කෘත්‍රිම ආලෝකය මගින් වන පරිසර දූෂණය හා අන්තර්ජාතික "කළුවර අහස" ව්‍යාපෘතිය.

ආලෝක දූෂණය (Light pollution, photo-pollution, luminous pollution) කියන්නේ මොකක්ද?

ආලෝක දූෂණය, නැතිනම් ලයිට් පොලූෂන් කියන්නේ ප්‍රභල කෘත්‍රිම ආලෝකය වගේම අනවශ්‍ය දිශාවලට විහිදෙන කෘත්‍රිම ආලෝකය නිසා සිදුවන පරිසර දූෂණයට. රාත්‍රී කාළයේ විහිදෙන අධික කෘත්‍රිම ආලෝකය නිසා ඇතිවන ගැටලු සමහරක් නම්, මිනිසාද ඇතුලු ජීවීන්ගේ ජීවන චර්යාවට, විශේෂයෙන්ම නින්දට ප්‍රභල කෘත්‍රිම ආලෝකය නිසා ඇතිවන බාධාවන් මෙන්ම ස්වභාවික පරිසරයේ ආලොක තත්වය වෙනස්වීමද ඇතුලත් වනවා.

කෘත්‍රිම ආලෝකය විශාල වශයෙන් නිකුත්වීම නිසා මෙම ආලෝකය පරාවර්තනයවී අහසට යොමුවීම මගින් ස්කයි ග්ලෝ හෙවත් ආකාසය දිලිසීම යන සංසිද්ධිය ඇතිවනවා. එමගින් රාත්‍රීකාළයේ සුන්දරත්වය විනාශවී යන අතර මෙම ස්කයි ග්ලෝ සංසිද්ධිය නිසා අපට රාත්‍රී අහසේ දකින්නට ලැබෙන්නේ ග්‍රහතාරකාවලින් ස්වල්පයක් පමණයි.


ඉහත ඡායාරූප දෙකෙන්, රාත්‍රියේ කෘත්‍රිම ආලෝකය නිසා ඇතිවන ස්කයි ග්ලෝ සංසිද්ධියෙන් රාත්‍රී අහසේ පෙනෙන ග්‍රහතාරකා අතර වෙනස පෙන්වනවා.

පලමුවන ඡායාරූපයේ පෙනෙන්නේ ඈත පිටිසර ගමක රාත්‍රී අහසයි. ලඟපාතක ස්කයි ග්ලෝ සංසිද්ධිය ඇතිකලහැකි කෘත්‍රිම ආලෝකයෙන් නැහැවෙන විශාල නගරයක් නොමැති නිසා අතිවිශාල ග්‍රහතාරකා ප්‍රමාණයක් මෙන්ම ක්ශීරපථයද පැහැදිලිව දැකගන්නට පුලුවන්.

දෙවන ඡායාරූපය ආලෝක දූෂණය බහුල නාගරික ප්‍රදේෂයක රාත්‍රී අහස පෙනෙන ආකාරයයි. අහසේ ග්‍රහතාරකා ඉතා සුලුප්‍රමාණයක් පමණක් දකින්නට ලැබෙන්නේ ස්කයි ග්ලෝ සංසිද්ධිය නිසා පොලොවේ කෘත්‍රිම ආලෝකය අහසට පරාවර්තනයවී එම කෘත්‍රිම ආලෝකය නිසා දුබල තාරකා ආලෝකය සැඟවීයාම හේතුවෙනුයි.

අධික ආලෝක දූෂණයක් ඇති ප්‍රදේශ - මෙම චන්ද්‍රිකා ඡායාරූපය සකසා ඇත්තේ චන්ද්‍රිකා මගින් පෘථිවියේ රාත්‍රීකාළයේ ගත් ඡායාරූප සියගණනක් එකතු කරමිනි.





කළුවර අහස ව්‍යාපාරය -  Dark Sky Movement

කළුවර අහස ව්‍යාපාරය යනු ආලෝක දූෂණයෙන් පරිසරය බේරාගෙන, අධික කෘත්‍රිම ආලෝකයත්, එමනිසා වැයවෙන අධික විදුලිබලය හා ඒවා නිපදවීමෙන් ඇතිවන පරිසර හානියත් අවමකිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා රජයන් දැනුවත් කරමින් පීඩන කණ්ඩායමක් (pressure group) ලෙස කටයුතු කිරීම අරමුණ කරගත් ව්‍යාපාරයකි.

මෙම ව්‍යාපාරයේ ආභාශයෙන් 1988දී International Dark-Sky Association නම් ජාත්‍යන්තර සංවිධානයක් අමෙරිකාවේ පිහිටවූ අතර මේ සඳහා මූලිකත්වය ගත්තේ තාරකාවිද්‍යාඥ දෙපොලක් වන David Crawford හා Tim Hunter ය. කෘත්‍රිම ආලෝක දූෂණය අඩුකරමින්, සැබෑ රාත්‍රී කළුවර ඇති ප්‍රදේශ බිහිකිරීම හා රාත්‍රියේ සැබෑ සුන්දරත්වය ජනතාවට විඳීමට සැළැස්වීම සඳහා මොවුන් ක්‍රියාත්මක වූ අතර මොවුන්ගේ (මෙන්ම වෙනත් විද්වතුන්ගේ හා Campaign for Dark Skies වැනි සංවිධානවල ) වෑයමේ ප්‍රථිපලයක් ලෙස 2006දී ලොව ප්‍රථම කළුවර අහස උද්‍යානය (International Dark Sky Park) ලෙස ඇමරිකාවේ යූටා ප්‍රාන්තයේ "Natural Bridges National Monument" ස්වභාවික ස්මාරක ප්‍රදේශය නම් කරන ලදී. ඒ අනුව මෙම ප්‍රදේශය ආශ්‍රිතව රාත්‍රී අහසේ ස්භාවික කළුවර අඩුවන කෘත්‍රිම ආලෝක ප්‍රභව ඇති නගර ඇති කිරීම, කර්මාන්තශාලා හා වෙනත් ව්‍යාපෘති ඇති කිරීම නීතියෙන් තහනම් කොට ඇත.

මේ අනුව යමින් කැනඩාව, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, නැමීබියාව, හා ප්‍රංශය කළුවර ආකාශ උද්‍යාන නම් කොට ඇත. විකිපීඩියාවේ පෙන්වන මෙම කළුවර ආකාශ උද්‍යාන ලයිස්තුව පහත දැක්වේ.



මහජනයාට සංචාරය කල හැකි මෙම උද්‍යානවලට අමතරව, කළුවර ආකාශ රක්ශිත ප්‍රදේශ කිහිපයක්ද විවිධ රටවල්වලින් ස්ථාපනය කොට ඇත.

 

__________________________________________________________________________.  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments