LONDON HAS FALLEN - 2016 වසරේ මෙතෙක් තිරගතවූ දුර්වලම චිත්‍රපටය




ජෙරාඩ් බට්ලර් - මයික් බැනිං : අමෙරිකානු ජනාධිපතිවරයාගේ ආරක්ශාව භාර ප්‍රධාන Seccret Service ඒජන්ත හා චිත්‍රපටයේ සුපිරි වීරයා

ආරොන් එක්හාර්ට් - අමෙරිකානු ජනාධිපති බෙන්ජමින් ඈෂර්

මෝර්ගන් ෆ්‍රීමන් - අමෙරිකානු උප ජනාධිපති

ඇලොන් මෝනි ඇබොට්බොල් - ආමීර් බාර්කාවී, පාකිස්තානු ජාතික කෝටිපති ආයුධ වෙළෙන්දෙක් හා චිත්‍රපටයේ දුෂ්ඨයා


පසුබිම

ආමීර් බාර්කාවී ලොව පුරා ත්‍රස්තවාදී සංවිධානවලට අවි ආයුධ සපයා ලොව විවිධ රටවල් අස්ථාවර කරයි. එක්සත් ජාතීන්ගේ ආරක්ශක මණ්ඩළය ඔහු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ලකිරීම අනුබල දෙන අතර පාකිස්ථානයේ දුශ්කර පෙදෙසක ඇති ඔහුගේ බලකොටුවක් වැනි මන්දිරයේ ඔහු සිටින බවට ඔත්තුකරුවෙකු හරහා දැනගන්නා අමෙරිකාව ඩ්‍රෝන ප්‍රහාරයක් සැළසුම් කරයි.

බර්කාවී, ඔහුගේ පුතුන් දෙදෙනා හා දියණිය එහි සිටින අතර එදින ඇයගේ විවාහ මංගල්‍යයයි. ඩ්‍රෝන ප්‍රහාරයන් දියණිය මිය යන අතර පුතුන් දෙදෙනෙකු අබ්බගාතයින්වේ.බාර්කාවී හා වැඩිමහල් පුතු සුළු තුවාල ලබා දිවි ගලවාගනී.


බ්‍රිතාන්‍ය අගමැති හදිසියේ මියයාම

බ්‍රිතාන්‍ය අගමැතිවරයා හදිසියේ මියගිය බව ධවල මන්දිරයේ සිටින ජනාධිපති ඈෂර් දැනගනී.අවමගුලට ලොව සියලුම රාජ්‍ය නායකයින් සහභාගීවේ. ඈෂර් සිය එයාෆෝර්ස් වන් යානාවෙන් ලන්ඩනයට ලඟාවන අතර ජර්මානු චාන්සලර්වරිය, ඉතාලි අගමැති හා ඔහුගේ බිරිඳ මෙන්ම ප්‍රංශ ජනාධිපති ලන්ඩනයට ලඟාවන අතර ජපාන අගමැතිවරයා සිය රියදුරා සමග ලන්ඩනයේ රථවාහන තදබදයක සිරවී සිටී. (ජපන් අගමැතිට හෙලිකොප්ටරයක් දෙන්නට හෝ බ්‍රිතාන්‍යය අසමත් වෙයි!!)


Main Plot - අගමැතිගේ මරණය බර්කාවී විසින් සිදුකොට කොට එම අවමගුලට එන සියලුම ලෝක නායකයින් මරාදැමීමට සැළසුම් කොට ඇත.!!!

ප්‍රහරය ආරම්භවන්නේ ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයේ ගමන්කරමින් සිටින කැනඩා අගමැතිගේ රථ පෙලට එල්ලවන රොකට් ප්‍රහාරයකිනි. ජර්මන් චාන්සලර් වරිය මරාදැමෙන්නේ රැජිනගේ ආරක්ශක බලමුලුවෙහි සිටින බර්කාවිගේ ත්‍රස්තවාදීන් විසිනි. තේම්ස් නදිය දිගේ සුඛෝපබෝගී බෝට්ටුවකින් පැමිණෙමින් සිටින ප්‍රංශ ජනාධිපති මරාදැමෙන්නේ ඒ අසලින් යාත්‍රාකරන පාරුවක ඇති දැවැන්ත බෝම්බයක් පුපුරුවා හරිමිනි.

ලන්ඩනයේ සුප්‍රකට චෙල්සී පාලමේ රථවාහන තදබදයේ සිරවී සිටින අසරණ ජපන් අගමැති මරාදැමෙන්නේ චෙල්සී පාලම මතට පැමිණෙන මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පාලම දෙපස දැවැන්ත බෝම්බ පුපුරුවාගැනීම නිසා පාලම කඩාවැටීමෙනි. වෙස්ට්මිනිස්ටර් ඇබී ගොඩනැගිල්ලේ සංචාරය කරමින් සිටින ඉතාලි අගමැති හා ඔහුගේ බිරිඳ එහි සිදුවන බෝම්බ පිපිරීමකින් මියයයි. 



බර්කාවී මෙවැනි දැවන්ත ප්‍රහාරයක් ලොව සියලුම ඔත්තුසේවා වලට හොරෙන් සිදු කරන්නේ කෙසේද?

හරිම ලේසියෙනි...

ඔහුගේ අබ්බගාත පුතුන් දෙදෙනාත් අනෙක් පුතාත් ලන්ඩනයේ ඉදිකෙරිමින් පවතින ගොඩනැගිල්ලක සැඟවී මෙහෙයුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යයි. කතාවේ හැටියට එක් පුතෙකු සුපිරි හැකර් වරයෙකි. ඔහු තත්පර කිහිපයකින් මුලු ලන්ඩනයේම විදුලිබලය කපාහරී.

ඔවුනට උදවු වන ඇතුලේ මිනිහා (inside man) වන්නේ එම්.අයි 5 ඔත්තුසේවයේ ප්‍රධානී ජෝන් ලැන්කැස්තර්ය. බර්කාවී ඔහුව මිලදී ගන්නේ යුරෝ මිලියන 20 වැනි සුළු මුදලකටය. ඔහු බර්කාවීගේ මිනිහා බව තෙරුම් ගන්නේ බ්‍රිතාන්‍යයේ එම්. අයි 6 ඔත්තුසේවයේ ආරක්ශිත නිවසක් (safe house) භාරව සිටින පහල නිළධාරිණියක වන ජැකලින් මාෂල්ය.


ඉතා දුර්වල තිර රචනය

තිර රචකයින්ට අවශ්‍යව තිබී ඇත්තේ හොඳින් පර්යේෂණ කොට නරඹන්නාට විශ්වාසකල හැකි අන්දමේ කතාවක් ගොඩ නැගීම නොව 1980 සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ රැම්බෝ, චක් නොරිස්ගේ මිසින් ඉන් ඇක්ශන් වැනි ලාමක ත්‍රාසජනක චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි.


මට පෙනෙන හැටියට ප්‍රධාන දුර්වලතා;


1]   බ්‍රිතාන්‍ය අගමැති මියගිය බවත්, මරණ පරීක්ශණය ඉදිරි පැය 48 තුල සිදුකරන බවත් කතාව ආරම්භයේ පෙන්වන රූපවාහිණී ප්‍රවෘත්ති ප්‍රකාශයක කියැවේ. එහෙත් කතාවේ හැටියට මරණ පරීකශණය අවසන් වී අවමංගල්‍ය කමිටුව රැස්වෙන්නටත් ඉස්පාසුවක් නොදී සියලුම ලෝක නායකයෝ ලන්ඩනයට දිව එති.

චිත්‍රපටයේ අන්තිමට කියන පරිදි බ්‍රිතාන්‍ය අගමැති මියගොස් ඇත්තේ ඔහුගේ දණහිසේ ශල්‍යකර්මයෙන් ඇතිවූ සංකූලතා නිසා නොව ඔහුගේ සේලයින් බෝතලයට නිර්වින්දක එක් එකිරීමෙනි. ඔහුගේ වෛද්‍යවරයාද මරාදමා හමුවී ඇත. සකලවිධ බ්‍රිතාන්‍ය ඔත්තුසේවා (MI5, MI6, GCHQ, DI) හා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය සිය අගමැතිවරයා ඝාතනය කර ඇතිබව දැනගන්නේ ලන්ඩනය විනාශවී කැනඩා, ජපන්, ප්‍රංශ, ඉතාලි රාජ්‍ය නායකයින් ඝාතනය වී ඇමරිකානු ජනාධිපති අනූනමයෙන් දිවිගලවාගත් පසුවයි.  


2] තිර රචකයින් බ්‍රිතාන්‍ය ඔත්තුසේවාද පටලවාගෙන ඇත. එම්.යි 6 යනු අමෙරිකානු සී.අයි.ඒ සංවිධානය වැනි විදෙස් ඔත්තුසේවාවකි. එම්.අයි 5 යනු දේශීය ඔත්තුසේවා හා ප්‍රති ඔත්තුසේවා (counter-intelligence) සපයන ඒජන්සියයි. එම්.අයි 5 ප්‍රධානී ජෝන් ලැන්කැස්ටර් සිය පෞද්ගලික රහස් කේතය භාවිතා කොට  සියලුම බ්‍රිතාන්‍ය ඔත්තුසේවා සන්නිවේදන ජාලවල හා CCTV ජාලවල පාලනය බර්කාවීගේ හැකර් පුත්‍රයන්ට ලබාදී ඇතත් ඉලෙක්ට්‍රොණික ඔත්තුසේවා සපයන (අමෙරිකානු NSA ඒජන්සිය හා සමාන ) බ්‍රිතාන්‍ය GCHQ ඔත්තුසේවය මේ පිලිබඳව කිසිවක් නොදනී. 

3] අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැරීන් වන්, මැරීන් ටූ හා මැරීන් ත්‍රී හෙලිකොප්ටර් යානා ලන්ඩන් අහසේ ගමන්කරන විට ආරක්ශාව සඳහා බ්‍රිතාන්‍ය ගුවන්හමුදාවේ හෙලිකොප්ටර්, ප්‍රහාරක ජෙට් යානා හෝ ඩ්‍රෝන යානා කිසිවක් අහසේ නැත. එම යානා තුනම ඉතා පහසුවෙන් බර්කාවීගේ ස්ටින්ජර් ගුවන්යානා නාශක මිසයිලවලට ගොදුරුවේ. අඩුම ගණනේ මිසයිල ප්‍රහාර එල්ලවන විට යානාව හැකිතාක් පහතට ගෙන පියාසර කිරීම වැනි සරල ආරක්ශක උපක්‍රම පවා මැරීන් වන්/ටූ/ත්‍රී පියාසර කරන දක්ශ ගුවන් නියමුවන් නොදනී.

4] බ්‍රිතාන්‍යයේ සුප්‍රකට මෙන්ම විශිෂ්ඨ SAS කොමාන්ඩෝ බළ ඇණි ලන්ඩනයට එන්නේ සෑහෙන ප්‍රමාදවීය. එයත් සන්නද්ධ රථ, හෙලිකොප්ටර් සහය නොමැතිව පයින්ය. 

5] බ්‍රිතාන්‍යයේ සුප්‍රකට ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලීසිය සිදුකරන්නේ තුශ්නිභූතව බලා සිටීම පමණකි. ඔවුන් බිල්ඩිමෙන් එලියට බැසීමට බැරි තරම් අසරණය. ඔවුන් ගන්නා එකම තීරණය ගුවන් ප්‍රහාරයකදී නගර වැසියන්ට අණතුරු අඟවන ගුවන් ප්‍රහාර සයිරන් නලා හැඬවීමට තීරණය කිරීම පමණකි.

6] ලොව ප්‍රභලම රටක් වන ජපානයේ අගමැතිට හෙලිකොප්ටරයක් වත් නැත. එම අසරණයා සිය රියදුරා සමග චෙල්සී පාළමේ රථවාහන තදබදයට අසුවී සිටී.

ඇමරිකන් වීරයෝ හා අනෙක් හැමෝම පල් මෝඩයෝ යන 1980 ගණන්වල චිත්‍රපට තේමාව යටතේ ඩොලර් මිලියන 60ක් වියදම් කොට තැනූ මෙම දුර්වල චිත්‍රපටය ඩොලර් මිලියන 195ක ආදායම් ලැබීමද පුදුම සහගතය.
__________________________________________________________________________ .  

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

  GOOGLE +   : About Me  .

  FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Recent Posts Widget
----------------------------------------------------------------------------------------------------------

Comments

  1. යකෝ මේ අපි දැන් කරන්නේ හොලිවුඩ් විචාරය කීරීමක් නොවැ..... පට්ට ඈ

    ReplyDelete

Post a Comment