අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

BUSINESS STRATEGY : අනේ TESLA, ඔයාලා කෝටි ගණන් පාඩු විඳින, බොරු කයිවාරු කොම්පැණියක් හලෝ! - මීට වොක්ස්වැගන් !!!

මැතීස් මලර්
වොක්ස්වැගන් සමාගමේ සී.ඊ.ඕ මැතීස් මලර් ලඟදී ජර්මන් රූපවාහිණී සංවාදයකදී අපූරු කතාවක් කලා. ඒ තමයි ටෙස්ලා ගැන වොක්ස්වැගන්ලා ඇත්තටම හිතන විධිය ලෝකෙටම ඇහෙන්න කියපු කතාව.

මෙහෙම කෙලින් කතාකරන මලර් සී.ඊ.ඕ වෙන්න ඉස්සෙල්ලත් වොක්ස්වැගන් එකේ ප්‍රධානියා වෙලා හිටියේ මාර්ටින් වින්ටර්කෝන් නමැති හොඳ වැඩකාරයෙක්. ජපන් වාහනවලින් ලැබෙන තරඟයට මුහුණ දෙන්න බැරුව හොම්බෙන් යමින් සිටි වොක්ස්වැගන් නැවතත් ජපානයේ ටොයෝටා හා ඇමරිකාවේ ජෙනරල් මෝටර්ස් හා කරට කර තරඟ කරන්න පුලුවන් දැවැන්ත සමාගමක් බවට පත්කලේ මාර්ටින් වින්ටර්කෝන්. වොක්ස්වැගන් සුක්කානම භාරගත්තට පස්සේ සමාගමේ දියුණුව වැඩි කරන්නත්, අලුත් තාක්ෂණය ඇද ගන්නත් පෝෂ්, අව්ඩි, බෙන්ට්ලි, ලැම්බෝගිනි, බුගාටි ආදී සුපිරි මෝටර් රථ සමාගම් වොක්ස්වැගන් පවුලට එක්කර එක්කර ගන්නට මාටින් වින්ටර්කෝන් සමත්වුනා.

බොහෝ කාලයක් වොක්ස්වැගන් ප්‍රධානියා වෙලා හිටපු මාර්ටින් වින්ටර්කෝන්, වොක්ස්වැගන් සමාගම දුම් පරීක්ෂණවලදී හොර කල හැකි ලෙස ඩීසල් වොක්ස්වැගන් කාර්වලට හොර සොෆ්ට්වෙයාර් ඇතුලු කිරීමේ අලකලංචිය නිසා ඉල්ලා අස්වුනා. එච්චර වැඩ කලත් සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ලා කරපු නොපනත් වැඩේ නිසා රස්සාවෙන් යන්න වුනේ අවාසනාවන්ත විධියට. මේ කොම්පියුටර් ජිල්මාට් එකට වින්ටර්කෝන් සම්බන්ධ නොවුනත්, සමාගමේ ප්‍රධානියා ලෙස එයා වගකීම අරගෙන ගෙදරගියා.

ඊට පස්සේ ලෝකේ රටවල් ගණනාවකින් වැටුනු නඩු හා කෝටි ගණන් දඩ වගේම, රන් හා සමානව තිබූ වොක්ස්වැගන් සන්නාමයට වුනු හානියෙන් ගොඩ එන්න වොක්ස්වැගන් අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා ගත්තේ මැතීස් මලර්. මලර් මීට ඉස්සෙල්ලා වොක්ස්වැගන් සමාගමේ සහෝදර සමාගමක් වන පෝෂ් සුපිරි කාර් රථ සමාගමේ ප්‍රධානියා වෙලා හිටියා. වෘත්තියෙන් පරිගණක ඉන්ජිනේරුවෙකු වූ මැතීස් මලර් ඉස්සෙල්ලම වැඩ කලේ අව්ඩි සමාගමේ.

වොක්ස්වැගන් සී.ඊ.ඕ මැතීස් මලර් ටෙස්ලා කොම්පැණියට ඇනෙන්න කිව්ව කතාව.

ඇත්තටම මම ටෙස්ලා ගැන ටිකක් කියන කැමතියි. මම අපහාසයක් නොවන ලෙස බොහොම ගෞරවයෙන් කියනවා ලෝකෙටම කයිවාරු ගහන කයිවාරු චැම්පියන්ලා ඉන්න බව - මම ඒ පුද්ගලයින්ගේ නම් කියන්නේ නෑ. 

මේ චැම්පියන්ලා කයිවාරු ගැහුවට වැඩ නෑ. පෞද්ගලික මගී ප්‍රවාහනයේ විප්ලව කරන්න ගියාට මෙයාලට තවම අවුරුද්දකට කාර් 80,000ක් වත් හදාගන්න බෑ. සල්ලි ගෙවලා මාස ගණන් මිනිස්සු බලන් ඉන්නවා මෙයාලගෙන් කාර් ගන්න. 

බලන්න වොක්ස්වැගන් කොම්පැණිය මේ අවුරුද්දේ කාර් මිලියන 11ක් විකුණලා තියෙනවා. කයිවාරු කාරයෝ 80,000ක් විතරයි. අපේ දළ ලාබෙ යුරෝ බිලියන 13ක් 14ක් විතර. එතකොට ටෙස්ලා? එයාලා හැම කාර්තුවකම ඩොලර් මිලියන ගණන් පාඩුයි.

මේ ලඟදී මේගොල්ලෝ සේවකයෝ සිය ගාණක් ගෙදර යැව්වා. එහෙම යවන ගමන් එයාලා කතාකරන්නේ සමාජ වගකීම් ගැන. 

මේ නිසා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා අපිව ටෙස්ලා වගේ කොම්පැණි එක්ක සමාන නොකරන ලෙස. ඇපල් සසඳන්න ඕනෑ ඇපල් එක්ක, පැපොල් එක්ක නෙමෙයි. :D




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments