ඔත්තුබලන ඩ්‍රෝන යානා 25කින් ගතහැකි තොරතුරු ලබාදෙන රොබෝ ගුවන්නැව


ඔත්තුබලන ඩ්‍රෝන යානා 25කින් ගතහැකි තොරතුරු ලබාදෙන රොබෝ ගුවන්නැවක් මෑතකදී ඇමරිකාවේදී අත්හදා බැලුනු බව පොපියුලර් මිකැනික්ස් සඟරාව වාර්තාකරනවා. Battle Blimp ලෙස හඳුන්වන මෙම ගුවන් නැව අමෙරිකාවේ නෝත්රොප් ගෘම්මාන් ගගනවිද්‍යා සමාගමේ නිර්මාණයක්. B2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය, F/A 18 සුපර් හෝනට් ප්‍රහාරක යානය, RQ-4 ග්ලෝබල්-හෝක් ඩ්‍රෝන යානය වැනි සුපිරි අවිආයුධ නිර්මාණයේ ප්‍රමුඛයෙකු වන ගෘම්මාන් සමාගම මෙම ගුවන් නැව නිර්මාණය සඳහා ගතකොට ඇත්තේ වසර දෙකකටත් අඩු කාළයක්.


LEMV හෙවත් Long Endurance Multi-Intelligence Vehicle ලෙස මෙය අඩි 300ක් දිගු වන අතර ශක්තිමත් භාවය තහවුරු කිරීම සඳහා යානයේ බඳ ස්ථර තුනකින් නිමවා ඇත. ඩ්‍රෝන යානා මෙන් නොව, අවශ්‍ය නම් මිනිස් නියමුවන් හා නිරීක්ශකයින්ද ගෙනයා හැකි ලෙස නිමවා ඇති මෙයට ඩ්‍රෝන යානා මෙන්ම පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් ගමන් කිරීමටද හැකිය.

පූර්ණ ස්වයංක්‍රීය ක්‍රියාකාරිත්වයෙන් තිබෙනාවිට නොකඩා සති තුනක කාළයක් පොලවට මීටර් 6000ක් (කිලෝමීටර් 6ක්) ඉහල අහසේ එකම ස්ථානයක රැඳෙමින් නිරීක්ශණ හා දත්ත එකතු කිරීමේ කටයුතු වල නිරතවිය හැකිය. LEMV යානාව මගින් එක් ස්ථානයක රැඳෙමින් ආවරණය කරණ භූමි ප්‍රමාණය ආවරණය කිරීමට ඩ්‍රෝන යානා යොදවනවානම්, ඩ්‍රෝන 25ක්වත් එක විට ගුවන් ගත කලයුතු බව ගෘම්මාන් සමාගම පවසයි. ඒ අතින් LEMV යානය අතිශයින්ම කාර්යක්ශමය.


වාතයට වඩා සැහැල්ලු යානා (lighter than air) ගණයට වැටෙන මෙම යානාවේ පාවීම (ඉපිලීම - buoyancy) සිදුවන්නේ එහි බඳෙහි පුරවා ඇති හීලියම් වලිනි. මීට අමතරව අවශ්‍යවූ විට යානය ඉහල, පහල ගැනීම සඳහාත්, ඉදිරියට පියාසර කිරීම සඳහාත් ඩීසල් එන්ජින් සතරකින් බලගැන්වෙන අවරපෙති සතරක් ඇත. පැයට නාවික සැතපුම් 30ක (පැයට කිලෝමීටර් 55) සාමාන්‍ය වේගයකින් පියාසර කල හැකි මෙයට, කෙටි කාල පරාසයක් සඳහා පැයට නාවික සැතපුම් 80ක් (පැයට කිලෝමීටර් 148) දක්වා වේගයෙන් යා හැකිය.

නොනවත්වා අත්ලාන්තික සාගරය තරණය කල හැකි තරමේ දුරක් (කිලෝමීටර් 5500ක්) යාමට අවශ්‍ය ඉන්ධන යානාවේ එක්වරකට ගෙනයා හැකිය. ඩ්‍රෝන යානා මෙන් ගුවන්ගතවී තිබීමට ගමනේ යෙදීම අනවශ්‍ය වීම මෙම යානාවල ඇති තවත් ප්‍රධාන වාසියකි. එබැවින් නොකඩවා 24/7 පුරාවටම යම් ප්‍රදේශයක් නිරීක්ශණය කිරීමේ හැකියාව මෙම යානාවට ඇත.

රේඩාර්, කැමරා, වීඩියෝ කැමරා, රේඩියෝ හා ජංගම දුරකථන සංඥාවලට සවන්දිය හැකි උපකරණ මෙයට ගෙනයා හැකිය. මීට අමතරව ගොඩබිම් හමුදාවල පණිවුඩ හුවමාරු පහසු කිරීමට රේඩියෝ ට්‍රාන්ස්මීටර් හා ඇන්ටෙනා රැගෙන අහසේ රැඳීසිටිය හැකි බැවින් මෙම යානාවලට පාවෙන සන්නිවේදම මධ්‍යස්ථාන ලෙසද ක්‍රියාකල හැකිය.


එපමණක් නොව මෙහි සවිකොට ඇති ඔත්තුබැලීමේ උපාංග සියල්ලම පහසුවෙන් ඉවත්කොට කිලෝග්‍රෑම් 7000ක් (මෙට්‍රික් ටොන් 7ක්), සැතපුම් 3200ක දුරක් ප්‍රවාහනය කිරීමටද මෙම යානයට හැකියාව ඇත. ගොඩ බැස්සවීමට ධාවන පථයක් අනවශ්‍ය ඕනෑම දුශ්කර ප්‍රදේශයකට හෝ යුධ බිමකට භාණ්ඩ විශාල ප්‍රමාණයක් පහසුවෙන් හා අඩු වියදමකින් ගෙනයා හැකිය.

මේ සියල්ලටම අමතරව, මෙම යානයට ප්‍රෙඩේටර් ඩ්‍රෝන යානා ගෙනයන හෙල්ෆයර් වර්ගයේ ලේසර් මගින් ඉලක්කය සොයාගන්නා මිසයිල පද්ධතියද සවිකල හැකි අතර ඒ අනුව මෙම ගුවන් නැව, ගුවන් යුධ නැවක් බවට පරිවර්තනය කර ගැනීමද ඉතා පහසුය.

__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments