Science Quick Bites : Vostochny Cosmodrome - රුසියාවේ නවතම රොකට් ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානය


වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝම් රොකට් මධ්‍යස්ථානයේ පළමු අදියර ගොඩනගමින් පවතින අවධියේදී පෙනුනු ආකාරය.
පසුගිය අප්‍රේල් 28 වැනිදා රුසියානු අභ්‍යවකාශ වැඩසටහනට ඉතා වැදගත් දිනයක් වූවා. ඒ රුසියාවේ නවතම රොකට් ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයේ පලමු රොකට් ගමන සිදුවූ දවස බැවිනුයි. රුසියානු රාජ්‍යයේ ඈත නැගෙනහිර, අමූර් ඔබ්ලාස් දිස්ත්‍රික්කයේ ඉදිකර ඇති මෙම වොස්ක්ටොක්නි රොකට් මධ්‍යස්ථානයෙන් සෝයුස් 2-a වර්ගයේ රොකට්ටුවක් චන්ද්‍රිකා 3ක්ද රැගෙන සාර්ථකව අභ්‍යවකාශ ගතවී එම චන්ද්‍රිකා නිවැරදි කක්ශවලට ඇතුලුකලා.

වොස්ක්ටොක්නි රොකට් මධ්‍යස්ථානයේ මංගල රොකට් ගමනවූ සෝයුස් 2-a වර්ගයේ රොකට්ටුව උඩුගුවනට ඇදීගිය ආකාරය
1990 දශකයේදී සෝවියට් දේශයේ බිඳවැටීමත් සමග එතෙක් සෝවියට් දේශයේ වැදගත්ම හා විශාලම රොකට් ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයවූ බයිකොනූර් කොස්මෝඩ්‍රෝම් මධ්‍යස්ථානය රුසියාවට අහිමිවී සෝවියට් දේශයෙන් කැඩී වෙනම රාජ්‍යයක් වන්නට තීරණය කල කසාක්ස්ථානයට හිමිවූවා. ඒ අනුව රුසියාවට සිය අභ්‍යවකාශ ගමන් පවත්වාගෙන යාම සඳහා වසරකට ඩොලර් මිලියන 115ක වාර්ශික කුලියක් ගෙවීමේ පදනම මත කාසාක්ස්ථානයෙන් බයිකොනූර් මධ්‍යස්ථානය භාවිත කිරීමේ අවසර ලබාගත්තා. ඒ අනුව රුසියානු අභ්‍යවකාශ රොකට් ගුවන්ගත කිරීම්වලින් 90%ක් රුසියානු මව්බිමෙන් අපිට රටක සිදුකරන්න ඔවුනට අකමැත්තෙන් වුවද සිදුවූවා.

දැනට ගිණිකොණ රුසියාවේ ප්ලෙසෙට්ස්ක් කොස්මොඩ්‍රෝම් මධ්‍යස්ථානය රොකට් ගමන් සඳහා ක්‍රියාත්මක වුවත් එය වඩාත් උතුරු දෙසට වන්නට පිහිටුවා ඇති නිසා එය භාවිතා කල හැක්කේ විශේෂ කක්ශවල (geostationary orbit and high inclination orbits) ගමන්කරන චන්ද්‍රිකා ගුවන්ගත කිරීම සඳහා පමණයි. ඊට අමතරව කපුස්ටින් යාර් වැනි තවත් විශාල රොකට් අංගන ඇතත් ඒවා රුසියානු හමුදාවල රහසිගත මිසයිල ගුවන්ගත කිරීම් සඳහා වෙන්කොට පවතිනවා. ඒ අනුව සමකය ඉහලින් කක්ශගතවී ඇති අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වැනි සිවිල් කක්ශවල ගමන් කරන/ගමන්කල යුතු යානා ගුවන්ගත කිරීමට සමකය ආසන්නයේ රොකට් ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයක් තිබිය යුතුවන අතර ඒ සඳහා රුසියාවට තිබූ විකල්පය වූයේ බයිකොනූර් මධ්‍යස්ථානය කුලී ගෙවමින් පවත්වාගෙන යාමයි.

මෙම ගැටලුව විසඳාගෙන රුසියානු රොකට් ගුවන්ගත කිරීම් රුසියාව තුලම සිදුකිරීමේ අරමුණින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් 2007දී වොස්ටොක්නි කොස්මොඩ්‍රෝමය ඉදිකිරීමේ නියෝගය නිකුත් කරන ලද අතර 2009 වන විට ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත රූබල් බිලියන 400ක අරමුදල් ලබාදුන්නා.

වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝමය තවමත් සම්පූර්ණයෙන් ඉදිකර අවසක් කොට නොමැති අතර, සෝයුස් රොකට් අංගනය පමණක් වැඩ නිමකොට ක්‍රියාකාරී තත්වයේ පවතිනවා. 2018දී ඉදිකිරීම් සියල්ල නිමකිරීමේ ඉලක්කයක් ඇති අතර එවිට සෝයුස් රොකට් හා දැවැන්ත අන්ගාරා රොකට් ගුවන්ගත කිරීමේ පර්යන්ත, රොකට් හා අභ්‍යවකාශයානා එකලස් කිරීමේ මධ්‍යස්ථාන, පාලන මධ්‍යස්ථාන යනාදී සියලු අංගයන්ගෙන් පරිපූර්ණ නවීනතම රොකට් මධ්‍යස්ථානයක් බවට වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝමය පත්වනු ඇත.

මංගල ගමනට සූදානම් වෙමින් පවතින සෝයුස් රොකට්ටුව - 2016 මාර්තු 21
මංගල ගමනට සූදානම් වෙමින් පවතින සෝයුස් රොකට්ටුව ගුවනට පෙනුනු ආකාරය - 2016 මාර්තු 21
මංගල රොකට් ගමනට පෙර වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝම් රොකට් මධ්‍යස්ථානය විවෘතකල ව්ලැඩ්මීර් පුටින් රැස්ව සිටි වොස්ටොක්නි සේවකයින් හා අමුත්තන් අමතන ආකාරය.  පසුබිමින් පෙනෙන දැවැන්ත ගොඩනැගිල්ල සෝයුස් රොකට්ටුව ගමනට සූදානම් කරමින් පවතිද්දී එය ආවරණය කරන ජංගම ආවරණ ගොඩනැගිල්ලයි (Mobile Service Tower). රොකට්ටුව සූදානම් කිරීමෙන් අනතුරුව එය රොකට්ටුව නිරාවරණය කිරීම සඳහා රේල් පීලි ආධාරයෙන් ඈතට ගෙනයයි. - 2016 අප්‍රේල් 28  




වොස්ටොක්නි කොස්මෝඩ්‍රෝම් මධ්‍යස්ථනයේදී සෝයුස් රොකට්ටු එකලස් කිරීමේ මෙහෙයුම් සිදුවන ආකාරය.





__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .  

CONTACT    : terence.arachchi@gmail.com .  

GOOGLE +   : About Me  .  

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments