පොඩි කාලේ ආසම ආස - චොපර් බයිසිකලේ



කවුද අහලා තියෙන්නේ චොපර් බයිසිකල් ගැන?


රෝඩ් බයික්, ස්පොර්ට් බයික්, මවුන්ටන් බයික්, බී.එම්.එක්ස් ස්ටන්ට් බයික් ගැන හැමෝම අහලා දැකලා තිබුණට චොපර් බයිසිකල් ගැන අහලා තියෙන්නේ මම වගේ 80 දශකයේ ටීනේජර්ලා (teenagers) නැතිනම් ප්‍රී-ටීන්ස්ලා (pre-teens) වෙලා හිටපු අය විතරයි. එයාලටනම් යාන්තමට චොපර් බයිසිකල් මතක ඇති. වාසනාවන්ත අයටනම් තෑග්ගකට වගේ ලැබෙන්නත් ඇති.

මම, මගේ ප්‍රී-ටීනේජර් ජීවිතේ (ඒ කියන්නේ වයස 10-12) කාලේ වැඩියෙන්ම ආසකරපු, හැබෑ නොවන හීනයක් බව දැන දැනත් ආශාවෙන් හිටපු දෙයක් තමයි ඔය චොපර් බයිසිකලේ. ඒවා පදින ළමයි දැක්කම මට ඉස්සර පිස්සු වගේ. අපේ ගෙවල් පැත්තේ කිසිම ළමයෙකුට චොපර් බයිසිකල් තිබුණේ නෑ. අපි හැමෝම පැද්දේ තාත්තලාගේ රෝඩ් බයික් එක නැතිනම් ස්ටෑන්ඩර්ඩ් බයිසිකලේ තමයි. මම මගේ කලින් පෝස්ටුවේ මම පොඩි කාලේ පැදපු බාල ඉන්දියන් ආර්.එම්.අයි රෝඩ් බයිසිකලේ ගැන කිව්වනෙ. මම ඕක තනියෙන් පදින වෙලාවට හිතාගත්තේ මමත් චොපර් එකක් පදිනවා කියලයි.


ඉස්සර කොල්ලුපිටියේ, මරදානේ, පිටකොටුවේ බයිසිකල් කඩවල චොපර් බයිසිකල් දිහා ආසාවෙන් බල බලා යනවා මට මතකයි. මම ජීවිතේටම චොපර් එකක් පැදලා තියෙන්නේ එක පාරයි. ඒ නෑදෑ ගෙදරකදී. එයාලා අපිට වඩා සල්ලි තියෙන පොෂ් නෑයෝ. එයාලා කාළයක් එන්ගලන්තේ හිටියේ. ඒ නිසා ෆුල් ඉන්ග්ලිෂ් ස්පීකින් අය. මට ඉතින් ඉන්ගිරිස් ඒකාලේ වැඩිය බෑ. එහෙන් මෙහෙන් ගැටගහගන්නවා මිසක්. එයාලාගේ දුවලා දෙන්නට (දෙන්නම මට අක්කලා) පදින්න ගෙනල්ලා තිබුණ එකක් මම ආසාවට ඉල්ලගෙන පැද්දා. හැබැයි පදින්න හරිම අමාරුයි. මම ටික වෙලාවකින් වැඩේ අතෑරියා. උන් කෙල්ලෝ හින්දා කියන්නත් ලැජ්ජයි පදින්න බෑ කියලා. පස්සෙ තමයි මට තේරුනේ ඒකේ ගියර් එක හරියට සිලෙක්ට් කරලා නොතිබුන නිසා පැදගන්න බැරිවුනා කියලා..අපරාදේ....


චොපර් බයිසිකලේ ඉතිහාසය


චොපර් බයිසිකලේ නිර්මාණය කලේ සුප්‍රසිද්ධ එන්ගලන්තේ රැලේ සමාගම. 1970දී එයලා එන්ගලන්තෙ පාරිභෝගිකයින් මේක හඳුන්වලා දීලා තියෙනවා. ඉතා ඉක්මණින් ජනප්‍රිය වුනු චොපර් බයිසිකල් ඒකාලේ එන්ගලන්තෙ ළමයින්ගේ ප්‍රියතම බයිසිකලේ වෙලා තිබිලා තියෙනවා. ඒ කාලේ හැමෝම උපන්දිනේට චොපර් බයිසිකලයක් බලාපොරොත්තුවෙලා ඉඳලා තියෙනවා.


සාමාන්‍යයෙන් බයිසිකල්වල රෝද දෙකම එක ප්‍රමාණයෙන් වුනත් චොපර් බයිසිකලේ රෝද වෙනස්. පස්සෙ රෝදෙ ලොකුවටත්, ඉස්සරහා රෝදෙ කුඩාවටත් නිර්මාණය කරලා තියෙන චොපර් බයිසිකල් වලට ආභාශය ලැබුණේ අමෙරිකාවේ භාවිතාවෙන, චොපර් නමින් හැඳින්වෙන මෝටර් සයිකල් මාදිලියක් නිසා බව කියවෙනවා.


ඇමරිකන් චොපර් මෝටර් සයිකල්වලත් ඉදිරිපස රෝදේ මදක් කුඩාවටත් පසුපස රෝදේ විශාල වගේම ගොඩක් මහතින් වැඩි ලෙස හදලා තියෙනවා. ඒ වගේම හැන්ඩල් බාර් එකත් ගොඩ උසට තියෙනවා. සීට් එකත් L හැඩයට හදපු එකක්. මේ ගතිලක්ශණ සියල්ලම රැලේ චොපර් බයිසිකලේ දකින්නට ලැබුණා.




 චොපර් උන්මාදය යටවී උඩට ආපු BMX උන්මාදය


කොහොම වුනත් වේගයෙන් ජනප්‍රිය වන හැමදෙයක්ම වගේ චොපර් බයිසිකල් උන්මාදය, ඒකේ මව් රටවුනු එන්ගලන්තෙන් පවා නැතිවෙලා ගියා. ඊට පස්සේ ආවේ BMX උන්මාදය. 1980 ගණන් වලම ආරම්භවුනු BMX උන්මාදය එන්ගලන්තේ වගේම ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ මෙන්ම යුරෝපයේත් පැතිරුණා.


BMX හැදිලා තියෙනේ බයිසිකල් මෝටර් ක්‍රොස් කියන වචනවලින්. ඕකෙ ආරම්භය වෙන්නේ අපි ට්‍රේල් බයික් කියලා හඳුන්වන, ඩර්ට් බයික් නැතිනම් පාරෙන් ඉවත (ඕෆ් රෝඩ්) පදින මෝටර් සයිකල් රේස් තියන වල ගොඩැලි තියෙන පිට්ටනිවල පොඩි රෝද තියෙන සයිකල් පදින්නට එන්ගලන්තේ වගේම ඇමරිකාවේ තරුණයින් පටන්ගත්තට පස්සේ. BMX බයිසිකලේ බොහොම ශක්තිමත් ෆ්‍රේම් එකකින්, කුඩා රෝද හා මහත ටයර් වගේම, හැඬල් එක ඕනෑම පැත්තකට හරවන්න පුළුවන් විදියට බ්‍රේක් වයර් පැටලෙන්නේ නැති විධියට හදපු බයිසිකල්. මේවා භාවිතා කරන්නේ සෙල්ලන් දාන (සටන්ට්) රේස් වලට විතරයි.


වැඩදදා චොපර් පැදපු ප්‍රී-ටීනේජර්ලා, ටීනේජ් වයසට ආවහම BMX වලට පුරුදුවුනා. BMX උන්මාදය වැඩිකරන්න ඒ කාලේ (1983) BMX බැන්ඩිට්ස් කියලා චිත්‍රපටයකුත් ආවා. ඔස්ට්‍රිලියාවේ නිපදවපු මේ චිත්‍රපටය ලෝකය පුරාම ජනප්‍රිය වුනා. ඒ වගේම ලාබාල තරුණ තරුණියන් ඉලක්ක කරගෙන නිපදවුනු බොහෝමයක් චිත්‍රපටවල ළමා නලු නිළියෝ BMXබයිසිකල් භාවිතා කලා. මේ නිසා චොපර් යට ගිහිල්ලා ඹ්MX උන්මාදය ඉහල ආවා. අදටත් BMX ස්ටන්ට් බයිසිකල් වලින් සෙල්ලන් දාන එක පිටරටවල වගේ ලංකාවෙත් ජනප්‍රිය විනෝදාංශයක්.








__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .
.
CONTACT    : terence.arachchi@gmail.com .  
.
GOOGLE +   : About Me  .  
.
FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments

  1. මටත් එකක් තිබුනා

    ReplyDelete

Post a Comment