Related Posts Plugin for WordPress, Blogger...

Sunday, 26 June 2016

නිට්ටෑවෝ - ලංකාවේ ජීවත්ව සිට 17වැනි සියවසේ වඳවී ගිය අර්ධමානව ගෝත්‍රය ගැන දන්නවාද?

නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි. 

නිට්ටෑවන් පිලිබඳව මුල්ම සටහන සිදුකොට ඇත්තේ ගායියස් ප්ලිනියස් සෙකුන්ඩස් (රෝම අධිරාජ්‍යයේ ප්ලිනී - ක්‍රි.ව 23 - ක්‍රි.ව 79) විසිනි. ප්ලීනී නිට්ටෑවුන් විස්තර කරන්නේ ලංකාවේ ජීවත් වුනු උසින් අඩු, සිරුර ලෝමවලින් වැසුනු මානව ගෝත්‍රයක් ලෙසටයි. 1914දී ලංකාවේ රාජකීය ආසියාති සංගමයේ නිළ සඟරාවට ඌව හා පානම්පත්තු ප්‍රදේශයේ වැද්දන්ගේ ගතිපැවතුම් හා චාරිත්‍ර පිලිබඳ ලිපියක් සපයන ලුවී ෆ්‍රෙඩරික්, එම වැද්දන් නිට්ටෑවුන් පිලිබඳව කල විස්තරයක් සටහන් කරනවා.

නිට්ටෑවුන් පිලිබඳ කල්පිත ඉදිරිපත්කල විද්වතුන් හා ඔවුන්ගේ කල්පිත සැකෙවින්. මෙම කල්පිත පිලිබඳ සවිස්තරාත්මක සටහන් ලිපියේ ඉතිරි කොටසේ ඇත;

1] බ්‍රිතාන්‍ය ජාතික ගවේශක හියු නෙවිල් (1886/7) - ලංකාවේ නිට්ටෑවුන්, ඉන්දියාවේ කොචින් ප්‍රදේශයේ වසන "නියාදි" ලෙසින් හඳුන්වන වනචාරී ගති ඇති, ඉතා අපිරිසිදු, වානරයින් මෙන් පෙනෙන මිනිස් කොට්ටාසයට නැදෑකම් දක්වයි.

2] මානව විද්‍යාඥ විලියම් චාල්ස් ඔස්මන්-හිල්ස් (1945) - ලංකාවේ නිට්ටෑවුන්, ජාවා දූපතේ තිබී හමුවූ අස්ථි කොටස් අනුව කලින් පිතෙකැන්ත්‍රොපස් ඉරෙක්ටස් මානවයා ලෙස හැඳින්වුනු, අද හෝමෝ ඉරෙක්ටස් ලෙස නම් තබා ඇති මානවයා ගෙන් පැවතුනු ප්‍රාග්-ආදි මානව කොටසක් විය යුතුය.

3] කපිතාන් ඒ.ටී රඹුක්වැල්ල (1963) - ලංකාවේ පුරාවෘත්තමය පිග්මි මිනිසුන් නමින් රාජකීය ආසියාතික සංගමයට ලිපියක් සපයමින්, ඔහු නිට්ටෑවුන් සොයා 1963 මැයි මාසයි මහලේනම ප්‍රදේශයේ සිදුකල ගවේශණයක විස්තර සපයනවා. රඹුක්වැල්ලට අනුව ලංකාවේ නිට්ටෑවුන්, ඔස්ට්‍රෝලෝපීතිකස් නම් අතිශය පෞරාණික දෙපයින් ඇවිදින මානවරූපී වානර ගෝත්‍රවලින් වඳ නොවී ලංකාවේ ශේෂවූවන් බව පවසනවා.

4] ආචාර්ය ආර්.එල් ස්පිටල් (1963) - ආචාර්ය ස්පිටල් කපිතාන් රඹුක්වැල්ලගේ කල්පිතය, විද්‍යාත්මක කළ්පිතයකට වඩා ප්‍රබන්ධයක් මෙන් පෙනෙන බැව් පවසමින් විවේචනය කරන අතර ඔහුට අනුව නිට්ටෑවුන් යනු මානව ගෝත්‍රයක් නොව දැනට වඳවීගොස් ඇති, බිහිසුණු වළසුන් වර්ගයක් වූ "රාහු වළසා" බවයි.

5] නන්දදේව විජේසේකර (1964) - පරිවතනයට බඳුන්වන වැදිජීවිතය මැයින් ලිපියක් පලකරන නන්දදේව විජේසේකරයින් පවසන්නේ නිට්ටෑවුන් යනු ජාවා, සුමාත්‍රා, අන්දමන් දූපත්, පැපුවා නිව්ගිනියා ආදී ආසියාතික දූපත් රටවල්වල තවමත් ජීවත්වන, පුරාතන ලංකාවේද ජීවත්වන්නට ඇති අප්‍රිකානූ නීග්‍රෝ මිනිසුන් ගෝත්‍රයක් බවයි.

1886/7 දී ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳව හියු නෙවිල් විසින් මෙම පුරාවෘත්තමය ජනවර්ගය පිළිබඳව වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන ඉතා සිත්ගන්නා සුළු වාර්තාවක් The Nittaewo of Ceylon – The Taprobanian, (1886) නමින් ඉදිරිපත් කරයි. මෙම ජන කොටසේ අනන්‍යතාව පිළිබඳව තියුණු මතභේදයන් පවතී. මෙහිදී ඇතැමුන් විශ්වාස කරනුයේ නිත්තෑවෝ වනාහී නෙග්රිටෝවරුන්ගේ අවශේෂව ගිය ගෝත‍්‍රයක් බවටය. එසේ ම අනෙකුත් අයවලූන් කියා සිටිනුයේ නිත්තෑවන් වූකලී වානර මානවයෙකු බවයි. එතකදු වුවත් ඇතැම්හු මෙම නිත්තෑවුන් 'රාහු වලසා' යනුවෙන් හඳුන්වනු ලැබු වලසකුට සමාන සදහටම වඳවී ගිය විශේෂයක් ලෙසින් සලකති.

නිත්තෑවුන් වනාහි යාල නැගෙනහිර අතරමැදි කලාපය හා තමන්කඩුව ප‍්‍රදේශය අතරතුර පිහිටා ඇති මහලේනම ආශි‍්‍රතව ජීවත් වූ මිනිස් කොට්ඨාසයක් බව කියනු ලැබේ.

මින් වසර 250කට පමණ පෙර වැද්දන් විසින් මුන් සහමුලින්ම ඝාතනය කොට ඉවත් කරනු ලැබු බව විශ්වාස කෙරෙයි. වැද්දන්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරින් හියු නෙවිල් තම කෘතියේ සඳහන් කරනුයේ, “නිත්තෑවෝ වනාහී ක‍්‍රෑර සහ වනචාරී ගති පැවතුම් සහිත වූ සහ ලේනම ආශි‍්‍රතව කුඩා ප‍්‍රජාවන්ගෙන් යුක්තව ජීවත් වූ කළු පැහැ සමකින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාසයක්” බවය.

ගස් මත සකස් කරන ලද වේදිකා මත, කොල අතුවලින් සෙවිලි කරගත් නිවාසවල ඔවුහු ජීවත් වූහ. ඔවුනට වැදි, සිංහල හෝ දෙමළ බස කථා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ බස වඩාත් සමීප ව තිබුනේ කතරගම වෙත වන්දනාවේ එන වන්දනා කරුවන්ගෙන් ඇතමුන් භාවිතා කළ තෙලිඟු බසටය.

තම සීමාව ආක‍්‍රමණය කරන වැද්දන්ට ඔවුන් පහර දෙන නිසා සෑම වැද්දකුම දඩයමට හෝ පැණි එකතු කිරීමට නිත්තෑවන්ගේ සීමාවට ඇතුල්වීමට බිය වූහ.

හියූ නෙවිල් හට මෙම තොරතුරු සැපයීමට ඉදිරිපත් වූවන්ගේ මුතුන් මිත්තන් විසින් නිත්තෑවුන් සමඟ සටන් කොට අවසානයේදී ඉතිරි වූ නිත්තෑවුන්ගේ ගැහැණුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුලූවා වනසා දැමු බව පවසා ඇත. ඉන් අනතුරුව, නිත්තෑවුන් වඳව ගිය අතර ඔවුන්ගේ දඩයම් බිම් වැද්දන් විසින් අත්පත් කර ගන්නා ලදී.

කොන්ගෝ වනාන්තරයේ වසන පිග්මී නැමති කුරු ආදිවාසීන්
ෆ්‍රෙඞ්රික් ලූවිස් සිලෝන් රාජකීය ආසියාතික සංගමයේ 1914 වසරේ වාර ප‍්‍රකාශනයේ නැගෙනහිර ඌව හා දකුණු පානම්පත්තුව අශි‍්‍රත ව කළ ගවේශණයක සටහන් ඇසුරින් වැදි සිරිත් විරිත් පිළිබඳව වාර්තා කරමින් කියා සිටිනුයේ, නිත්තෑවන් වනාහි අඩි තුනක් පමණ උස ජන කොටසක් බවයි. ඔවුන්ගේ ස්තී‍්‍රන් පිරිමින්ට වඩා උසින් අඩු වූහ. ඔවුන් සෘජු කය විලාසයක් සහිතව ඇවිද ගිය, වලිග රහිත හා සම්පූර්ණයෙන්ම නිරුවත්ව දිවි ගෙවු ජන කොටසක් ලෙසින් ජීවත්ව ඇත. ඔවුන්ගේ බාහු කෙටි වූ අතර ඇඟිලි අද්දර පිහිටි නිය පක්‍ෂි නිය මෙන් ශක්තිමත්ව පිහිටා තිබුණි. ඔවුන් ගස් මත, ගුහා තුළ හා පාෂාණ පැලූම් ආශි‍්‍රතව දිවි ගෙවා ඇති අතර ඔවුන්ගේ භෝජනය සකස් වී තිබුණේ ඔවුන් විසින් දඩයම් කරගත් හාවුන්, ලේනුන් හා ඉබ්බන්ගෙනි. ඔවුන් 10 සිට 20 පමණ වූ කුඩා කණ්ඩායම්වලින් සමන්විත ව තිබු රංචු තුළ ජීවත් වූ අතර ඔවුන්ගේ කතාබහ කුරුල්ලන්ගේ හඬකට සමානව පැවතුනි.

නිත්තෑවන් ජීවත් වූයේ ඊට පරම්පරා දෙකකට පෙර වූ අතර, නිත්තෑවුන් ලෙසින් ඇත්තටම ජීවි පිරිසක් ජීවත්ව සිටියේ නම්, ඔවුන් සහමුලින්ම වඳව යාමට පෙර දහඅටවන සියවසෙහි අවසාන භාගය දක්වා ම ඔවුන් ජීවත්ව සිටින්නට ඇත.

නිත්තෑවුන් පිළිබඳව වන මෙම පුරාවෘත්තය විස්තර කිරිමෙහිලා න්‍යායයන් බොහොමයක් ගෙනහැර දක්වා ඇත. නිදසුනක් ලෙසින් හියු නෙවිල් විශ්වාස කරනුයේ මෙකී ජනවර්ගය රැහෙන් පන්නනු ලැබු, වහලකු හට පවා ස්පර්ශ කිරීමට හෝ සිත් නොදෙන අතිශය අපිරිසිදු, නීච ජන වර්ගයක් වන කොචින්හි නියදිවරුන් හට යම් නෑ සබඳතාවයක් දක්වන බවටය. 

නියදිවරුන්ව විස්තර වනුයේ කුඩා රංචු වශයෙන් නිදැල්ලේ ඇවිදින හා රූස්ස ගස් මත තැනු තුරුලූ කැදලි හෝ පැස් බඳු නිවාස තුළ ජීවත් වන ජන කොටස් වශයෙනි. ඔවුන් ඉබ්බන් හා කිඹුලන් ආහාරයට ගෙන ඇති අතර වසරකට වරක් කුකුලකු බිලි පූජාවට ලක් කර දේවතාවියකට වැඳුම් පිඳුම් කළ බවද සඳහන්ය.

නිත්තෑවුන්ගේ ආහාර පරිභෝජන රටාව, වෘක්‍ෂ මත ඔවුන් ගත කරන ජීවිතය හා ඉබාගාතේ යන ජීවන රටාව මුලික වශයෙන් සලකා බලා නිත්තෑවුන්ව නියදිවරුන් සමඟින් සම්බන්ධ කිරීමට නෙවිල් කරුණු ඉදිරිපත් කළේය. ඔවුන්ගේ සම්භවයට අනුකූලව ඔහු විසින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවුන් වනාහි ලම්බකර්ණ වංශිකයන් විනාශයෙන් හෝ සංක‍්‍රමණයෙන් පසු ඉතිරි වූ ලම්බකර්ණයින් වහලුන් ලෙස තබාගත් පිරිසකගෙන් පැවතෙන්නන් බවයි. කෙසේ වෙතත්, නෙවිල්ගේ මෙම කල්පිතය වඩාත් විතර්කීය වන බැවින් එය ශාස්තී‍්‍රය ගුරුකුලයන් තුළ එතරම්ම පිළිගැනීමකට ලක් ව නොමැත.

මානව විද්‍යාඥ ඔස්මන් හිල් විසින් නිත්තෑවුන් පිළිබඳ තම න්‍යායය 1945 දී පළ කළ ‘නිත්තෑවෝ – ලංකාවේ නොවිසඳු ගැටළුවක්’ ලෙසින් ඉදිරිපත් කර ඇත. එහිදී එම න්‍යාය මගින් ඔහු සාකච්ජා කරනුයේ නිත්තෑවුන් වනාහි ජාවා මිනිසා හෝ පිතෙකැන්ත්‍රෝපස් මානවයාගෙන් වෙන්වු වෙනත් ජීවි විශේෂයක් බවය. ඔහු විශ්වාස කරනුයේ මෙම හුදකලා වානර මානව විශේෂය, මෙවන් අනිකුත් හුදෙකලා වූ ජිවී විශේෂවල බොහෝ විට සිදු වන්නාක් මෙන්, පිග්මි ජන කොටසක් ලෙස වර්ධනය වූ බවටය. කපිතාන් F. T. රඹුක්වැල්ල, ‘නිත්තෑවෝ – ලංකාවේ පුරාවෘත්තමය පිග්මිවරු,’ මැයෙන් යුතුව 1963 දී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ පුවත් කලඹෙහි ලිපියක් පළ කරමින් මෙම වානර – මානව න්‍යාය ශක්තිමත් කරයි.

නිත්තෑවන් වනාහි දකුණු අෆි‍්‍රකාවේදී ශේෂයන් හමුවූ, ආසියාවේ නැගෙනහිර පෙදෙසටද පැතිර ගියේ යයි සැලකෙන ඔස්ට‍්‍රලෝපිතකස් මානව විශේෂයට අයත් ජීවි විශේෂයක් බවට ඔහු විශ්වාස කරයි.

මෙම මානව විශේෂය සාමාන්‍යයෙන් හඳුනා ගැනෙනුයේ සිරුරින් කුඩා, මිනිස් වානරයන්ගේ පෙනුමැති, සෘජු කය විලාසයකට හිමි කම් කියන, දෙපා සංචරණයට හුරු වුවන් ලෙසිනි.

ඔවුන්ගේ දන්ත වින්‍යාසය මානව දන්ත විනාසයට බෙහෙවින්ම අනුරූප වන අතර නූතන මානවයාගේ මෙන් හිස් කබල ආශි‍්‍රතව කපාල නෙරුම් දක්නට නොලැබීම ඔවුන්ගේ ලක්ෂණයකි. මෙම විශේෂයට අයත් ජීවින් තව දුරටත් විස්තර කරනුයේ ඔවුන් වනාහි ගුහා ආශි‍්‍රත ජීවිතයක් ගත කරන, තැනිතලා භූමීවල සංචරණය කරන, කුරුලූ කැදලි අවුස්සන සහ අස්ථි පලා මිදුළු අනුභව කරන, සතුරා පසු පස එලවීමේදී තියුණු හා විනාශකාරී ආයුධ දරන වානරයකු ලෙසට ය.

ඔවුන්ගේ මාංශ ආහාර සඳහා ඉබ්බන්, කටුස්සන්, කකුළුවන් හා කුරුලූ බිත්තර නිබඳව යොදා ගෙන තිබුණි. මේ අනුව කපිතාන් රඹුක්වැල්ල කියා සිටිනුයේ, “එවකට ආසියාව සහ අෆ‍්‍රිකාව පුරා සැරිසැරූ මෙම මානව වානරයන් මුල් මානවයා සමග සමාන්තරව, සුරැකුම සඳහා තරග වදිමින් පරිණාමය වූ බවයි. මෙම තරගයේදී පලවා හරින ලද ඔවුහු මහාද්වීපයේ පරිවාර ප‍්‍රදේශවලට තල්ලූ වී ගියහ.”

මෙකී ඔස්ටෙ‍්‍රලෝපිතකස් මානවයන්ට ඥති සබඳතා දක්වන වෙනත් උප මානව වානර විශේෂ ඉන්දීය උප මහාද්වීපයේ ගැවසෙමින් සිටි අතර මුල් ප්ලයිස්ටෝසීන යුගයේදී පැවැත්ම සඳහා පරිසරය සමග සිදු කළ අරගළයේදී තව තවත් දකුණට සංක‍්‍රමණය වී අනතුරුව එම උප මහාද්වීපයේම කොටසක් වූ ලංකාවට සම්ප‍්‍රාප්ති වී ඇති බවට කපිතාන් රඹුක්වැල්ල තර්ක කරයි.

මෙසේ දිගු දුර ගිය වානර – මානව න්‍යායයන් බොහෝ විවේචනයන්ට ලක්ව තිබේ. පිතකැන්ත්‍රොපස් හා ඔස්ට‍්‍රලොපිතෙකස් ජීවත් වුණේ වසර ලක්ෂ පහකට පෙරාතුව යයි විශ්වාස කරන අතරනූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ගේ සපැමිණීමට බොහෝ කලකට පෙර වඳ වී ගිය බව පෙනේ.

ප‍්‍රකට ගවේෂක වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් විසින් රඹුක්වැල්ලගේ න්‍යායය විවේචනය කරනුයේ (රාජකීය ආසියාතික සමිතිය ප‍්‍රකාශනය, 1963) වඳව ගිය රතු ලෝම සහිත දුඹුරු වලසකු වන රාහු වලසා සමගින් නිත්තෑවන් සරළ ලෙස අනන්‍ය කරමිනි.

නිත්තෑ පුරාවත පිළිබඳ පානම පත්තුවේ සිංහල වැසියන්ගෙන් නෙවිල් (1886) විසින් ලබා ගන්නා ලද විස්තර මත ස්පිට්ල්ගේ ප‍්‍රවාදය පදනම් වෙයි. නිත්තෑවුන්ට, රාහු වලසාට මෙන් විසිරුණු රතු ලෝම හා දිගු නිය ඇතැයි කියනු ලබන පුරාවෘත්තය වැද්දන් අතර තවමත් සුරක්‍ෂිත ව ඇති ප‍්‍රවාදයකට බෙහෙවින් සමානය.

කෙසේ වෙතත් නෙවිල් මෙය වැද්දන්ට ඉදිරිපත් කළ කල්හි වැද්දන් විසින් මෙකී ප‍්‍රවාදය සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදැක්වූ අතරම නිත්තෑවුන්ගේ රතු පැහැ හිස කෙස් සහ දිගු නිය පිළිබඳව විස්තරය අසා වැද්දෝ විමතියෙන් එය හාස්‍යයට ලක් කළහ. ඔවුන් එකවරම කියා සිටියේ සිංහලයන් විසින් දුර්ලභ වලසකු වන රාහු වලසා නම් වූ ලේනම ප‍්‍රදේශයේ සිට දැන් වඳව ගොස් ඇති, අපැහැදිලි කටකතා මඟින් පමණක් දැන ගත හැකි ජීවියකු සමඟින් නිත්තෑවන් පටලවාගෙන ඇති බව යයි නෙවිල් ලියයි.

මෙම වලස් විශේෂය බොහෝ මෑතක් වන තුරු ජීවත් වූ බවට සාක්‍ෂි ඇත. 1885දී නෙවිල් විසින් රචිත තැප්‍රෝබේනියන් නම් වූ ග‍්‍රන්ථයේ සටහන් වනුයේ, රාහු වලහා කලාතුරකින් “මැණික් ගඟ හා කුඹුක්කන් ඔය අතරමැද වූ වනයෙන් පිරි දිස්ති‍්‍රක්කයක” හමුවන බවකි.

1964දී නන්දදේව විජේසේකර සංක‍්‍රමණය වන වැද්දන් පිළිබඳ වූ තම කෘතියකින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවන් යනු නෙග්රිතෝ මිනිසුන් විය හැකි බවය.

විජේසේකර තම න්‍යාය තව දුරටත් පුළුල් කිරිමට වෙර නො දරන්නේ මුත්, එතකුදු වුවත් එය නිශ්චිතවම වාගේ ඊට පෙර නිත්තෑවුන් පිළිබඳව ඉදිරිපත් කළ අනෙකුත් න්‍යායන්ට වඩා තහවුරු කළ හැකි මතයක් වෙයි. නෙග්රිතෝවරු මුළු මහත් දකුණු හා ගිනිකොණදිග ආසියාවේම ජීවත්ව දැන් එම ප‍්‍රදේශවලින් වඳව ගොස් ඇතත්, ඔවුන් තවමත් බෙංගාලි මුහුදු බොක්කේ දකුණු දිගින් පිහිටි අන්දමන් දූපත්වල දැකිය හැක. මෙම ජන වර්ගයේ අනිකුත් සාමාජිකයන් මලයානු අර්ද්වීපයේ සෙමැං හා සුලාවාසීහි 'තොආලා' හි දැකිය හැක.

ඉන්දියාවට අයත් අන්දමන් දූපත්වල වාසය කරන නීග්‍රෝ ආදිවාසී මිනිසුන්
නෙග්රිතෝ ඝනයේ තවත් සාමාජිකයන් පිරිසක් කදාර් හා පුලයියන් ගෝත‍්‍ර වැනි ආදිවාසී දකුණු ඉන්දීය ගෝත‍්‍ර අශි‍්‍රත ව හඳුනාගත හැක. ලාක්ෂණික තද කලූ සමෙහි වර්ණය, මොළොක් හිස කෙස්, පුළුල් හිස, පැතලි නාසය, හා නූස් සිරුරු මඟින් ඔවුන් පහසුවෙන් හඳුනා ගත හැක. ඔවුන්ගේ වැඩුණු පුරුෂයකු සාමාන්‍යයෙන් අඩි හතරයි අගල් හයක් පමණ උස වන අතර, පරිණත ගැහැණු අයකු ඊටත් වඩා උසින් අඩු ය. භූගෝලීය සාධකවල පවත්නා දැඩි සමීපභාවය තුළ දකුණු ඉන්දීය නෙග්රිතෝ ගෝත‍්‍රිකයන්ගේ සංචරණ කණ්ඩායමක් දුර ඈත අතීතයේ දවසකදී ලංකාවට පැමිණීම සිදු නොවිය හැක්කක් නොවේ.

එනමුත් ඔවුන්ගේ සිරුරු හා සම්බන්ධ අස්ථි කොටස් හමු වී නොමැත්තේ මන්දැයි ඇසීම වැදගත් ප‍්‍රශ්නයක් ලෙසින් සැලකිය හැක. ඊට හේතු ලෙසින් දැක්විය හැක්කේ නිත්තෑවන්ගේ වාසභූමිය වූ ලේනම හා තමන්කඩුව ප‍්‍රදේශයන් තවමත් විශාල වශයෙන් ගවේශණයට ලක් කර නොතිබීම බව කිව හැක.

-------------------------------------------------------------------------------------------------------------
උපුටාගැනීම: http://www.elakiri.com/forum/showthread.php?t=1159932

මුල් ලිපියේ නිරවද්‍ය භාවය තහවුරු කරගැනීම හා යාවත්කාලීන කිරීම සඳහා පහත මූලාශ්‍ර උපයෝගීකරගන්නා ලදී

https://en.wikipedia.org/wiki/Nittaewo
http://www.lankalibrary.com/cul/nittevo.htm
http://www.bigfootencounters.com/articles/nittevo.htm
-------------------------------------------------------------------------------------------------------------



__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...