Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 1 May 2016

Social Science : 21 වැනි ශතවර්ශයේ දෙවැනි දශකය ගෙවන අප තවමත් මැයි දිනයේ කම්කරුවන් පමණක් සමරන්නේ ඇයි?

 

1886දී ඇමරිකාවේ චිකාගෝ නුවර පැය 8ක සේවා මුරයක් වෙනුවෙන් වැඩවර්ජනය කල ශ්‍රමිකයින් පිරිසකට එල්ලවූ පොලිස් වෙඩි ප්‍රහාරයක් අද අපි සමරන මැයි දිනයට අඩිතාලම දැමුවා. 1886 කාලය මෙන්ම රුසියානු විප්ලවය සිදුවූ 1917 වකවානුවේත් ලෝකයේ වැඩිම ශ්‍රමිකයන් පිරිසක් අයත්වූයේ නුපුහුණු ශ්‍රමිකයන් හෙවත් කම්කරුවන් යන කාණ්ඩයටයි. එනිසා මේ දිනය කම්කරු දිනය ලෙස හඳුන්වන්නට පටන්ගත්තා වන්නට පුලුවන්.

රුසියාවේ, චීනයේ හා කියුබාවේ කම්කරුවන් හා නිර්ධන ගොවීන්ගේ මූලිකත්වයෙන් කොමියුනිස්ට් ආණ්ඩු පිහිටුවාගත් පසු කොමියුනිස්ට් වාදය ලොව පුරා පැතිරයාමේ ප්‍රථිපලයක් ලෙස ලංකාවේ හා වෙනත් රටවලත් මැයි 1 කම්කරු දිනය ලෙස සමරන අතර පුරුද්දක් ලෙස කොමියුනිස්ට් වරුන්ගේ වර්ණය වූ රතු පැහය මෙම දිනය සැමරීමට යොදා ගන්නවා.

කෙසේ වෙතත් 21 වැනි ශතවර්ශයේ දෙවැනි දශකය ගෙවන අප තවමත් මැයි දිනයේ කම්කරුවන් පමණක් සමරන්නේ ඇයි?

මැයි දිනය කම්කරුවන්ගේ දිනයක් පමණක්ද? ලොව වැඩකරන ජනයාගෙන්, එනම් විවිධාකාරයෙන් ශ්‍රමය වගුරවන ශ්‍රමිකයින්ගෙන් අති මහත් බහුතරය පුහුණු හා නුපුහුණු ශ්‍රමික හෙවත් කම්කරු ගණයට අයත්වූ 1880-1900 වකවානුවේ මෙය නිවැරදි වුවත් අද ලෝකයේ මෙන්ම ලංකාවේත් වැඩකරන ජනගහනයෙන් බහුතරය කම්කරුවන් හෙවත් පුහුණු හා නොපුහුණු කාර්මික හා කෘෂිකාර්මික ශ්‍රමිකයින් නොවේ.

ලෝකයේ බොහෝ ආර්ථිකයන් මෙන්ම ලංකාවේ ආර්ථිකයද අද වැඩිම ශ්‍රමික පිරිසක් සේවා නිශ්පාදනයේ යෙදෙන සේවා ආර්ථිකයකි. තවමත් ගොවිතැනෙහි මෙන්ම සංවිධානාත්මක මහාපරිමාණ කෘෂිකර්ම සමාගම්වල (එනම් වතු සමාගම්වලට ) ශ්‍රමය ලබාදෙන විශාල පිරිසක් සිටියත් ඔවුන්ගෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වයට වඩා දායකත්වයක් අද සේවා හා ඇඟලුම් අංශවලින් ලැබේ. එමෙන්ම ලංකාවේ සුළුපරිමාණ වී, එළවළු, කිරි හා පළතුරු ගොවීන් සැබැවින්ම කම්කරුවන් නොව තමා සතු සම්පත් (එනම් කුඩා ඉඩම හා ශ්‍රමය ) යොදා යම් නිශ්පාදනයක් සිදුකොට එය අලෙවියෙන් ජීවත්වන සුළු ව්‍යවසායකයින් (small scale entrepreneurs) පිරිසකි.

වතු කම්කරුවන් හැරුනකොට ලංකාවේ දළ ජාතික නිශ්පාදනයට වැඩිම දායකත්වයක් දරන්නේ ඇඟලුම් සේවිකාවන්, මැදපෙරදිග පුහුණු/නුපුහුණු ශ්‍රමය වගුරවන සේවක/සේවිකාවන්, සුළු කෘෂිකාර්මික ව්‍යසායකයින් (ගොවීන්) හා ලංකාවේ වැඩකරන ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් අයත්වන කාර්යාල හා සාප්පු සේවක සේවිකාවන්ය. කාර්යාල හා සාප්පු ලෙස හැඳින්වූවේ මෙම කාණ්ඩයේ යම් යම් අයිතිවාසිකම් ආරක්ශාකිරීමට සම්මත කොට ඇති shop and office employees act හෙවත් කාර්යාල හා සාප්පු සේවක පනත හා සමපාතවීමට වුවද මෙම කුළකය ඊටවඩා විශාලය.

Shop and Office Employees ලෙස හැඳින්වුවද අද ලංකාවේ සෑම සියලු ආකාරයේ සේවා නිශ්පාදනයන් සඳහා දායකවන සුවහසක් වැඩකරන ජනතාව අයිතිවන්නේ මෙම කාණ්ඩයටයි. ආර්ථිකයට මෑතක සිට විශාල දායකත්වයක් දරන හෝටල් හා සංචාරක අංශය, ජාත්‍යන්තර පාසැල්වල හා පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ගුරුවරුන් හා ආචාර්ය වරුන්, සුපිරි වෙළඳසැල් හා වෙනත් දස-දහස් ගණනක් වෙළඳ හා ව්‍යාපාරික ස්ථානවල සේවක සේවිකාවන්ද මෙම පනත මගින් ආවරණය වේ.

එහෙත් මැයි දිනයේ ගිරිය කඩාගෙන බෙරිහන්දෙන ධනපති දේශපාලකයින් මෙන්ම ධනවත් සමාජවාදීන් කිසිවෙක් ලංකාවේ කාර්යාල හා සාප්පුසේවක පනතින් ආවරණය වන ලක්ශ සංඛ්යාත සේවක සේවිකාවන් ගැන වචනයක් වත් කතා නොකරයි.

මාගේ පෞද්ගලික මතයේ හැටියට ලංකාවේ වැඩියෙන්ම දුක්විඳින්නේ ගොවි/පුහුණු/නුපුහුණු කම්කරුවන් නොව කාර්යාල හා සාප්පු සේවක සේවිකාවන්ය. ඔවුන් බහුතරය පහල මධ්‍යම පන්තියට හෝ මධ්‍යම පංතියට අයත්වන අතර ඉතාමත් සුළුපිරිසක් ඉහල මධ්‍යම පංතියට අයත් විශාල වැටුප් හා වරප්‍රසාද ලබන, සුවපහසු දිවි ඇත්තන් වේ.

ලංකාවේ කාර්යාල හා සාප්පු සේවක සේවිකාවන් ගේ බරපතල ජීවන ගැටළු මොනවාද?

1] වැඩට යාම

කාර්යාල හා සාප්පු සේවක සේවිකාවන් වෙළාවට වැඩට යන්නට විඳින දුක දන්නේ බස්වල කෝච්චිවල හෝ මෝටර් සයිකල් වල යන්නන්ය. කිලෝ මීටර් 10-12 දුරක් යාමට බස් රථවල/කෝච්චිවල මිරිකෙමින්, දහදියෙන් තෙමෙමින්, කොන්දොස්තරගේ කන්කරච්චලය වගේම බස්වල මහ හයියෙන් දමාගෙන යන නීරස FM චැනල් අසාගෙන සිටින්නට වීම කොතරම් වධයක්ද? දුක්විඳගෙන වැඩට යන මේ මිනිස්සුන්ට වෙළාවට වැඩට යාහැකි රාජ්‍ය අනුග්‍රහය ඇති කාර්යක්ශම ප්‍රවාහණ සේවාවක් සිහිනයක් පමණක්ද?

2] රැකියාවේ පීඩනය

ලංකාවේ බොහෝ සාප්පු හා සේවා රැකියා සේවක සේවිකාවන් ඉමහත් පීඩනයකට බඳුන්කරයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ හැකිතාක් අඩුසේවක පිරිසකින්, දිනෙන් දින වැඩිවන වැඩ ගොන්න (workload) කරවාගනිමින් පිරිවැය හැකිතාක් අඩුවෙන් තබාගෙන ලාභ ලැබීමේ පරමාර්ථයෙන් සේව්‍යයන් (employers) ක්‍රියා කිරීමයි. මෙම පීඩනය නිසා බොහෝ තරුණ සාප්පු හා කාර්යාල සේවක සේවිකාවන් දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙලෙන්නට පටන්ගෙන ඇත. උදේ 8.00 හෝ 8.30 ඇරඹෙන වැඩමුරය පැය 8න් අවසන් වන්නේ කළාතුරකිනි. පෞද්ගලික බැංකු හා මූල්‍ය සමාගම් මෙන්ම ඉතා තරඟකාරී වෙළඳපොලවල්වල තරඟ කරන වෙළඳ සමාගම්වලද මෙම පීඩනය ඉතා අධිකය. බොහෝවිට නිවාඩුවක් ගැනීමට පින්සෙන්ඩු වන්නට, පෞද්ගලික ජීවිතයේ දෑ ප්‍රධානීන්ට පවසන්නට සිදුවී ඇත.

3] රැකියා / ජීවිත සමබරතාවය නොමැතිවීම (lack of work life balance)

රැකියාවට යන්නට පැය එකහමාරක් දෙකක් ගතකොට ආපසු එන්නටද ඒ හා සමාන කාළයක් ගත කරන්නට සිදුවී ඇති නිසා පැය 8ක සේවාමුරය සඳහා පැය 11ක් 12ක් නිවසෙන් පිටව ගතකරන්නට සිදුවී ඇති නිසා වෙනත් පවුලේ කටයුතු, ව්‍යායාම, දරුවන්ගේ කටයුතු, පවුලේ සියලු දෙනා එක්ව සැහැල්ලුවෙන් ගතකල යුතු කාලය අවම වී ඇත. බොහෝ දෙමවිපියන්ට සිය දරුවන් සමග ගතකිරීමට කාළය සොයාගැනීම අපහසුය.

නිවාඩු වැඩිම රටක් ලෙස කයිවාරු හා අවලාද නැගුනද සැබැවින්ම විවේකය අඩු සේවක ප්‍රජාවක් සිටින රටක් ලෙස ලංකාව ඉදිරියේදී කුප්‍රසිද්ධවන බව මාගේ විශ්වාසයයි.

මෙහි ප්‍රතිවිපාක දැනටමත් දැනෙන්නට පටන්ගෙන ඇත. දික්කසාද, අනියම් සබඳතා, දරුවන් අයාලේ යාම, මත්ද්‍රව්‍ය හා මත්පැන් අලෙවිය වාර්තාගත ලෙස වැඩිවීම වැඩකරන ජනයාට රැකියා/ජීවන සමබරතාවය පවත්වාගෙන යාමට ඇති නොහැකියාව පෙන්වන සාධක බවට ලොවම පිලිගනී.

4] ඉක්මණින් රෝගීවීම

දවල්ට කඩේ බත් කෑම, රාත්‍රියට කොත්තු/බිත්තර රොටී/ෆ්‍රයිඩ් රයිස් කෑම. අධික මත්පැන් පාරිභෝජනය, රැකියා පීඩනය, රැකියා/ජීවන අසමබරතාවය නිසා පවුල් සම්බන්ධතා ගැටලු ඇතිවීමෙන් ලැබෙන මානසික පීඩනය, දූශිත පරිසරයේ ජීවත් වීම යනාදී සාධක නිසා ලංකාවේ පහල හා මැද මධ්‍යම පාංතිකයින් ඉතා වේගයෙන් රෝගීන් වෙමින් පවතී.

මාසෙකට වරක් දෙවරක් ඇවිදින්නට යාමෙන් හෝ කොළකැඳ බිමෙන්, රතු බත් කෑමෙන් මේවා අඩුකරගත හැකි බවට බහුතරය විශ්වාස කලද එය එසේ නොවේ. රැකියා පීඩනය මහත් විනාශකාරී සමාජ බළවේගයකි. ජීවිතය අතෘප්තිමත් කොට සතුට නැතිකිරීමට එය හේතුවේ.

ප්‍රංශය වැනි දියුණු රටවල් සවස 6න් පසු රැකියා ස්ථානයෙන් ඊමේල් පණිවුඩ, දුරකථන ඇමතුම් සේවක සේවිකාවන් වෙත යොමු කිරීම තහනම් කොට ඇත්තේ work life balanceහි ඇති වැදගත් කමත් අනවශ්‍ය ලෙස රැකියාවේ පීඩනය නිසා සමාජයම රෝගීන් හා මානසික ව්‍යාකූලත්වයෙන් පිරි මිනිසුන් බවට පත්වෙන බව අත්දැකීමෙන්ම ඉගෙන ගෙන ඇති නිසාය.

යුරෝපීය ප්‍රජාවම (Euroepean Union) අතිකාල සේවයේ යෙදීම්ද සමග සතියකට උපරිම පැය 48ක සේවා මුරයක් නීතිගත කොට තිබෙන්නේ රැකියාව කරනවාට වඩා ජීවිතයක් මිනිසුන්ට තිබිය යුතු බැවිනි.

 5] ආදායම/වියදම පරතරය

සේවකයින්ට හැකිතාක් අඩුවෙන් ගෙවමින්, අඩු වරප්‍රසාද දෙමින් එහෙත් ඉහල කළමණාකරුවන් අතලොස්සකට හා අධ්‍යක්ශක මණ්ඩලයට ඉතා ඉහල වැටුප්, වාහන හා ඉන්ධන, රට සවාරි, දරුවන්ගේ වියදම්-ගෙවල් කුලී යනාදිය ව්‍යාපාරය මගින් පියවීම ආදී ඉතා ආකර්ශණීය සුඛවිහරණයන් ලබාදීම ලංකාවේ ව්‍යාපාරික අයිතිකරුවන් විශාල පිරිසකගෙන් දැකිය හැකිය.

මයි කාර්-මයි පැට්‍රෝල් න්‍යායට අනුව සියලු පෞද්ගලික වියදම්, දරුවන්ගේ වියදම් වාගේම බිරිඳගේ (හෝ කිහිපදෙනාගේ) සියලු වියදම් ආයතනයේ පිරිවැයට එකතුකොට, ආයතනයේ වියදම් විශාල ලෙස වැඩි නිසා පඩි වැඩිකිරීම්, සතුටු විය හැකි බෝනස් එකක් ලබාදීම් වැනිදෑ නොදී සිටීමට හේතුලෙස පෙන්වමින් ශ්‍රමය මංකොල්ල කන ව්‍යවසායික මංකොල්ල කරුවන් බහුල රටකි ලංකාව.

මා මීට වසර 15කට පමණ පෙර සේවය කල එක්තරා ආයතනයකද තත්වය එසේවූ නිසා මට ඒ පිලිබඳව පෞද්ගලික අත්දැකීම් ඇත. පැරණි සමාගමක් වූ මෙය, එය යෙදෙමින් සිටි කර්මාණ්තයේ සේවක සේවිකාවන්ට ඉතාම අඩු ගෙවීම් කරන බවට ක්ශේස්ත්‍රයේම එවක ප්‍රසිද්ධවූ කොම්පැණියකි.

සේවක සේවිකාවන්ට අඩුම වැටුප් ගෙවුවද අධ්‍යක්ශවරයෙකු එවක ලක්ශ 1.5 සිට 2 දක්වා මාසික වැටුපක් ගෙවන ලද අතර වසර 4කට වතාවක් තමුන් කැමති අලුත්ම කාර් රථයක් ලබාගැනීමේ අවස්ථාව ඇත. එම සමාගම ලංකාවේ නියෝජිත ලෙස සිටින විදෙස් සමාගම් වල ආරාධනාවන් ලැබුණු බොහෝවිට එම අවස්ථාවලදී රට යන්නේද මේ අධ්‍යක්ශක වරුන් වන අතර සියලු වියදම් සමාගම හෝ විදෙස් සමාගම දරණු ලබයි. එපමණක් නොව සේවක සේවිකාවන්ට පිටරට යාමට එම නියෝජිතයින් ආරාධනා කරන විට ඒවා සේවක සේවිකාවන්ට හොරෙන් ප්‍රතික්ශේප කරන බවද පසුව හෙලිවිය. 


එනිසා සේවක සේවිකාවන් අවම වැටුපකින් අපහසුවෙන් දිවිගෙවද්දී මෙම සමාගමේ අධ්‍යක්ශකවරු නිතරම රට යමින් හවසට කොළඹ හතේ SSC, NCC, ඔටර්ස් වැනි ක්ලබ්වල හෝ තරුපහේ හෝටල්වල මිතුරන් සමග සව්දිය පුරමින්, දිගු නිවාඩු වලට නුවර එළියේ නැතිනම් මුහුදු බඩ හොඳම හෝටල්වලට පවුල් පිටින් යමින් සිය වාසනාව භුක්ති වින්දහ. 

කෙසේ වෙතත් සේවක් සේවිකාවන්ට හොඳින් නොසැළකීමේ සාපය නිසාදෝ වසර 40ක් පමණ පැරණි එම සමාගම අදටත් එම ක්ශේස්ත්‍රයේ සිටින නොදියුණුම සමාගමකි. සේවකයින්ට හොඳින් සැළකූ එම ක්ශේත්‍රයේ අනෙක් තරඟකරුවන්  දියුණුවෙන් දියුණුවට පත්ව අද සමාගම් සමූහ බවටද පත්වී ඇත්තේ අයිතිකරුවන් කෝටිපතියන් කරමිනි. ඒවායේ සේවක සේවිකාවන්ද උසස්වීම්, වැඩි වැටුප් හොඳ වාහන දිනාගෙන, අඩුම තරමේ ආර්ථික පීඩනයෙන් හෝ යම්තරමකට මිදී සිටී.

මේවා ගැන කතාකරන්නේ කවුද?

අද උදේසිට වේදිකා දෙවනත් කරමින් කංකරුවන් ගැන කතා කලද වහසි බස් දෙඩූවද, ලංකාවේ විශාල ලෙස දුක්විඳින සේවක ප්‍රජාවකගේ ගැටලු කෙසේ වෙතත් එවැනි ප්‍රජාවක් සිටින බව හෝ ආණ්ඩුවට, විපක්ශයට මෙන්ම පොදු විපක්ශයටද වගේවගක් නැත.


__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------
Related Posts Plugin for WordPress, Blogger...