පිටසක්වලයින් හැඩරුව කෙසේ වේද? ඩිෆයන්ස් රූපවාහිණී කතාමාලාවේ පිටසක්වලයින් හඳුනාගනිමු.







පිටසක්වලයින් යන වචනය ඇසෙන විටම අපට මතක්වෙන්නේ ඉහත රූපවල දකින්නට ලැබෙන විශාල හිසක්, විශාල ඇස්, අළු පාට ගොරහැඩි සමක් හා කෙට්ටු සිරුරක්, කුඩා මුඛයක් ඇති ජීවියෙක්. එහෙත් පිටසක්වලයින්, විශේෂයෙන් බුද්ධිමත් පිටසක්වලයින් සැබැවින්ම කිනම් ස්වරූපයක් ගනීද?

සමහර විද්‍යාඥයින් විශ්වාස කරන ආකාරයට, පෘථිවිය හා සමාන ලක්ශණ ඇති, ජලය අත්‍යාවශ්‍ය, සංකීර්ණ කාබණික අනුදාම මගින් ජීවය ඇතිවූ ග්‍රහලෝකයක හටගන්නා දියුණු බුද්ධිමත් ජීවීන් බොහෝවිට මානව-රූපී (humanoid form) එනම් දෑතක්, දෙපයක්, එක් හිසක්, හිසෙහි ඉදිරිපස ඇස් යුගලක් ඇති, දෙපයින් ඇවිදින (bi-pedal) , තාක්ශණය නිර්මාණය සඳහා සුනම්‍ය ලෙස හැසිරවිය හැකි අත්හා  දෑතේ ඇඟිලි වැනි අනුබද්ධ උපාංග සහිතඇති මොළය වැනි ඉතා දියුණු අවයවයක් භාවිතාකරන මානව-රූපී ස්වරූපයේ ජීවීන් වනු ඇති බවයි.

එම විද්‍යාඥයින් මේ අනාවැකිය කරන්නේ පෘථිවියේ අතිශයන්ම සාර්ථකවී ඇති මානවරූපී ස්වරූපය, වෙනත් ග්‍රහලොවක වුවද ජිවීන් පරිණාමය වීමේදී, එම ස්වභාවයේ ඇති වාසි නිසා බිහිවිය හැකි බවයි. මෙයින් අදහස් කරන්නේ වෙනත් ග්‍රහලොවක ඇතිවිය හැකි දියුණු, බුද්ධිමත් ජීවීන් මානවයින් බව නොවේ, ඔවුන් සමහර විට උරගයින්ගෙන් පරිණාමයවූ හෝ කෘමීන්ගෙන් පරිණාමය වූ දියුණු ජීවින් වන්නට පුලුවන. එහෙත් ඔවුන්ගේ ස්වරූපය මානවරූපී වීමට විශාල සම්භාවිතාවයක් ඇතිබව මේ විද්‍යාඥයින් පවසනවා.



මෑතකදී පිටසක්වල ජීවීන්ගේ පරිණාමය සිදුවිය හැකි ආකාරය පිලිබඳව "The Runes of Evolution" නම්වූ පොතක් පලකල කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සයිමන් කොන්වේ-මොරිස් පවසන ආකාරයට, "convergent evolution" හෙවත් අභිසාරී පරිණාමය පෘථිවිය හා සමාන ඕනෑම ග්‍රහලෝකයක ඇතිවන ජීවය පෘථිවිය මත ජීවියට සමානවීමේ ඉඩකඩ ඇතිකරනවා. පෘථිවියේ වුවද, එකම ආකාරයේ පරිසරවල, සමාන ජීවන අරගල, තර්ජන හා රටාවලට මුහුණදීම සඳහා එකිනෙකට සම්පූරණයෙන්ම වෙනස් ජීවීන් ඉතා සමාන උපක්‍රම යොදා ගන්නවා.

ඒ අනුව, ආලෝක වර්ෂ ගණනාවක් ඈත තාරකාවක් වටා භමණයවන පෘථිවිය හා සමානව ද්‍රව ජලය, ඔක්සිජන්, නයිට්‍රජන් ඇති වායුගෝලයක් ග්‍රහලෝකයක් මත, දියුණු ජීවීන් ඇතිවන්නේ නම්, ඔවුන් මානවරූපී වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා.

Defiance රූපවාහිණී කතාමාලාව

2013 වසරේදී අමෙරිකාවේ SyFy Channel විද්‍යා ප්‍රබන්ධ චැනලය මගින් නිර්මාණය කොට විකාශණය කරන ලද ඩිෆයන්ස් රූපවාහිණී කතාමාලාව පෘථිවියට පැමිණෙන වොල්ටාන් නම් පිටසක්වල ජිවීන් සමූහයක් වටා ගෙතුනු විද්‍යා ප්‍රබන්ධයකි. ශ්‍රී ලංකික රූපවාහිණී ප්‍රේක්ශකයින්ට අත්විඳීමට අවස්ථාවක් නොලැබුණු මෙම අද්විතීය විද්‍යා ප්‍රබන්ධ කතාමාලාව 2015 අගෝස්තු වනතෙක් Season තුනක් දිවගිය, කථාංග 34ක් අඩංගු වෘතාන්තයකි.

















ඩිෆයන්ස් විද්‍යා ප්‍රබන්ධ වෘතාන්තයේ කතාවස්තුව

කතාව ආරම්භවන්නේ වර්තමාන කාලයේය. ශීතනය මගින් කෘත්‍රිම නින්දකට පත්කරන ලද පිටසක්වලයින් ලක්ශ ගණනක් රැගත් ආර්ක් ලෙස හැඳින්වෙන අති විශාල පිටසක්වල යානා ගණනාවක් පෘථිවි කක්ශයට ඇතුලුවේ. වෝටන්ස් ලෙස පොදුවේ තමන්ව හඳුන්වාගන්නා මේ පිටසක්වලයින් සැබැවින්ම එකිනෙකට වෙනස් ගෝත්‍ර කිහිපයකින් සැදුම් ලද්දේය. වෝටන් ලෙස ඔවුන් හඳුන්වන ද්විත්ව සූර්ය (binary star-system) ග්‍රහතාරකා මණ්ඩළයක් වටා භ්‍රමණය වූ සෞරග්‍රහමණ්ඩලයක ග්‍රහලෝක කිහිපයක වෙන වෙනම බිහිව පරිනාමය වූ මෙම බුද්ධිමත් මානවරූපී ජීවීන් සියලුදෙනාම පාහේ ආලෝක වර්ශ ගණනාවක් දුර අභ්‍යවකාශ තරණය කළහැකි තරමට තාක්ශණය දියුණු කරගෙන සිටී.

වසර 5000ක ගමණකින් පසු 2013දී පෘථිවි වායුගෝලයේ දිස්වෙන වෝටන් ජීවීන්ගේ ආර්ක් අභ්‍යවකාශ යානා
මීට වසර 5000කට පෙර මෙම ග්‍රහමණ්ඩලවල සිටි විද්‍යාඥයින් නුදුරු අනාගතයේදීම තවත් තාරකාවක් හා ගැටීම නිසා සිය සෞරග්‍රහමණ්ඩලය විනාශවන බව සොයාගත් අතර ග්‍රහලෝක සියල්ලේම දියුණු ජීවීන් එක්ව ආර්ක් ලෙස හැඳින්වෙන දැවැන්ත අභ්‍යවකාශ යානා නිර්මාණය කොට සිය ග්‍රහලෝකවල ජනයා එම යානාවල ශීතනය කළ නින්දකට (cryogenic sleep) පත්කර ගබඩා කරයි. තමන්ගේ ජනයාට ජීවත්වීමට සුදුසු ග්‍රහලෝකයක් සොයා බැලූ ඔවුන්ගේ අති-සංවේදී දුරේක්ෂ වලට ආලෝක වර්ෂ 60 ඈතින් ඇති පෘථිවිය දිස්වේ.

සිය අධිතාක්ශණික උපකරණ මගින් පෘථිවිය නිරීක්ශණය කල ඔවුන්ට පෘථිවියෙන් කිසිදු ආකාරයක රේඩියෝ තරංගයක් හෝ වෙනත් තාක්ශණික දියුණුවක සේයාවක් හසු නොවන නිසා පෘථිවිය දියුණු ජීවීන් නොමැති ග්‍රහලෝකයක් ලෙස තීරණය කොට සිය වර්ගයා රැගත් යානා පෘථිවිය වෙත එවීමට තීරණය කරයි. වසර 5000ක දිර්ඝ ගමණකින් පසු 2013දී පෘථිවියට පැමිණි වෝටන් ජීවීන්ගේ නායකයින් පෘථිවියේ දියුණු මානවරූපී ශිෂ්ඨාචාරයක් ඇතිවී ඇති බව වටහා ගෙන පෘථිවියේ නායකයින් සමග සිය වැසියන්ට පෘථිවියේ ජීවත්වීමට අවස්ථාව සළසාදෙන ලෙස ඉල්ලීමක් කරයි.

2023 වනතෙක් සාමකාමීව පෘථිවියේ විවිධ ස්ථානවල පිටසක්වල වෝටන් ජීවී ගෝත්‍රවලට කොළණි ඇති කෙරෙන අතර තවත් දස දහස් ගණනක් පෘථිවි කක්ශයේ ඇති යානාවල ශීතන නින්දේ සිටී.

2023දී සාකච්ඡා සඳහා පැමිණි වෝටන් නියෝජිතයෙකු, පිටසක්වලයින්ට පෘථිවියේ නවාතැන් දෙනවාට විරුද්ධ කණ්ඩායම් වල අන්තවාදියෙකු විසින් ඝාතනය කරන ලද අතර වෝටන් ගෝත්‍ර හා මිනිසුන් අතර අවිගැටුම් ඇරඹේ. මෙම අවිගැටුම් "Pale Wars" ලෙස හැඳින්වෙන අතර 2030දී සිදුවන දරුණු ගුවන් ප්‍රහාරයකින් පෘථිවි කක්ශයේ ඇති වෝටන් වරුන්ගේ දැවැන්ත ආර්ක් යානා සියල්ලම විනාශවී පෘථිවියට කඩාවැටේ. මෙම දැවැන්ත යානා කඩාවැටීම නිසා පෘථිවියේ බොහෝ නගර විනාශවන අතර සමහර නගර න්‍යශ්ඨික විකිරණවලින් නැහැවීම නිසා අතහැර දැමේ.

එමන්ම වෝටන් වරුන්ගේ සමහර යානාවල, ග්‍රහලෝකයක ආකෘතිය සම්පූර්ණයෙන්ම වෙනස්කල හැකි දැවැන්ත "terra-forming" යන්ත්‍ර තිබී ඇති අතර පෘථිවිය තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරගැනීම සඳහා ඔවුන් මේවා රැගෙන විත් ඇත. යානා කඩා වැටීමේදී මෙම දැවැන්ත ටෙරාෆෝමින් යන්ත්‍රද පෘථිවියට වැටෙන අතර ඒවායින් සමහරක් ක්‍රියාත්මක වීමෙන් පෘථිවිය සහමුලින්ම වෙනස්වෙයි. ගස්වැල්, කාළගුණය පමණක් සතාසීපාවා පවා අභාවයට යන අතර සමහර සතුන් නොසිතූ විරූලෙස මෙම ටෙරාෆෝමින් යන්ත්‍රවල ක්‍රියාවලියෙන් වේගයෙන් පරිණාමයවී විකෘතිවේ.

2043 වනතෙක්ම වෝටන් හා මිනිස් යුද්ධය සිදුවන අතර දෙපාර්ශවයෙන්ම මිලියන ගණනින් මිය යන අතර ටෙරාෆෝමින් අණතුර නිසා පෘථිවියද සහමුලින්ම වෙනස්ව ගොස් ඇත. ඒ අනුව අවි ගැටුම් නවතා සාමකාමීව පෘථිවියේ ජීවත්වීමට වෝටන් ගෝත්‍ර හා මිනිසුන් එකඟවේ.

ඩිෆයන්ස් ලෙසින් හැඳින්වෙන්නේ, වෝල්ටන් සම්ප්‍රාප්තියට පෙර අමෙරිකාවේ සෙන්ට් ලුවී නගරයයි. මෙම නගරය දැන් ඩිෆයන්ස් ලෙස හැඳින්වෙන අතර මෙම නගරයේ මිනිසුන් හා බොහෝ වෝල්ටන් ගෝත්‍ර සාමකාමීව ජීවත්වීමට මෙන්ම පිටින් නගරයට එන තර්ජන වලදී එකතුව සටන් කිරීමටත් පටන් ගනී.

ඩිෆයන්ස් විද්‍යා ප්‍රබන්ධයේ මානවරූපී පිටසක්වලයින් හඳුනාගනිමු

ජොෂුවා නෝලන් හා ඔහුගේ ඉරැතියන්ට් දියණිය ඉරිසා















මෙම කතාවේ කතානායකයා වන්නේ ජොෂුවා නෝලන් නම් හිටපු විශේෂ බළකා සෙබලෙකි. ඔහු පිටසක්වලයින්ට විරුද්ධව සටන් වැදුනෙකු වන අතර ඉරැතියන්ට් නම් සටන්කාමී පිටසක්වල ගෝත්‍රය හා සිදුවූ සටනකදී ඔවුන් සමූළඝාතනය කිරීමට නෝලන් ඇතුලු පිරිස සමත්වේ. පසුව ඉරැතියන්ට් ජීවීන්ගේ කඳවුර පිරික්සන නෝලන්ට කුඩා ඉරැතියන්ට් බිළිඳියක් හමුවේ. තමන් ඇයගේ දෙමව්පියන් මරාදැමීමට දායකවූ නිසා දැඩි සංවේගයට පත්වන නෝලන්, සෙබළ ජීවිතයෙන් ඉවත්ව ඉරැතියන්ට් බිළිඳිය සිය දියණිය මෙන් හදාගනී. කථාව ආරම්භවනවිට ඉරිසා නම්වූ මානවරූපී ඇය රතට හුරු දුඹුරුපාටපැහැ හිසකෙස් වලින් යුතු සටන්කාමී යුවතියක් බවට පත්වී ඇත. ඇය නෝලන්ට සිය පියාට මෙන් සලකයි.

Irathients - ඉරැතියන්ට්වරුන්  













වෝටන් සෞරග්‍රහමණ්ඩළයේ ඉරැත් නම් ග්‍රහලෝකයේ බිහිවූ ඉරැතියන්ට්වරුන් ශක්තිමත් සටන්කාමී ගෝත්‍රයකි. වෝටන් ගෝත්‍රවලින් වඩාත්ම මානවරූපී වන ඉරැතියන්වරුන් ඉතා බුද්ධිමත් වන අතර ඕනෑම තාක්ශණයක් ඉගැනීමේ හැකියාව ඇත. කෙසේ වෙතත් ස්වභාවධර්මයට ඇළුම්කරන ඉරැතියන්ට්වරුන් නොදියුණු ජීවීන් ලෙස අනෙකුත් වෝටන් ගෝත්‍ර අතර ගැරහීමට පාත්‍රවේ.

Castithans - කැස්ටිතන්වරුන්

















වෝටන් සෞරග්‍රහමණ්ඩළයේ ඩාරිබෝ නම් ග්‍රහලෝකයේ බිහිවූ කැස්ටිතන්වරුන් දැඩි ලෙස කුළවාදය අනුගමනය කරන ධනවතුන් රදළයින් ලෙසත්, දුගීන් ජීවිතාන්තය තෙක් රදළයින්ට බැලැමෙහෙවර කරන වහලුන්වන සමාජ ආකෘතියක් ඇති ගෝත්‍රයකි. කැස්ටිතන්වරයෙකු උපත සිදුවන පවුල ඔහුගේ/ඇයගේ අනාගතය තීරණය කරන අතර ඉන් මිදීමට කිසිවෙකුට නොහැකිය. තීක්ෂ්ණ ඥාණයකින් සපිරි කැස්ටිතන්වරුන් ශූර ව්‍යාපාරිකයින් වන අතර සිය අරමුණු ඉටුකර ගැනීමට ඕනෑම උපක්‍රමයක් යොදාගැනීමට පසුබට නොවෙති. අතිශයින්ම සාම්ප්‍රදායික සමාජක්‍රමයක් අනුගමනය කරති. ඉතා සුදුපැහැති සමකින් හා සුදුපැහැ හිසකෙස් වලින් යුතු කැස්ටිතියන්වරු මානවයින් නොවුවද උතුරු යුරෝපීය නෝර්ඩික් මිනිසුන්ගේ ස්වභාවයක් පෙන්වයි.

Indogenes - ඉන්ඩොජීන්වරුන්


කෘත්‍රිම පෙනුමක් ඇති ඉන්ඩොජීන්වරුන්, වෝටන් ගෝත්‍ර අතරින් අතිශයින්ම විද්‍යා හා තාක්ශණයෙන් දියුනු ගෝත්‍රයයි. විද්‍යාව හා තාක්ශණය ආගමක් ලෙස අදහන ඔවුන් වසර දසදහස් ගණනක ඇවෑමෙන් සිය සිරුරු විවිධ තාක්ශණික උපාංග මගින් වැඩිදියුණු කරගෙන සිටී. සෑම ඉන්ඩොජීන්වරයෙකුම යම් වෘත්තියක් වෙනුවෙන් කැපවන අතර, එම වෘත්තියේ නියැලීමට අවශ්‍ය ලෙස සිය සිරුරට තාක්ශණික උපාංග ඇතුලු කරගනී. ඉන්ඩොජීන්වරුන්ගේ මව් ග්‍රහලෝකය වන්නේ කැස්ටිතන්වරුන්ගේ මව් ග්‍රහලෝකය වන ඩාරිබෝ ග්‍රහලෝකයයි. වෝටන් ගෝත්‍ර භාවිතා කරන බොහෝ තාක්ශණයන් නිර්මාණය කරන ලද්දේ ඉන්ඩොජීන්වරුන් විසිනි.

Omec - ඔමෙක්වරුන්


දම්පැහැ සමකින් හා සුදුපැහැ හිසකෙස්වලින් යුතු ඔමෙක්වරු, වෝටන් සෞරග්‍රමණ්ඩළයේ ඔමෙක් ග්‍රහලෝකයේ බිහිවූ මානවරූපී බුද්ධිමත් ජීවී ගෝත්‍රයකි. වෝටන් සෞරග්‍රහමණ්ඩලයේ අන් සියලුම ගෝත්‍රවලට පෙර තාක්ශණය දියුණුකරගත් ඔමෙක්වරුන් සිරිතක් ලෙස අනෙක් ග්‍රහලෝක ආක්‍රමණය කොට ඒවායේ වැසියන් වහලුන් ලෙස තම ග්‍රහලොවට ගෙනයන නිසා සියලු වෝටන් ගෝත්‍ර එකලෙස ඔමෙක්වරුන්ව පිලිකෙව් කරයි. ඔමෙක්වරුන් පිසාචයින් හා යක්ශයින් ලෙස අනෙකුත් වෝටන් ගෝත්‍ර සළකන අතර ඔමෙක්වරුන්ගේ යානාවලින් එකක් හැරෙන්නට අන් සියල්ලම විනාශවූ නිසා පෘථිවියේ ඔමෙක්වරුන් සිටින්නේ ඉතා ස්වල්පයකි.




__________________________________________________________________________

Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments