CONSPIRACY THEORY : ජෝන් එෆ්. කෙනඩි මැරුවේ කවුද? රහස් වාර්තා 3000ක් එලියට?





























මීට වසර 54කට පෙර සිදුවුනු ජෝන් එෆ් කෙනඩි ඝාතනය දේශපාලන ඝාතන ලොවේ තවමත් නොවිසඳනු අභිරහසක්. දැන් මේ පැරණි අභිරහස ගැන යලිත් ලොවම කතාකරන්නට පටන් අරගෙන. ඒ තව දින 4කින්, එනම් ඔක්තෝම්බර් 26 වැනිදාට කෙනඩි ඝාතන පරීක්ෂණවල තොරතුරු හා වාර්තා ඇතුලත් තවත් අතිශයින්ම රහසිගත ලේබලය යටතේ සුරක්ෂිතව ඇති ලිපිගොනු 3000ක් පමණ පොදු අවකාශයට නිදහස් කිරීමට ඇමරිකානු ජාතික ලේඛණාගාරය සූදානම් වීමත්, එයට තමන් ඉඩ දෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් හේතුවෙලා තියෙනවා.

ඇමරිකානු එක්සත් ජනපදයේ 35වැනි ජනාධිපති ජෝන් ෆ්‍රිට්ස්ගෙරල්ඩ් කෙනඩි, 1963 නොවැම්බර් 22වැනිදා ටෙක්සස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ රථ පෙලපාලියකින් ගමන් කරමින් සිටියදී වෙඩිතබා ඝාතනය කෙරුනා. ඔහු ඝාතනය වන විට ඔහු සමග බිරිඳ ජැකලින් කෙනඩි, ටෙක්සස් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ජෝන් කොනලි හා ඔහුගේ බිරිඳ සිටියා. මෙම ඝාතනය ගැන සෙවීම සඳහා පත්කල වොරන් කොමිසම, මේ ඝාතනය හිටපු මැරීන් සෙබළෙකුවූ, කලක් ඇමරිකාව අතහැර සෝවියට් දේශයේ පදිංචිව සිට නැවත ඇමරිකාවට පැමිණි ලී හාවි ඔස්වල්ඩ් විසින් සිදුකරන ලද බවට නිගමනය කලා.

අත් අඩංගුවට පත්වූ ඔස්වල්ඩ් ගෙන් දීර්ඝලෙස ප්‍රශ්ණ කිරීමට පෙර ඔහුව ජැක් රූබී නම් සමාජශාලා හිමිකරුවෙකු විසින් වෙඩිතබා මරා දැමූ අතර පසුව ජැක් රූබිට මරණ දඬුවම ලබා දුන්නා. දඬුවමට ඇපෑලක් ඉදිරිපත්කල රූබිගේ ඇපෑල පිලිගනු ලැබූවද ඔහු සිය සිර කුටියේ මැරී සිටී හමුවුනා. ඔහුගේ මරණයට හේතුව පෙනහළු පිලිකාවක් නිසා පෙනහලු අක්‍රියවීම බවට නිගමනය වුනා.

කෙනඩිගේ මරණය මෙන්ම, ඔහුගේ ඝාතකයා ලෙස චෝදනා ලැබූ ලී හාවි ඔස්වල්ඩ්ගේ ඝාතන ගැනත් සොයාබැලූ වොරන් කොමිසම, කෙනඩි ඝාතනය තනි තුවක්කුකරුවෙකු (එනම් ඔස්වල්ඩ්) විසින් තනිවම සැළසුම් කොට, ක්‍රියාත්මක කරන එකක් බවත් (lone gunman theory) එය වෙනත් අය සම්බන්ධ කුමණ්ත්‍රණයක් නොවන බවත් නිගමනය කලා. එමෙන්ම ජැක් රූබි විසින් ඔස්වල්ඩ් ඝාතනයත් එවැනිම හිතුවන ඝාතනයක් මිස කෙනඩි ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කෙරූ ඝාතනයක් නොවන බවත් නිගමනය කලා.

කෙසේ වෙතත් අත් අඩංගුවට පත් ඔස්වල්ඩ් කියා සිටියේ තමන් මේ ඝාතනය සිදු නොකල බවත් තමන් කෙනඩි මරාදැමූ බලවේග විසින් බිල්ලටදී ඇති බවත්ය (I am a patsy).  මේ අතර ඇමරිකන් සෙනේට් මණ්ඩලය මගින් පත්කල United States House Select Committee on Assassinations කොමිටුව මගින් සිදුකල පරීක්ෂණවලින් අණතුරුව නිගමනය වූයේ කෙනඩිගේ ඝාතනය කුමන්ත්‍රණයක් නිසා සිදුව තිබීමට බොහෝ ඉඩකඩ ඇති බවයි. එහෙත් කුමණ්ත්‍රණය සිදුකලේ කවුරුන්ද යන්න පිලිබඳව නිගමනයක් හෝ හෝඩුවාවක් මේ කොමිටු වාර්තාවේ තිබුණේ නෑ.

කෙනඩි ඝාතන කුමන්ත්‍රණය සිදුකලේ කවුරුන්ද?

1] කෙනඩි ඝාතනය වුනේ සී.අයි.ඒ කුමණ්ත්‍රණයකින්

ජනාධිපති කෙනඩි, ඇමරිකාවේ එලිපත්තේ බිහිවුනු ෆිදෙල් කැස්ත්‍රෝගේ කොමියුනිස්ට් රාජ්‍යය පිලිබඳව දැක්වූ ඇල්මැරුණු ප්‍රතිපත්තිය හා කියුබාව ආක්‍රමණය කොට ෆිදෙල් කැස්ත්‍රෝ බලයෙන් පහකිරීමට සකස්කල සී.අයි.ඒ සැළසුම් දැඩි ලෙස ප්‍රතික්ෂේප කිරීම නිසා කෙනඩි කෙරෙහි වෛරබැඳගත් බලවත් සී.අයි.ඒ ප්‍රධානීන් කිහිපදෙනෙකු විසින් සිදුකල කුමණ්ත්‍රණයකින් කෙනඩි ඝාතනය වූ බවයි විශ්වාස කෙරෙන්නේ.

විශේෂයෙන්ම සී.අයි.ඒ සංවිධානය හා ඇමරිකාවට පැන ආ කැස්ත්‍රෝ විරෝධී කියුබානුවන් රැසකගේ සහභාගිත්වයෙන්, සී.අයි.ඒ සැලැසුමකට අනුව සිදුකල  Bay of Pigs Invasion හෙවත් සූකර බොක්ක ආක්‍රමණයට නිළවශයෙන් ඇමරිකානු හමුදා සහය නොදීම නිසා එයට සහභාගීවූ කැස්ත්‍රෝ විරෝධී කියුබානුවන් රැසක් මියයාම හා අත්ඩංගුවට පත්වීමත්, මේ නීතිවිරෝධී විදෙස් ආක්‍රමණ සැළසුමෙන් කෝපයට පත් කෙනඩි සී.අයි.ඒ සංවිධානයේ මෙහෙයුම් වලට දැඩි ලෙස සීමා පැනවීමත් යන කරුණු නිසා සී.අයි.ඒ ඒජන්සිය තුල බිහිවූ කෙනඩි විරෝධී කල්ලියක් ඔහුව මරාදමා සියලු සාක්ෂි විනාශකොට දැමූ බව පැවසෙනවා.

එමෙන්ම වොරන් කොමිසම කෙනඩි ඝාතනයට චෝදනා ලැබූ ලී හාවි ඔස්වල්ඩ් හා සී.අයි.ඒ ඒජන්සිය අතර කිසිදු දිනක සබඳතාවයක් තිබී නොමැති බවට වාර්තාකලත්, එසේ වාර්තා කරන ලෙස එම කොමිසමට දැඩි බලපෑම් තිබූ බවටත් හෙලිවනවා.

2] කෙනඩි ඝාතනය කලේ කියුබාවේ විශාල ලෙස ආයෝජනය කොට, කැස්ත්‍රෝගේ විප්ලවය නිසා සියල්ල අහිමිවූ පාතාල මාෆියාව විසින්.

මේ කුමණ්ත්‍රණ න්‍යායට අනුව කෙනඩි මරාදැමුවේ, ෆිදෙල් කැස්ත්‍රෝව බලයෙන් පහ කිරීමට සහය නොදී සිටීමෙන් කෝපයට පත් බලසම්පන්න මාෆියා ලොක්කන් විසින්. මේ ඝාතනය සඳහා සී.අයි.ඒ සංවිධානය සහය ලබාදී තිබෙනවා.

කියුබාවේ කැස්ත්‍රෝව පන්නා දැමීම සඳහා කියුබාව තුල ඔත්තු බලන්නන් හා ක්‍රස්ත්‍රෝ විරෝධී ක්‍රියාකාරීන් ලෙස හිටපු කියුබානු මාෆියා සාමාජිකයින් සී.අයි.ඒ සංවිධානය විසින් යොදාගෙන තිබෙන බව හෙලිවී තිබෙනවා. එමෙන්ම කැස්ත්‍රෝ විරෝධී ගරිල්ලන්ට ආයුධ සැපයිම සඳහාද මොවුන් යොදාගෙන තිබෙනවා.

ධනවාදී රාජ්‍යයක්ව තිබෙන කාලයේ කියුබාවේ උක්වගා හා මත්පැන් නිපදවීමේ ව්‍යාපාර, කැසිනෝ හා සංචාරක ව්‍යාපාර සඳහා කියුබානු සම්භවයක් ඇති ඇමරිකානු මාෆියා සංවිධාන විශාල ලෙස ආයෝජනය කොට තිබූ අතර කැස්ත්‍රෝගේ විප්ලවයත් සමග ඔවුනට සිදූවූ පාඩුව ඩොලර් බිලියන ගණනක්. මේ නිසා කැස්ත්‍රෝ රජය කෙසේහෝ පෙරලා දැමීමේ දැඩි උවමනාවක් ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ජීවත්වූ කියුබානු මාෆියා නායකයින්ට තිබූ අතර, කැස්ත්‍රෝව පන්නා ඔහුගේ කොමියුනිස්ට් රාජ්‍යය වනසා දැමිමේ සී.අයි.ඒ උවමනාව සමග එය පෑහුනු අතර දෙපාර්ශවය අන්‍යෝන්‍ය ලෙස උපකාර කරගත් බව තහවුරු වී තිබෙනවා.

3] අන්තවාදී කියුබානු පිටුවහල්කරුවන් පිරිසක් සිදුකල පෞද්ගලික කුමණ්ත්‍රණයක් මගින්

මේ න්‍යායට අනුව කෙනඩි ඝාතනය සී.අයි.ඒ හෝ මාෆියා කුමණ්ත්‍රණයක් නොව, සූකර බොක්කේ ආක්‍රමණය අසාර්ථකවන්නට ඉඩහැර, එමගින් කොමියුනිස් විරෝධී කියුබානුවන් දහස් ගණනක් මියයන්නට ඉඩහැර බලාසිටි කෙනඩිගෙන් පලි ගැනීම සඳහා සිදුකල වෛරී කුමණ්ත්‍රණයක්.

1959දී කියුබානු විප්ලවයෙන් කැස්ත්‍රෝ බලයට පත්වීමත්, 1963දී කෙනඩිගේ ඝාතනයත් අතර කාලයේදී කොමියුනිස්ට් විරෝධී, කැස්ත්‍රෝ විරෝධී, ඇමරිකාවේ ජීවත්වූ කියුබානුවන් බහුතරයක් කෙනඩිගේ කියුබානු ප්‍රතිපත්තියට විරුද්ධව කියාකල බවත්, එමෙන්ම ඩිමොක්‍රැටික් පක්ෂයෙන් පැමිණි කෙනඩි ජනාධිපතිට විරුද්ධ දක්ෂිණාංශික ඇමරිකානුවක් කණ්ඩායමක්ද සිටිබවත්, මොවුන් හා කියුබානු කෙනඩි විරෝධීන් අතර හවුලක් තිබූ බවත්, මෙම කුමණ්ත්‍රණය න්‍යායට සහය දෙන්නන් පවසනවා.

4] උප ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් සහය පලකල කුමණ්ත්‍රණයක්

1964දී ඇමරිකාව නැවතත් ජනාධිපතිවරණයකට යා යුතුව තිබූ අතර එහිදීද කෙනඩි නැවතත් ජයගන්නා බව බොහෝ මතවිමසුම් වලින් හෙලිවී තිබුණා. එහෙත් උප-ජනාධිපති ලින්ඩන් බී ජොන්සන් ජනතාව ප්‍රතික්ෂේපකරමින් සිටි අතර ඒ නිසාම කෙනඩි සිය දෙවන ජනාධිපති සටනේදී ලින්ඩන් බී ජොන්සන්ව අතහැර දමා වෙනත් කෙනෙකු උප ජනාධිපති පදවියට පත්කර ගන්නට තීරණය කොට තිබුණා. ඝාතනය වන්නට දින දෙකකට පමණ පෙර මේ බව සිය පෞද්ගලික ලේකම්වරියට පවා පවසා තිබූ බව හෙලිවී තිබෙනවා.

ඒ අනුව කෙනඩිගේ ඝාතනයට යම් ආකාරයකින් ලින්ඩන් බී. ජොන්සන් උප-ජනාධිපතිවරයාගේ සහය හෝ අනුබලය ලැබී ඇති බව බොහෝ පිරිසක් විශ්වාස කරනවා. 1968දී ලියැවුනු The Dark Side of Lyndon B Johnson පොතෙහි චෝදනා කරන පරිදි ලින්ඩන් බී ජොන්සන්, කෙනඩි මරාදැමීමේ කුමණ්ත්‍රණයේ ප්‍රධාන සාමාජිකයෙකු වුනා. ලින්ඩන් ජොන්සන්ගේ සමීපතම හිතවතෙකු හා ක්‍රියාකාරිකයෙකු වූ  මැල්කම් වොලස්, කෙනඩි ඝාතනය සඳහා ලී හාවි ඔස්වල්ඩ් තුවක්කුව සූදානම් කරගෙන සිටි ගොඩනගිල්ලේ හයවැනි මහලේ ඔස්වල්ඩ් සමග සිටි බවත්, ඔහුගේ අර්ධ-ඇඟිලි සළකුණත් තිබී හමුවූ බවත් මේ පිලිබඳව ලියැවුනු විවිධ ලේඛණ හා වාර්තා චිත්‍රපටවල හෙලිකෙරෙනවා.

5] අමෙරිකන් යුධ-කාර්මික බල සංකීර්ණයේ (military-industrial complex) කුමණ්ත්‍රණයක්

කෙනඩි ජනාධිපතිවරයාගේ පූර්වප්‍රාප්තිකයා වූ ජනාධිපති ඩ්වයිට් අයිසන්හවර්, සිය සමුගැනීමේ දේශණයේදී ප්‍රභල යුධ-කාර්මික සංකීර්ණයක් බිහිවී ඇති බවත්, මෙයින් ඉදිරියේදී ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට විශාල පහරක් එල්ලවිය හැකි බවටත් ඇමරිකානු ජනතාවට අණතුරු ඇඟවූවා.

පෙන්ටගනය, ආරක්ෂක හමුදාවල ඉහල නිළධාරීන්, ඔත්තුසේවාවල ප්‍රධානීන් හා අතිවිශාල අවිආයුධ නිෂ්පාදන සමාගම්වල අයිතිකරුවන් හා ඔවුන්ගේ ආයෝජකයින් මෙම සංකීර්ණයේ සිටින බවත්, ඇමරිකාව නිරන්තරයෙන්ම යුධගැටුම්වලට මැදිවී අතිවිශාල මුදල් ප්‍රමාණයක් ආරක්ෂක කටයුතුවලට වැයකරන රටක් ලෙස සදාකල් තබාගනිමින් සිටීම මෙම බලමුළුවේ අරමුණ බව පවසන්නන් කෙනඩිව ඝාතනය කලේ ඔවුන්ගේ එම අරමුණට පිටුපා සාමකාමීලෙස ක්‍රියාකරන්නට ඔහුගේ දෙවන ධූරකාලයේදී අදහස් කරගෙන සිටි නිසා බව පවසනවා.

ඇමරිකාවට මහත් ව්‍යසනයක් ගෙනදුන් වියට්නාම් යුද්ධයෙන් ඉවත්වීමට කෙනඩි තිරණය කර සිටි බවත්, සෝවියට් දේශය සමග සහයෝගයෙන් ක්‍රියාකිරීමට සූදානම් වෙමින් සිටි බවත්, ප්‍රභල සී.අයි.ඒ ඒජන්සියේ බලය දැඩිලෙස සීමාකිරීමට සූදානමින් සිටි බවත් පවසන මොවුන්, කෙනඩි ඊලඟ ජනපතිවරණයෙන් නියතලෙසම ජනගන්නා බව ජනමතවිචාරණ හරහා තහවුරුවූ පසු ඔහු ඝාතනය කල බව පවසනවා.

කෙනඩිගේ රජයේ ආරක්ෂක මාණ්ඩලික සාමාජික හා විශේෂ  යුධ මෙහෙයුම් ප්‍රධානියාව සිටි ෆ්ලෙචර් ප්‍රව්ටි, මිලිටරි ඉන්ඩස්ට්‍රියල් සංකීර්ණය මගින් තමන්ට ඇතිවිය හැකි තර්ජනය මගහරවා ගැනීමට කෙනඩි ඝාතනය  සිදුකල බව ලියා තිබෙනවා.

එමෙන්ම ඔලිවර් ස්ටෝන්ගේ සුප්‍රකට JFK චිත්‍රපටයේ විදහා දැක්වෙන පරිදිද කෙනඩි ඝාතනය වන්නේ මිලිටරි ඉන්ඩස්ට්‍රියල් සංකීර්ණයේ අතිශය රහසිගත මෙහෙයුම ප්‍රතිපලයක් ලෙසයි.

ලබන ඔක්තෝම්බර් 26වැනිදා මෙතෙක් කල් රාජ්‍ය රහස් ලෙස වසර 50කට වැඩි කාළයක් සඟවා ආරක්ෂාකොට තිබූ කෙනඩි ඝාතනයේ රහස්‍ය වාර්තා 3100ක් පොදු මහජනතාව වෙත නිදහස් කරන්නට සූදානම් වනවා. එය නැවැත්විය හැකි එකම පුද්ගලයා ඇමරිකානු ජනාධිපතිවරයා පමණයි.

මේ ලියකියවිලි සැබැවින්ම එලියට දමයිද? 

නැතහොත් අවසන් මොහොතේ ට්‍රම්ප්ගේ තීරණය වෙනස් කරගැනීමට ඔත්තුසේවා සමත්වේද?

එම ලියකියවිලිවලින් කුමක් හෙලිවෙයිද?

වසර 50ක් ලොව සලිතකල කුමණ්ත්‍රණයේ සැබෑ තතු හෙලිවේද?

අපි බලා සිටිමු.....




__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments