වැලන්ටිනා තෙරෂ්කෝවා: උඩුගුවන ජයගත් දිරිය යුවතිය | 53rd Annivasary of Valentina Tereshkova's epic space flight

Valentina Tereshkova -  First Woman in Space - Vostok 6, June 16, 1963
පෘථිවි වැසියෙකුට ජයගත හැකි ඉහලම ඉලක්කය වන්නේ අභ්‍යවකාශය ජය ගැනීමය. එකී උරුමය අත්පත්කර ගැනීම වෙනුවෙන් ඇමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධය ආරම්භ විය. එම අභියෝගාත්මක අරගලය සෝවියට් දේශය විසින් ඇමෙරිකාව පරදවා ජයග්‍රහණය කලේ 1961 දී යුරී ගගාරීන් උඩුගුවනට යැවීමෙනි.

තව දුරටත් රුසියානු තාක්ෂණ ලෝකය ජයගනිමින් එනම් 1963 වර්ෂයේ ජුනි මස 16 වැනි දින තවත් අපූරු අභ්‍යවකාශ ගමනක්‌ දියත් කරනු ලැබීය. එම වික්‍රමය නම් 1937 මාර්තු මස 06 වැනි දින සෝවියට්‌ දේශයේ බොල්ශෝ මැස්‌ලෙනිකෝවා ප්‍රදේශයේ උපන් වැලෙන්ටිනා වැලෙඩ්මිරෝව්නා තෙරෙෂ්කෝවා නම් එවකට 26 හැවිරිදිවූ තරුණ යුවතිය අභ්‍යවකාශයට යවා, නිරුපද්‍රිතව ආපසු ගෙන්වාගෙන අභ්‍යවකාශය ජයගත් ප්‍රථම කාන්තාව යෝවියට් යුවතියක් බවට ඉතිහාසයේ රන් අකුරින් ලියවීමයි.

යුරී ගගාරින්ගේ ඓතිහාසික වික්‍රමයෙන් අනතුරුව කාන්තාවක් අභ්‍යවකාශයට යැවීමට සෝවියට් දේශයට අවශ්‍යය විය. ඒ වෙනුවෙන් ලැබුණු අයදුම්පත් හාරසීයක් අතරින් අවසාන වශයෙන් තෝරා ගනු ලැබුවේ වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා ද සමග පස්‌ දෙනෙකි. ඒ වන විට ඇය සිවිල් පැරෂුට්‌ භටයකු ලෙස සේවය කරමින් සිටියාය.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා තම කුඩා කාලය ගත කරනු ලැබුවේ බෙලරුසියාවේය. ඉන් පසුව රුසියාවට සංක්‍රමණය වූ අතර ඇයගේ පියා ට්‍රැක්‌ටර් රියෑදුරකු වූ අතර ඇයගේ මව ඇඟලුම් කම්හලක සේවිකාවක්‌ වූවාය.අධ්‍යාපනයට තම කුඩා කාලයේදී සුවිශේෂී දක්ෂතාවක් නොදැක් වූ ඇය වයස අවුරුදු 22 වන විට ඇඟලුම් සේවිකාවක් ලෙස සේවය කලාය. එම කාලය තුල පැරෂූට්‌ ක්‍රීඩාව ප්‍රගුණ කරමින් විවිධ දක්ෂතා පෙන් වූ අතර, අභ්‍යවකාශ ගමන වෙනුවෙන් පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයේදී එකී සුදුසුකම තමාගේ අනාගත ඉරණම වෙනස් කිරීම වෙනුවෙන් උපයෝගී වුනි. පැරිෂුට් ක්‍රීඩාවට අමතරව වීරත්වයෙන් පිරීගිය ඇයගේ පවුල් පසුබිමද ඉවහල් වුනි. වැලෙන්ටිනා ගේ පියා සෝවියට් රතු හමුදා භටයෙකු ලෙස යුධ බිමේදී තම ජීවිතය පුද කල විරුවෙකු විය.


1963 වසරේ ජුනි මස 14 වැනි දින වොස්‌ටොක් 6 අභ්‍යාවකාශ යානය 26 හැවිරිදි සුරූපී වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා සමග ගගන ජය ගනිමින් විශ්වයට පා තැබීය. ඇය පෘථිවිය වටා 48 වතාවක්‌ ගමන්කල අතර ඇයගේ චාරිකාව දින දෙකකුත්, පැය 23ක් කාළයක් ගන්නා ලදී.

වැලන්ටිනා ගමන්කල වොස්ටොක් 6 අභ්‍යවකාශ කැප්සූලය
ප්‍රථම කාන්තා අභ්‍යවකාශ ගමනට තෝරාගන්නා විට පැරිෂූට් පැනීම හැරුණකොට යුධ ගුවන්යානා පුහුණුවක් හෝ හමුදා පසුබිමක් නොතිබූ වැලන්ටිනා ඇතුලු කාන්තා ගගනගාමී සංචිතයට දැඩි පුහුණුවීමේ පාඨමාලා රැසකට සහභාගීවී සමත්වන්නට සිදුවිය.

ඔවුන් හට ලබාදුන් පුහුණුවීම් අතර ශුන්‍ය ගුරුත්ව පුහුණුව (ඉතා ඉහලට ගමන්කල ගුවන්යානයක්, එක එල්ලේ පහලට ගමන්කරනවිට යානය තුල ශුන්‍ය ගුරුත්ව අවස්ථාවක් විනාඩි කිහිපයකට හටගනී. ගගනගාමීන් ශුන්‍ය ගුරුත්වයට හුරුකිරීම සඳහා මෙවැනි පියාසැරි ගණනාවක් සිදුකරයි ), කිසිදු හඬක් නෑසෙන ආකාරයට තැනූ ටැංකියක දින ගණනාවක් තනිව ජීවත්වන්නට පුහුණු කිරීම (isolation training), අධික ගුරුත්ව බලය (high g-force) දරාගැනීමට පුහුණු කෙරෙන කෙන්ද්‍රාපසාරක පුහුණුව (centrifuge training), රොකට් ඉන්ජිනේරු විද්‍යාව, අභ්‍යවකාශ යානා තාක්ශණය, මිග් 15 ප්‍රහාරක ජෙට් යානාවල ගුවන් නියමු පුහුණුවද ඇතුලත් වූවා.

1970දී සිදුවූ හමුවකදී සඳ ජයගත් නීල් ආම්ස්ට්‍රෝං හට පදක්කමක් පලඳන වැලන්ටිනා තෙරෙෂ්කෝවා.
වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා තම සුවිශේෂී අභ්‍යවකාශ ගමන නිමා කර යළි පෘථිවියට පැමිණි අවස්‌ථාවේදී තම මවුරට වන සෝවියට්‌ රුසියාව විසින් මෙම සාඩම්බර වීර දියණියට උපහාර පිදිය යුත්තේ කෙසේදැයි බලධාරීන් විසින් විමසන ලදුව ඇය පැවසුවේ තමන්ට පුදන ලොකුම උපහාරය තම පියා යුද බිමේදී මියගිය ස්‌ථානය සොයා දීම බවයි.

සෝවියට්‌ රජය එම ඉල්ලීම භාරගත් අතර අසීරු ප්‍රයත්නයකින් අනතුරුව වැලෙන්ටිනාගේ පියා මියගිය ස්‌ථානය අනාවරණය කර ගන්නා ලදී. ඉන් පසුව එම ස්‌ථානයේ ස්‌මාරකයක්‌ තනනු ලැබීය.

මෙම ඓතිහාසික අභ්‍යවකාශ ගමනෙන් අනතුරුව තෙරෙෂ්කෝවා දිගටම අභ්‍යවකාශ විද්‍යාව හදාරන ලද අතර 1977 වසර වන විට අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක්‌ දිනා ගැනීමට තරම් ඇය සමත්කම් දැක්‌වූවාය. සෝවියට්‌ දේශයේ ඉහළ පාලන මණ්‌ඩලයේ සාමාජිකත්වය මෙන්ම සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකාවක් ද විය.මෙයට අමතරව සෝවියට්‌ රාජ්‍ය හමුදාව තුල ජෙනරාල් නිලයක්‌ දරන ලද ප්‍රථම සහ එකම කාන්තාව වන්නේද වැලෙන්ටිනා තෙරෙෂ්කෝවාය.

ඇය මේ වන විට තම දේශපාලන ජීවිතයෙන් සමුගෙන නිහඬ ජීවිතයක්‌ ගත කරන අතර ඇගේ අවසාන බලාපොරොත්තුව තමාට අවස්‌ථාවක්‌ ලද හොත් යළි කිසිදා පෘථිවියට නොපැමිණීමට අඟහරු බලා පියාසර කරන බවයි.

වැලෙන්ටිනා තෙරෙෂ්කෝවා යනු පිරිමින් පය ගැසූ තැන තම ආධිප්‍යයය පතුරවන ලද දිරිය කතකි. උත්සාහය, අධිෂ්ඨානය, කැපවීම තුළින් නොසැලී විවිධ බාධක මධ්‍යයේ නොවැටෙමින් ලොවට ක්‍රියාවෙන්ම ආදර්ශමත ලෙස ජීවත්වූ අපේ කාලයේ සැමටද ආදර්ශයක්‌ වන වීරවරියකි.


__________________________________________________________________________ .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments