Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 23 June 2016

වනජීවී කලාපයක් නැරඹීමට යන ඔබගේ අවධානයට කරුණු කිහිපයක්

__________________________________________________________________________
උපුටාගැනීම - Roar.lk 
පළවූ දිනය - Sun 19 June 2016 10:05 am
ලේඛකයා - Amanda Abeysooriya
_______________________________________________________________________


නිරිතදිග මෝසම් වැසි ඇරඹීමත් සමඟම දිවයින පුරා පැතිර තිබුණු අධික උෂ්ණත්වය මදකින් පහළ ගිහින්. දිවයිනේ සමහර ප්‍රදේශ වලට තවමත් වැසි ලැබෙමින් පවතිනවා. පරිසර උෂ්ණත්වය පහළ යෑමත් සමඟම, දේශීය සංචාරකයින් පාරිසරික සංචාර වල යෙදීමේ නැඹුරුව ඉහළ යෑමක් දක්නට ලැබෙනවා. මෙයිනුත්, යාල, උඩවලව, ගල්ඔය, විල්පත්තුව, හෝර්ටන් තැන්න ආදී ජාතික වනෝද්‍යාන වල සංචාරය කිරීමට දේශීය සංචාරකයා දැඩි කැමැත්තක් දක්වන බව පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි කරුණක්. සාමාන්‍යයෙන් වනජීවී කලාපයක් තුළ පිළිපැදිය යුතුමය යනුවෙන් නිශ්චිත ආචාරධර්ම පද්ධතියක් ඇති අතර, වනජීවී කලාපයක් නිරීක්ෂණය කිරීම සාර්ථකව කරගන්න නම් පිළිපැදිය යුතු හා අවධානය යොමු කළ යුතු විවිධ කරුණු බොහොමයි.

යන්න කලින් දැනගත යුතු දේවල්

ඔබ වනජීවීන් නිරීක්ෂණය සඳහා හෝ, හුදෙක් විනෝදය උදෙසා වනජීවී කලාපයක් නැරඹීමට යන සංචාරකයෙකු වන්නට හැකියි. මේ කුමන අරමුණක් හේතුවෙන් චාරිකාවේ යෙදුනත්, වනජීවී කලාපයක සංචාරයකට යෑමට ප්‍රථමයෙන් එම ප්‍රදේශය පිළිබඳව සුළුවෙන් හෝ දැනුවත් වීම අත්‍යවශ්‍යයි. තමන් යෑමට බලාපොරොත්තු වන ප්‍රදේශය අයත් වන්නේ කුමන පරිපාලන ප්‍රදේශයකටද, දේශගුණ කලාපයකටද, එම වනෝද්‍යානයට ළඟාවිය හැකි මාර්ග මොනවාද, වාසය කරනා සත්ත්ව හා ශාක විශේෂ මොනවාද යන්න පිළිබඳව පූර්ව අවබෝධයක් ලබාගැනීම එම චාරිකාව වඩා සාර්ථක වීමට හේතුවක්.

ලංකාවෙ වනජීවී කලාප අයත් වන පරිපාලන ආයතන දෙකක් තිබෙනවා. මෙයින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ජාතික වනෝද්‍යාන, අභය භූමි, ස්වභාව රක්ෂිත, හා දැඩි රක්ෂිත අයත් වනවා. වන රක්ෂිත පාලනය වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. ඔබ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනජීවී කලාපයකට යන නිරීක්ෂකයෙකු නම්, වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතෙහි අඩංගු කරුණු පිළිබඳව සුළුවෙන් හෝ දැනුවත්ව සිටීම වැදගත්. විවිධ වනෝද්‍යානවල නීති විවිධයි. උදාහරණයක් වශයෙන්, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීමේ දී හැරෙන්නට ලංකාවේ වෙනත් කිසිම ජාතික වනෝද්‍යානයක දී තමන් ගමන්ගන්නා රථවාහන වලින් බැසීම තහනම්. ඔබේ ගමනේ සාර්ථකත්වය හා ඔබේ මෙන්ම කණ්ඩායමේ සිටින අන්ආ අයගේද රක්ෂාව, ඔබ කිසිම ආකාරයක මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතා නොකිරීම මත රඳා පවතිනවා. එම නිසා වනාන්තරයට ඇතුළු වීමට ප්‍රථමව හා වනය තුළ දී මත්ද්‍රව්‍ය හෝ මත්පැන් භාවිතා කිරීමෙන් වැළකී සිටීම ඉතාම වැදගත්.

1) මත් පැන් පානය කර වනෝද්‍යාන වලට ඇතුලුවීමෙන් වලකින්න

2)සිගරට් දැල්වීම නොකරන්න - සිගරට් කොට වනෝද්‍යානය තුල විසි කිරීමෙන් පරිසර දූෂණය මෙන්ම, ලැව් ගිණි ඇතිවීමද සිදුවිය හැකිය.

3) කිසි විටකත් වාහනයෙන් නොබසින්න

ගෙනයා යුතු උපකරණ හා බඩුබාහිරාදිය

වනජීවී කලාපයක් නිරීක්ෂණයට යෑමේ දී අවශ්‍ය වන උපකරණ කීපයක් තිබෙනවා. දුරදක්නය, ක්ෂේත්‍ර සටහන් පොත, පැන්සල, හා කැමරාව මේවායින් වඩාත්ම වැදගත්. ඊට අමතරව තොප්පියක්, හා වතුර බෝතලයක් ගෙනයෑමට අමතක කරන්න එපා.

වනජීවී කලාපවල සංචාරයට යන පිරිස් අතින් සිදුවන විශාලම වරදක් වන්නේ තමන්ගේ චර්යාවන් වනාන්තරයට අනුරූපව සකසා නොගැනීම. බොහොමයක් දෙනා, සමහරවිට මෙය කියවන ඔබත්, නොදැනුවත්කම නිසා සාමාන්‍ය සමාජයේදී ඔබ හැසිරෙන ආකාරයෙන්ම වනයේදීත් හැසිරුනු අයෙක් වෙන්න පුළුවන්. වනජීවී කලාපයක දී නොකළ යුතුම යමක් තමයි ශබ්ද නගා කතාකිරීම, හා ගී ගැයීම. මිනිස් ශබ්ද සතුන්ට නුහුරු නිසා, මිනිස් කටහඬක් ඇසුනු සැනින් සතුන් වනයේ සැඟවී යෑම සිදුවෙනවා. එමෙන්ම, පක්ෂී නාද, හා දිය පහරවල හඬ ආදී වනාන්තර වලට ආවේනික ශබ්ද හඳුනාගැනීමට නිරීක්ෂකයාට ද නොහැකි වෙනවා. එවිට වනජීවී නිරීක්ෂණය නිසියාකාරව සිදුකිරීමට නොහැකි වන බව අමුතුවෙන් කිව යුතු නැහැ.

දීප්තිමත් වර්ණ (කහ, සුදු, රතු, තැඹිලි ) ඇති ඇඳුම් අඳින්න එපා.


එසේම, වනජීවී කලාපයක සංචාරය කරන්නෙකු සැලකිලිමත් විය යුතු තවත් කරුණක් නම්, වනාන්තරයට ගැලපෙන ඇඳුම් පැළදුම් ‍තෝරාගැනීම. අනවශ්‍ය ලෙස වර්ණවත් හෝ කැපී පෙනෙන ඇඳුම් හැඳසිටීමෙන්, නිරීක්ෂකයාගේ අවධානය වනසතුන්ට යොමුවීමට ප්‍රථමව, ඔහු වනසතුන්ගේ සෘජු අවධානයට ලක්වෙනවා. එවිට වනසතුන්ගේ සාමාන්‍ය චර්යා නිරීක්ෂණය ඉතා අපහසු කාර්යයක් වන්නට හැකියි. වනජීවී කලාපයක සංචාරයට යන්නෙකු කොළ, දුඹුරු ආදී වනාන්තරයකදී කැපී නොපෙනෙන වර්ණ සහිත ඇඳුම් භාවිතය මගින්, වනසතුන්ගේ අවධානයට ලක්නොවී තම නිරීක්ෂණ කටයුතු හා ඡායාරූප ගැනීමේ කටයුතු සිදුකරගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම, සුවඳ විලවුන් වර්ග භාවිත නොකිරීමද ඉතා වැදගත්.

ජලාශවලට බසින්නට, දිය නාන්නට උත්සහ කරන්න එපා.

වනජීවී කලාපයක් කියන්නෙ බොහෝකොටම මුවන්, වල් ඌරන්, විවිධ පක්ෂීන් මෙන්ම, අලින්, වලසුන්, දිවියන් ආදී විවිධ සතුන් නිදැල්ලේ හැසිරෙන භූමි ප්‍රදේශයක්. මේ නිසා සංචාරකයින්ට වනසතුන්ගෙනුත්, වනසතුන්ට සංචාරකයින්ගෙනුත් විවිධ අනතුරු සිදුවීමේ අවස්ථා විරල නැහැ. මෙවැනි අවස්ථාවන් අවම කරවාගැනීමට කළ යුතු වැදගත් කාර්යයන් දෙකක් තිබෙනවා. එනම්, හැකි සෑම අවස්ථාවකම තනිව සංචාරයේ නොයෙදීම සහ, මග පෙන්වන්නෙකු (ගයිඩ් කෙනෙක්) සමඟ සංචාරයේ යෙදීමයි.

තනි තනිව සංචාරයේ නොයෙදී, කීපදෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායමක් සමඟ යෑමෙන් වනාන්තරයේ අතරමන් වීම වලක්වාගත හැකියි. එමෙන්ම, සංචාරය සඳහා මග පෙන්වීමට ‍තෝරාගනු ලබන තැනැත්තා අදාල ප්‍රදේශයේ මාර්ග පිළිබඳව හසල දැනුමක් ඇති, සතුන්ගේ චර්යා රටා පිළිබඳව, සතුන් ගැවසෙන ස්ථාන හා වේලාවන් පිළිබඳව මනා අවබෝධයක් ඇත්තෙකු විය යුතුයි. මග පෙන්වන්නෙකු සමඟ යෑමෙන් ඔබේ සංචාරය සාර්ථක කරගැනීමට පමණක් නොව, සිදුවිය හැකි අනතුරු ද අවම කරගැනීමට හැකියි.

වනජීවී කලාපයකට යන සංචාරකයින් නොදන්නා ජලාශවල දිය නෑම කිසිසේත්ම නොකළ යුතු ක්‍රියාවක්. මෙවැනි ජලාශ වල නොපෙනෙන ආවාට, දිය මතුපිටට නොපෙනෙන ගල්කුළු මෙන්ම, දිය සුළි ආදිය ද තිබිය හැකියි. ඇතැමුන් තම මාර්ගෝපදේශකගේ උපදෙස් නොසළකා දිය ඇලි, ගංඟා, දොළ ආදියෙහි දිය නෑමට යෑමෙන් මරණය පවා ළඟාකරගත් අවස්ථා බොහොමයි. එම නිසා මග පෙන්වන්නෙකු ගෙනයෑම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ, ඔහුගේ උපදෙස් වලට සවන්දීම ද සිදුකළ යුතුයි.

සතුනට ලංවන්නට උත්සහ කරන්නට එපා, කෑම දෙන්නට යන්න එපා



වනජීවී නිරීක්ෂකයින් සිදුකරන අවධානම් සහගතම ක්‍රියාවක් නම් සතුන්ට අනවශ්‍ය ලෙස ළඟා වීම. සමනලයින්, බත්කූරන්, කකුළුවන් ආදීන් නීරීක්ෂණයට එම සත්ත්වයාට අනවශ්‍ය ලෙස ළඟා වීම අනතුරු රහිත වුවත්, අලින්, කුළු මීමුන්, සහ වලසුන් ආදී සතුන් නිරීක්ෂණය හෝ ඡායාරූප ගැනීම උදෙසා අනවශ්‍ය ලෙස ළඟාවීම හේතුවෙන් එම සතුන්ගේ පහරදීමට ලක්වීමේ ඉඩකඩ ඉතා ඉහළයි. උදාහරණයක් ලෙස, පැටවුන් සමඟ සිටිනා අලින් සහ වලසුන් ක්ෂණිකව ප්‍රකෝප වීමේ හැකියාව ඉහළ අතර, අලින් වැනි සතුන් රංචු වශයෙන් ගමන්ගන්නා නිසා තත්ත්වය වඩාත් බරපතල වීමට හැකියි. එමෙන්ම, වියළි කලාපීය වනාන්තර වල තෙත් සහිත ප්‍රදේශ ආශ්‍රිතව වාසය කරන කුළු මීමුන් පසුපසින් එලවාවිත් පහරදීමට ප්‍රසිද්ධියක් දරා සිටිනා සතුන් කොට්ඨාශයක්.

පක්ෂි නිරීක්ෂකයින් තමාගේත් තම කණ්ඩායමේත් නිෂ්ශබ්දතාව ‍රැකගැනීම ඉතාම වැදගත්. මෙහිදී, තමා සංචාරය කරනා වනජීවී කලාපයේ වෙසෙන පක්ෂීන් පිළිබඳව මූලික අවබෝධයක් තිබීම වැදගත් අතර, තමා නොදන්නා පක්ෂියෙකු දු‍ටු විට ශරීර හැඩය, ප්‍රමාණය, පියාපත්වල වර්ණ හා හැඩය, හොටයේ ස්වභාවය, පාදවල හැඩය හා වර්ණ, පක්ෂියා නිරීක්ෂණය කළ ප්‍රදේශය, දිනය හා වේලාව සටහන් කරගැනීම මගින්, පක්ෂීන් පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයෙකු හෝ තොරතුරු පොතක් ආධාරයෙන් එම පක්ෂියා හඳුනාගැනීමට පිටිවහලක් ද වනවා.

ගෙනයන සියලු දේ ආපසු ගෙනෙමු

මෙම ලිපිය මෙතෙක් දුරට කියවාගෙන පැමිණි ඔබට දැන් දල අවබෝධයක් තිබෙනවා වනජීවී කලාපයකට පැමිණීමට සූදානම් විය යුතු ආකාරය හා, පැමිණ හැසිරිය යුතු ආකාරය පිළිබඳව. මේ සූදානම් වන්නේ ඔබ එයින් පිටව යා යුතු ආකාරය පිළිබඳව විස්තර කරන්නයි. ඔව්, වනාන්තරයෙන් පිටව යෑමට ප්‍රථමවත් ඔබේ අවධානය යොමුවිය යුතු කරුණු කීපයක් තිබෙනවා.

පළමු කරුණ නම්, ඔබ ගෙනයන පොලිතීන්, හා වීදුරු වැනි නොදිරන අපද්‍රව්‍ය වනය තුළ අතැර දමා නොඒම. බොහොමයක් ජාතික වනෝද්‍යාන, අභය භූමි, හා රක්ෂිත තුළට පොලිතීන් ගෙනයෑම නීතියෙන් තහනම් කර තිබෙන නමුත්, ඇතැම් සංචාරකයින් කෙසේ හෝ යම් පොලිතීන් ප්‍රමාණයක් සඟවා ගෙනයෑමට සමත් වෙනවා. මෙවැනි පොලිතීන් වනය තුළ අතැර දැමීම මගින් සතුන්ගේ ජීවිත වලට සෘජු තර්ජනයක් බවට පත්වෙනවා. පොලිතීන් ආහාරයට ගෙන දිරවාගැනීමට නොහැකිව මියයන මුවන්, ගෝනුන්, සහ අලින් පිළිබඳව ඔබ අසා ඇති. එමෙන්ම පසට යටවන පොලිතීන් මගින් ශාකවල මූල මණ්ඩල වර්ධනයට සෘජුව බලපෑම් එල්ලකරනවා. පොලිතීන් දිරායෑමට වසර 450ක් – 1000ක් අතර කාලයක් ගතවන නිසා, තමා ‍රැගෙන යන පොලිතීන් වනය තුළ අතැර නොදමා ආපසු ‍රැගෙන ඒම කළ යුතුමයි.

එසේම, කිසිම වනෝද්‍යානයකට ගිනිදල්වන ද්‍රව්‍ය ‍‍රැගෙන යෑම නීතියෙන් තහනම්. හෝර්ටන් තැන්න, නකල්ස් ආදී රක්ෂිතවල විටින් විට සිදුවන ගිනිගැනීම් බොහොමයකට වගකිව යුත්තේ ඉවත දමන සිගරට් ‍ෆිල්ටර්ස් ආදියයි. එම නිසා ගිනිපෙට්ටි, ලයිටර, හා සිගරට් ආදිය වනජීවී කලාප තුළට ගෙනයෑම නොකළ යුතුයි.

බොහොමයක් සංචාරකයින් උඩවැඩියා (ඕකිඩ්) ආදී පැළෑටි ඒවායේ අලංකාරය නිසා රහසිගතව ගලවා ඉවත්කරගෙන ඒමට උත්සාහ දරනවා. මෙම පැළෑටි වැඩෙන්නේ ඒවාට ආවේණික දේශගුණ කලාපවල නිසා, ගලවා ඉවත්කරගෙන පැමිණියාට එම පරිසරයෙන් පිට වර්ධනය වන්නේ නෑ. එමෙන්ම, මෙම පැළෑටි ගලවා ඉවත්කිරීම නිසා, ඒවා අදාල පරිසර පද්ධතිවලින් වඳ වී විනාශයට පත්වීමට ද ඉඩකඩ තිබෙනවා. එම නිසා, සංචාරකයින් විසින් කිසිම ආකාරයක ශාක කොටසක් එයට අදාල පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම නොකළ යුතුයි.

පා සටහන් පමණක් තබා එන්න, ඡායාරූප පමණක් ‍රැගෙන එන්න.



__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . 

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR

CONTACT    : terence.arachchi@gmail.com . 

GOOGLE +   : About Me  . 

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...