුනා.



Tianhe-1 ලෙස හඳුන්වනු ලබන චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පලමු අදියර හෙවත් පාදක මොඩියුලය (core module) 2018දී ගුවන්ගත කිරීමට බලාපොරොත්තු වෙනවා. පාදක මොඩියුලය හා සම්බන්ධ කිරීමට පර්යේෂණාගාර සහිත මොඩියුල දෙකක් (experiment modules) අවස්ථා දෙකකදී ගුවන්ගත කෙරෙනු ඇති අතර මේ සියල්ල එකට බද්ධවූ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2022 වනවිට ඉදිකෙරී අවසන්වනු ඇත. සෝවියට් දේශයේ අවසාන කාලයේ ගුවන්ගත කල මීර් අභ්‍යවකාශ යානයට සමාන ඉඩ ප්‍රමානයකින් චීන ටියන්ගොංග් මධ්‍යස්ථානය නිර්මානය වන බව තතුදත් ආරංචි මාර්ග පවසනවා.

චීනයේ ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානය වන Beijing Aerospace Command and Control Center මගින් මෙම මධ්‍යස්ථානයේ පාලන කටයුතු සිදුවනු ඇති.

__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments