අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

HISTORY : හූවක වේගයෙන් ගිය මිනිසා | 70 වසරකට පෙර අදවැනි දිනක

චාර්ල්ස් එල්වුඩ් යීගර්, නැතිනම් "චක්" යීගර් එක්සත් ජනපද ගුවන් හමුදාව හා නාසා ආයතනයේ පූර්වප්‍රාප්තික NACA ආයතනය පැවත්වමින් තිබූ අධිවේගී ගුවන්යානා ව්‍යාපෘතියේ අති දක්ෂ ගුවන් නියමුවෙකි.

මීට වසර 70කට පෙර අද වැනි දිනක, එනම් 1947 වසරේ ඔක්තෝම්බර් 14 වැනිදා, චක් යීගර්, ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කල පලමුවැනි මානවයා බවට පත්විය. බෙල් ගුවන්යානා සමාගම නිපදවූ X-1 නැමති රොකට් බලයෙන් ක්‍රියාත්මකවන අධිවේගී ගුවන්යානයකින් සිදුකල මෙම පියාසැරිය ගගන විද්‍යා ඉතිහාසයේ නොමැකෙන සටහනක් තබනු ලැබුවා.


අද ඉතා සාමාන්‍ය දෙයක් වුවත් 1947 තරම් ඈතකදී අතිශයින්ම අණතුරුදාකවූ ශබ්ද බාධකය බිඳදැමීමේ අභියෝගය කොතරම් මරණයෙන් කෙළවර වියහැකි ක්‍රියාදාමයක් වුනාද යත්, මේ කටයුත්ත සඳහා මුලින් තෝරාගෙන සිටි ගුවන් නියමුවා ඒ සඳහා එකල මුදලින් ඩොලර් 150,000ක ගාස්තුවක් (එනම් අද ඩොලර් වලින් මිලියන1.6ක්) ඉල්ලා සිටියා. මේ ඉල්ලීම ඉවතලූ ගුවන්හමුදාව, එම අභියෝගය ජනගැනීම සඳහා දෙවන ලෝක යුද්ධයේදී දක්ෂ හා නිර්භීත ප්‍රහාරක නියමුවෙකු ලෙස නමක් දිනාගෙන සිටි චාල්ස් යීගර්ව තෝරා ගත්තා.

යීගර් පියාසර කල බෙල් X-1 රොකට් ගුවන්යානය
ශබ්දයේ වේගය අභිබවා පියැඹීමේ පියාසැරියට දින දෙකකට පෙර අසුපිටින් යද්දී බිමට වැටීමෙන් යීගර්ගේ ඉලඇට දෙකක් බිඳී ගියා. සිය පියාසැරියට අවසර නොලැබේ යයි සිතා හමුදා රෝහලට නොගොස් පෞද්ගලික වෛද්‍යවරයෙකු ලවා ප්‍රතිකාර ලබාගත් ඔහු කොතරම් වේදනාවෙන් සිටියාද යත් පියාසැරිය දින ඔහුගේ යානයේ පියන්පත වසා අගුල දමාගැනීමට පවා ඔහුට අපහසුවුනා. කෙසේ වෙතත් මෙම අණතුර පිලිබඳව කියා තිබුණේ බිරිඳට හා හොඳම මිතුරාවන තවත් ගුවන් නියමුවෙකුට පමණයි.

කැලිෆෝනියාවේ මොහාවී කාන්තාරයට මීටර් 13,700ක් ඉහලින් පියාසර කල ඔහු ශබ්දයේ වේගය මනින මක් ඒකකයෙන් මක් 1.07ක වේගයෙන් පියාසර කලා. පසුව ශබ්දයේ වේගය මෙන් 2.44ක වේගයෙන්ද පියාසර කොට වාර්තාවක් තැබූ යීගර් 1975දී විශ්‍රාම ගියේ බ්‍රිගේඩියර් ජෙනරාල් තනතුරකින් පිදුම් ලබමින්.

යීගර් සිය වික්‍රමයන් සිදුකල කැලිෆෝනියාවේ එඩ්වර්ඩ්ස් ගුවන්හමුදා කඳවුරේ ඔහු සිහිවීම සඳහා සිහිවටනයක්ද තනා තිබෙනවා.

එඩ්වර්ඩ්ස් ගුවන් කඳවුරේ ඇති චාර්ල්ස් යීගර් සිහිවටනය




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments