BUSINESS STRATEGY : චීනාගේ අලුත් ප්ලෑන - Made in China 2025


"Made in China 2025" යනු මෑතකදී හඳුන්වාදුන් දස අවුරුදු සැළසුමකි. දැනටමත් ලෝකයේ කාර්මික නිෂ්පාදන දැවැන්තයා වන චීනයේ නිෂ්පාදන කර්මාණ්තය ලෝකයේ ඉහලම තලයේ කාර්මික රටක නිෂ්පාදන හැකියාවන් හා සම කිරීම මේ  මහේච්ඡ (ambitious) සැලසුමේ අරමුණ බව චීනය පවසනවා. මෙය 2013 වසරේදී ජර්මනිය සිය ජාතික සැළසුමක් ලෙස අනුමත කොට ක්‍රියාත්මක කල "Industry 4.0" සැලසුමට බොහෝ සමාන බව මෙම සැළසුම අධ්‍යයනය කල විශේෂඥයින්ගේ මතයයි.

ජර්මනියේ ඉන්ඩස්ට්‍රි 4.0 වැඩසටහනේ අරමුණ කුඩා හා මධ්‍යම පරිමාණ ජර්මන් කාර්මික නිෂ්පාදන සමාගම් ලෝක සැපයුම් දාමයට සම්බන්ධ කිරීමයි. මේ සඳහා පරිගණක මගින් පාලනයවන, අන්තර්ජාලයට සම්බන්ධකරන ලද යන්ත්‍ර සූත්‍ර  යොදාගැනීමට බලාපොරොත්තුවන අතර එමගින් කුඩා හා මධ්‍යම පරිමාණ සමාගම් වලට අඩු පිරිවැයකින්  නිෂ්පාදනයන් සිදුකිරීමටත්, ගැනුම්කරුගේ ඉල්ලීම අනුව අනුවර්තනය කරන ලද (customised) නිෂ්පාදන පහසුවෙන් සිදු කිරීමටත් හැකිවන බව ජර්මන් කාර්මික විශේෂඥයින්ගේ අදහසයි.

චීනයේ Ministry of Industry and Information Technology (MIIT) මගින් සකසන ලද මෙම සැළසුම සඳහා චීනයේ ජාතික ඉන්ජිනේරු ඇකඩමියේ විශේෂඥයින් 150ක් පමණ දායකවී තිබෙනවා. 

මෙම සැළසුමේ අරමුණ දැනට 

1.  බටහිර සමාගම් සඳහා කොන්ත්‍රාත් නිෂ්පාදනය (උදාහරණ - නයිකි සපත්තූ), 
2.  බටහිර නිර්මාණය කරන අධිතාක්ෂණික භාණ්ඩ (උදාහරණ - ඇපල් අයිෆෝන්) නිෂ්පාදනය කිරීම 
3.  බටහිර බුද්ධිමය දේපොල පිටපත් කරමින් සිදුකරන නිෂ්පාදන 

ආදියෙන් යැපෙන චීන කර්මාණ්ත අංශය ඇමරිකන්, ජපන්, කොරියන් හා යුරෝපීය කාර්මික සමාගම් මෙන්ම අධිතාක්ෂණික  භාණ්ඩ නිර්මාණය කරන, ලාභ ශ්‍රමය වෙනුවට ප්‍රාග්ධන  මූලික නිෂ්පාදන ක්‍රමයන් උපයෝගීකරගන්නා, නව තාක්ෂණික නිර්මාණය ලොවට ඉදිරිපත් කරන සංවර්ධිත උසස් කාර්මික අංශයක් බවට පරිවර්තනය කර ගැනීමයි.

මෙහිදී චීනයේ නිෂ්පාදන කර්මාණ්ත විසින් වැඩිදියුණු කරගත යුතු අංශ 9ක් හා අනාගත චීන කාර්මික දියුණුවට වැදගත් කර්මාණ්ත 10ක්ද හඳුනාගෙන තිබෙනවා.

සැලසුමට අනුව සංවර්ධනය කරගැනීමට බලාපොරොත්තු වන කාර්මික අංශ නවය.

1. නව නිෂ්පාදන ක්‍රම නිර්මාණයකර ගැනීම
2. නව තාක්ෂණය කාර්මික නිෂ්පාදන අංශ වෙත කාන්දුකිරීම
3. කාර්මික නිෂ්පාදන හැකියාවන් පුලුල් කිරීම
4. හරිත නිෂ්පාදන ක්‍රම සංවර්ධනය කර ගැනීම
5. ගතානුගතික කාර්මික නිෂ්පාදන අංශය ප්‍රතිව්‍යුහගත කරගැනීම
6. සේවා සඳහා නිෂ්පාදන කටයුතු සංවර්ධනය කිරීම
7. නිෂ්පාදන කර්මාණ්ත සඳහා සේවා සැපයිම් අංශය දියුණු කිරීම
8. ප්‍රමුඛ කාර්මික අංශ දහය තුල සුපිරි නවෝත්පාදන බිහිකිරීම
9. චීන කර්මාණ්ත ලොව පුරා ව්‍යාප්තකිරීම හා චීන සන්නාම ලොව පුරා ව්‍යාප්ත කිරීමයි.

හඳුනාගෙන ඇති ප්‍රමුඛ කර්මාණ්ත අංශ දහය

1. නිෂ්පාදන කර්මාණ්ත සඳහා රොබෝ තාක්ෂණය
2. ගගනවිද්‍යා හා අභ්‍යවකාශ තාක්ෂණ කර්මාණ්තය
3. සමුද්‍ර ඉන්ජිනේරු තාක්ෂණය
4. මැග්-ලෙව් වැනි අති නවීන දුම්රිය තාක්ෂණය
5. බළශක්ති සංරක්ෂණ තාක්ෂණය
6. නව ඉන්ධන ප්‍රභව මගින් බළගැන්වෙන වාහන කර්මාණ්තය
7. බළශක්තිය බෙදාහැරීමේ උපකරණ නිෂ්පාදන
8. නව අමුද්‍රව්‍ය හා රසායණ නිෂපාදනය
9. බෙහෙත් හා වෛද්‍ය උපකරණ නිෂ්පාදන කර්මාණ්තය
10. කෘෂිකාර්මික යන්ත්‍ර-සූත්‍ර නිෂ්පාදනය





__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments