Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 1 October 2017

CHILDREN'S DAY : හිස් දරුවන් බිහිකරන විභාග ඉලක්ක අධ්‍යාපනයේ යථාර්තය - සිංගප්පූරු අත්දැකීම























සිංගප්පූරුවේ අධ්‍යාපන ක්‍රමය පිලිබඳව ලෝකය පුරා ඇත්තේ අගැයිම මුසු ඊෂ්‍යයාවක් යයි කිවහොත් වරදක් නෑ. ඒ ලෝකයේ විභාවලට දක්ෂම ළමයින් බිහිකරන්නේ සිංගප්පූරු අධ්‍යාපන ක්‍රමය නිසායි. වසර 3කට වරක්  Organisation for Economic Co-operation and Development (OECD) සංවිධානය මගින් පවත්වන The Programme for International Student Assessment (PISA) පරීක්ෂණයෙන් ලොව වැඩිම ලකුණු ලබාගන්නා ළමයින් සිටින්නේ සිංගප්පූරුවේ.  

පීසා ශිෂ්‍ය අගැයිම් විභාගය අවසන් වරට පැවැත්වූ 2015 වසරේදී ගණිතය, විද්‍යාව හා කියැවීමේ කුසලතාවය යන පරීක්ෂණ තුනම සඳහා ලොව රටවල් 72ක් අතරින් වැඩිම ලබාගත්තේ සිංගප්පූරු දරුවන්. ඉහලම ළකුණු ලබාගත් දරුවන් සිටින රටවල් අතරට හොංකොං, මැකාවූ, ජපානය හා තායිවානයද බටහිර රටවලින් කැනඩාව, එස්තෝනියාව හා පින්ලන්තයද සිටිනවා. 

ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු පදිංචියට යාමට ආසාකරන ඔස්ට්‍රේලියාව, ඉගෙනගන්න යන්න ආසා බ්‍රිතාන්‍යය හා ලෝකෙට ලොක්කා වන ඇමරිකාව අරගත්තම, ඒ රටවල දරුවන් පිසා පරීක්ෂණයෙන් ලැබූ ප්‍රතිපල පහතින් දැක්වෙනවා.

ගණිතය පරීක්ෂණයෙන් ඔස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යය පිලිවෙලින් 25 හා 27 ස්ථානවලද, ඇමරිකාව 40වැනි ස්ථානයේද සිටි අතර විද්‍යාව පරීක්ෂණයෙන් ඔස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යය පිලිවෙලින් 14 හා 15 ස්ථානවලද, ඇමරිකාව 25වැනි ස්ථානයේද සිටියා. කියැවීමේ කුසළතා පරීක්ෂණයෙන් ඔස්ට්‍රේලියාව හා බ්‍රිතාන්‍යය පිලිවෙලින් 16 හා 22 ස්ථානවලද, ඇමරිකාව 24වැනි ස්ථානයේද සිටිනවා. 

විභාග ජය හා දරුවන්ගේ පරාජය

ලෝකයේ අංක එකට විභාග ජයගන්නා දරුවන් සිටින සිංගපූරුවේ ප්‍රාථමික අංශයේ දරුවන් පවා දැඩි ආතතියකින් මෙන්ම පාසැල් ජීවිතය පිලිබඳව ඉතා අමිහිරි අත්දැකීම් විඳිමින් සිටින බව සිංගප්පූරු අධ්‍යාපනවේදීන් අණතුරු අඟවනවා. පාසැල් දරුවන් සියදිවි නසාගැනීම් වේගයෙන් ඉහල යන බවයි සිංගප්පූරුවෙන් වාර්තාවන්නේ. 2015දී වයස 11-16 අතර පාසැල් දරුවන් 27ක් සියදිවි නසා ගත් අතර දරුවන් වැඩි දෙනෙකු සියදිවි නසාගෙන ඇත්තේ අඩු විභාග ළකුණු පිලිබඳ දෙම්ව්පිය නොසතුට දරාගැනීමට නොහැකි වීමෙන් බව වාර්තාවනවා.

අමතර පංති හෙවත් ටියුෂන් පංති වසංගතයක් මෙන් සිංගප්පූරුව පුරා පැතිර ගොස් ඇති අතර ප්‍රාථමික පංතිවල දරුවන් පවා සෑම විශයකටම වාගේ ටියුෂන් යන අතර ගණිතය වැනි අමාරු විශයන් සඳහා ගුරුවරුන් දෙතුන් දෙනෙකු ගෙන් ටියුෂන් ගැනීම සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. බොහෝ ටියුෂන් පන්ති රාත්‍රී 9 වනතෙක් පවතිනව බවයි සිංගප්පූරුවෙන් වාර්තා වන්නේ. බොහෝ සිංගප්පූරු දෙමව්පියන් දරුවන් විභාගයකට ලකුණු 90ට වඩා ගැනීම අපේක්ෂා කරන අතර මේ ලකුණු අපේක්ෂාවන් මුදුන්පමුණවා ගැනීම සඳහා දරුවන් දැඩි පීඩනයකට බඳුන්කරනවා.

සිංගප්පූරු අධ්‍යාපන ක්‍රමයට අනුව දරුවන් ප්‍රාථමික අධ්‍යානයේ වසර 6ක්ද, ද්විතීයක අධ්‍යාපනයේ වසර 5 සිට 7 දක්වාද නිරතවිය යුතුයි. ප්‍රාථමික අධ්‍යාපනයේ වසර 6 අවසන්වීමට පෙර දරුවන්ට තරඟ විභාග දෙකකට මුහුණ දෙන්නට සිදුවනවා. 4වැනි ශ්‍රේණියේදී ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි හා මව්බස සඳහා විභාගයකට පෙනී සිටින්නට සිදුවන අතර ඉන් සිසුන්ගේ අධාපන හැකියාවන් හඳුනාගෙන ඔවුන් වර්ගකිරීමකට බඳුන් කරනවා.

6වැනි ශ්‍රේණියේදී ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කිරීමේ විභාගයට (Primary School Leaving Examination) මුහුණ දෙන්නට දරුවන්ට සිදුවන අතර එහිදී ලබා ගන්නා ලකුණු අනුව දරුවන් කාණ්ඩ 4කට වර්ග කරනවා. මින් ඉදිරියට දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය තීරණය වන්නේ මේ වර්ගකිරීම අනුවයි. 

මෙම වර්ග කිරීම 4 නම්;

Special : විශේෂ දක්ෂතා ඇති දරුවන් - ඔවුන්ගේ දක්ෂකම් අනුව ඉතා ඉක්මණින් (අඩු වයසින්) විශ්වවිද්‍යාල අධ්‍යාපනය කරා යොමුකල හැකිවන පරිද්දෙන් ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සැළසුම් කොට තිබෙනවා. සිංගප්පූරු දරුවන් ගෙන 10% මෙම කොටසට බඳවා ගන්නවා.

Express : වේගයෙන් ඉදිරියට යා හැකි දරුවන් - මෙම දරුවන්ද කෙලින්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමුකරවන අතර, සිංගප්පූරු දරුවන්ගෙන් 50%ක් මෙම කොටසට බඳවා ගන්නවා.

Normal Academic : සාමාන්‍ය අධ්‍යාපන කුසළතා ඇති දරුවන්. මොවුන් බහු තාක්ෂණික ආයතනවල ඩිප්ලෝමා පාඨමාළා ඉලක්ක කරගෙන අධ්‍යාපනය ලබා දෙනවා. දරුන්ගෙන් 20% මෙම කාණ්ඩයට බඳවා ගන්නවා.

Normal Technical : කාර්මික අධ්‍යාපනය ලැබිය යුතු දරුවන් - මෙම දරුවන් සිංගප්පූරුවේ කාර්මික විද්‍යාපීඨය මගින් මෙහෙයවන කාර්මික පාඨමාලා හැදෑරීම සුදුසු අධ්‍යාපනයක් ලබනවා.

මෙම වර්ගකිරීම නිසා දෙමව්පියන් හා දරුවන් දැඩි පීඩනයකට ලක්වන අතර කෙලවරක් නැති ටියුෂන් නිසා වැඩි ළකුණු ලබාගෙන තමාට නොගැලපෙන ධාරාවකට ඇතුලුවීම නිසා බොහෝ දරුවන් දැඩි ලෙස අපහසුතාවයන්ට පත්වෙනවා. මෙයට විසඳුමක් ලෙස දරුවන් තව තවත් ටියුෂන් යැවීමට දෙමව්පියන් පෙළඹෙනවා.

කටපාඩම් ගිරව් හා නවෝත්පාදන හැකියාවක් නැති සිංගප්පූරුව

සිංගප්පූරු අධ්‍යාපන බළධාරීන් මේ අධ්‍යාපනය බිහි කරන්නට ඇත්තේ සිංගප්පූරුවේ මානව සම්පත ලොව ඉහලම කුසලතා ඇති මානව සම්පතක් බවට පරිවර්තනය කරගැනීමේ අභිලාශයෙන් බව නිසැකයි.

එහෙත් සිංගප්පූරුව බිහිකොට හා බිහිකරමින් සිටින මානව සම්පත සැබැවින්ම 21වැනි ශතවර්ෂයට ගැලපෙන මානව සම්පතක්ද?

මේ අධි තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුලින් බිහිවන්නේ විභාග සමත්වීමට කටපාඩමින් දැනුම මතකයේ සිරකරගත්, එම දැනුම ප්‍රායෝගිකව යොදාගැනීම හෝ නිර්මාණශීලීව යොදාගැනීමට නොදන්නා දරුවන් පිරිසක් බවයි අධ්‍යාපනවේදීන් පවසන්නේ. කොතෙක් විභාග සමත්වුවද නිර්මාණශීලිත්වය, නවෝත්පාදන හැකියාව හා සිතිමේ කුසලතාවයන් ඇති ශ්‍රමිකයින් සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවෙමින් පවතින 21වැනි ශතවර්ශය සඳහා සිංගප්පූරුව කොතෙක් සූදානම්දැයි විචාරකයින් ප්‍රශ්ණ කරනවා.

දුර දක්නා ජාතික සැළසුම්, ඉතාමත් සාධනීය වෙළඳ ප්‍රතිපත්ති, ආයෝජන දිරිගැන්වීම් හා පුහුණු විදෙස් ශ්‍රමිකයින්ට හා වෘත්තිකයින්ට ඉතා හිතකර ආගමන ප්‍රතිපත්ති නිසා සිංගප්පූරුව ඉතා ඉහල ජීවන තත්වයක් හා ධනවත් රටවල් හා සමාන ඒක පුද්ගල ආදායම් ඇති රටක් බවට පත්වී ඇතිවුවද සිංගප්පූරුව නවෝත්පාදන හැකියවන් අතින් ඉතා පහල මට්ටමකයි සිටින්නේ.

සිංගප්පූරුව මෙන්ම අඩු ස්වාභාවික සම්පත් ඇති, චීන සම්භවයක ජනයා වෙසෙන තායිවානය (ෆෝර්මෝසාව) හා සංසන්දනය කරනවිට සිංගප්පූරුව කොතරම් පිටුපසින් සිටින්නේදැයි වටහාගත හැකියි. සිංගප්පූරුව හා සමාන ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන කුඩා දූපත් රටක් වන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා සාමාජිකත්වය නැති  තායිවානය ලෝක ප්‍රකට තාක්ෂණික සමාගම් හා සන්නාම රැසක් බිහිකොට තිබෙනවා.

තායිවාන තාක්ෂණික ව්‍යාපාර (technology business) ලෝකයේ ජයග්‍රහණ අතර;

ලෝක ප්‍රකට පරිගණක සමාගමක් වන Acer සමාගම, මුලු ලෝකයටම ඇපල් අයිෆෝන් නිෂ්පාදනය කරන Foxconn සමාගම, අඩුමිල ප්‍රොසෙසර් නිර්මාණය කරන Taiwan Semiconductor සමාගම, ලෝක ප්‍රකට පරිගණක උපාංග සමාගම් වන Gigabyte Technology, Realtek, Ralink, ආදී සමාගම්ද, ලෝකයේ සියලුම ජනප්‍රිය ලැප්ටොප් සන්නාම සඳහා ලැප්ටොප් නිපදවන ලෝකයේ විශාලම ලැප්ටොප් නිෂ්පාදන සමාගම් දෙක වන Quanta හා Compal සමාගම්ද බිහිකර තිබෙනවා. එමෙන්ම VIA Technologies, D-Link, HTC,  ASUS, BenQ, AOC වැනි ලොව පුරා ජනප්‍රිය තාක්ෂණික උපාංග, ලැප්ටොප්, ජංගම දුරකථන නිපදවන සමාගම් තායිවානය බිහිකොට තිබෙනවා. 

ආසියාවේ අධ්‍යාපනය අතින් ඉහලින්ම සිටින සිංගප්පූරුවට එවැනි හපන්කමක් කරන්නට හැකියාවක් ලැබී නෑ. අදවන විටත් සිංගප්පූරු රජයේ අයිතිය ඇති, එහෙත් ඉතා කාර්යක්ෂම ලෙස පාලනය වන Singapore Airlines, SingTel, DBS Bank, Temasek Holdings වැනි  සිංගප්පූරු සමාගම් අතලොස්සක් හැරෙන්නට සිංගප්පූරුවෙන් බිහිවූ, ලොව ජනප්‍රිය සන්නාමයක් බිහිකර ගන්නට සමත්වූ නොවෝත්පාදන හෝ අධිතාක්ෂණික සමාගක් නැති තරම්. 

මේ වෙනස කොතරම්ද යත්, විකිපීඩියා විශ්වකෝෂයට අනුව සිංගප්පූරුවෙන් බිහිවූ, නමක් දිනාගත් අධිතාක්ෂණික සමාගම් ඇත්තේ 8ක් පමණයි. සන්සන්දනාත්මකව නමක් දිනාගත් තායිවාන අධිතාක්ෂණික සමාගම් ලයිස්තුවේ සමාගම් 95ක් තිබෙන අතර Acer පරිගණක සමාගමද අයත්වනවා.

1990ව දශකයේ මුල් කාළයේදී Creative Technology නම් සිංගප්පූරු සමාගමක් පරිගණ ලෝකයේ නමක් දිනාගනිමින් සිටියා. පරිගණකවලින් ස්ටීරියෝ හඬ ලබාදෙන "sound card" අමතර උපාංගයේ නව තාක්ෂණයන් නිර්මාණය කල ක්‍රියේටිව් සමාගම එකල ලොව පුරා ජනප්‍රිය වුනා. එකල ඔවුන්ගේ "Sound Blaster" තාක්ෂණය ලොව ඉහලම පරිගණක සවුන්ඩ් කාඩ් තාක්ෂණය ලෙස වැජඹුනු බව 1990 ගණන්වල මුල් කාළයේ පරිගණක කර්මාණ්තයට සම්බන්ධව සිටි පාඨකයින්ට මතක ඇතැයි මා සිතනවා. කෙසේ වෙතත් දැන් නව නිර්මාණ හා නව තාක්ෂණයන් බිහිකරගැනීමේ නොහැකියාව නිසා Creative Technology සමාගම  දැඩි ලෙස පසුබා සිටිනවා. වසර 36කට පෙර ආරම්භවූ ක්‍රියේටිව් ටෙක්නොලොජි සමාගමේ 2014 වාර්තා අනුව වාර්ෂික ආදායම ඩොලර් මිලියන 116ක් පමණ වනවා. සංසන්දනාත්මකව වසර 41 පැරණි තායිවානයේ ඒසර් සමාගමේ 2015 වසරේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8.7ක් එනම් ඩොලර් මිලියන 8700ක් පමණ වුනා.

සිංගප්පූරුව Acer, HTC, Foxconn, RealTek වැනි සමාගම් බිහිකිරීමට අපොහොසත්වී තිබෙන්නේ ඇයි?

සිංගප්පූරුව හිතාමතාම නිර්මාණශීලිත්වය බිහිවීමට ඉඩනොදී, විභාග සඳහා වනපොත් කරන දරුපරපුරක් බිහිකර ගැනීම මෙයට හේතුව බව විචාරකයින් පවසනවා. ළපටි වයසේ සිටම අමාරු විභාගවලින් හෙම්බත්වන සිංගප්පූරු මනසට අපූරු නවෝත්පාදනයන් කිරීමේ හැකියාව, වෙනස් ලෙස සිතීමේ, වෙනස් ලෙස වැඩ කිරීමේ හැකියාව නැති බවයි පෙනෙන්නේ. විභාග වලින් මනින්නේ මතක තබාගැනීමේ හා යලි යලිත් ආවර්ජනය කරමින් ඉගෙනීමේ (rote learning) හැකියාවයි. Synthesis හෙවත් දැනුම යොදාගෙන අලුතින් යමක් සංයෝජනය කිරීමේ, බිහිකිරීමේ හැකියාව මැනීම සඳහා විභාග එතරම් සාර්ථක  ක්‍රමයක් නොවේ.

එහෙත් 21වැනි ශතවර්ෂයට වැඩියෙන්ම අවශ්‍ය වන, නවමු සංයෝජන බිහිකිරීමේ හැකියාව (synthesis), විශ්ලේෂණ හා තක්සේරු හැකියාව (analysis and evaluation), විචාරණ හැකියාව (critical thinking), නිර්මාණශීලිත්වය (creativity) ආදී හැකියාවන් විභාගවලින් සියල්ල මනින අධ්‍යාපන ක්‍රම තුලින් බිහිවෙන්නේ නෑ

කටපාඩම් ඉගෙනීම, පංතියේ පලවැනියා වීම, යාළුවන්ට වඩා වැඩි ලකුණු ගැනීම, එකේ පංතියේ සිට යන ටියුෂන් හා ලෝකයේ අමාරුම විභාග අතර අතරමන්ව සිටින ලංකාවේ ඉරණමත් එයම බව කණගාටුවෙන් සිහිපත්කල යුතුයි.

විභාග කොතරම් ජන-විඥානයට කාවැදී ඇතිදැයි කියනවානම්, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී බොහෝ පාඨමාළාවලට තනි හෝ කණ්ඩායම් පැවැරුම් වලින් 40%ක් හෝ 50% වැනි ප්‍රතිශතයකින් ලකුණු ලබාදීම සමහර දෙමව්පියන් මෙන්ම සිසුන්ද සළකන්නේ අඩු ප්‍රමිතියක් ලෙසයි.

"අයියෝ එසයින්මන්ට් වලින්ද 50% ලකුණු එන්නේ?"

පලමු වසරේ පලමු සෙමෙස්තරයේ නවක සිසුන් මෙසේ අසන්නේ "මැරීගෙන ඒ ලෙවල් කරලා කැම්පස් එන්නේ 50% ලකුණු නිකන් වගේ අරගන්නද?" යන සිතුවිල්ලෙන් බව නිසැකයි. ලංකාවේ හැදෑරිය හැකි විදෙස් විශ්වවිද්‍යාල උපාධි තෝරාගැනීමේදීද සමහර දෙම්ව්පියන් 100% විභාගවලින් අගැයිම් කරන විශ්වවිද්‍යාල උපාධි ඉහල ප්‍රමිතියේ ඒවා ලෙස සළකන බව විශ්වවිද්‍යාල ගුරුවරයෙකු වන මා අත්දැකීමෙන් දන්නවා.

මේ සියල්ලේම අවසානය, ඔෆිස් වැඩට දක්ෂ, 19 වැනි ශතවර්ශයට ගැලපෙන මානව සම්පතක් දායාදවීමයි.



__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...