Related Posts Plugin for WordPress, Blogger...

Thursday, 23 June 2016

කොළඹත් කන්ද උඩරටත් යා කර ලාංකීය ඉතිහාසයේ පෙර නොවූ විරූ වෙනසක් ඇති කළ ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා

_____________________________________________________________________
උපුටාගැනීම - Roar.lk
පළවූ දිනය -  Tue 31 May 2016 9:00 am
ලේඛකයා - Aysha Maryam Cassim
_______________________________________________________________________
“ලංකාවට පළමුව ඕනෑ කරන්නේ පාරවල් ය. දෙවනුව ඕනෑ කරන්නේත් පාරවල් ය, තෙවනුවත් පාරවල් ය.” – මෙය 1819 දී ශ්‍රි ලංකාවට පැමිණි එවකට ආණ්ඩුකාර දූරය දැරූ එඩ්වඩ් බාන්ස් දිවයින පුරා සංචාරය කිරීමෙන් පසුව පැවසූ කියමනකි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින මාර්ග පද්ධතියේ ආරම්භය බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය දක්වා දිව යන්නකි. කොළඹ නගරය රටේ අනෙකුත් සෑම ප්‍රධාන නගරයක් හා සම්බන්ධ කිරිමේ හා මහනුවර, මුහුදුබඩ ප්‍රදේශ හා යා කිරීමේ පුරෝගාමියා ලෙස සැලකෙන්නේ මෙම ආණ්ඩුකාරවරයා යි. හෝටන්, මේට්ලන්ඩ්, හැව්ලොක් පෙදෙස වැනි කොළඹ බොහෝ මාවත් නම් කර ඇත්තේ එය ගොඩනැගීමට මූලිකත්වය දැරූ බ්‍රිතාන්‍ය ආණ්ඩුරාකරවරයින් සිහිවීම පිණිසයි. බාන්ස් පෙදෙස කියන්නේත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට ගෞරවයක් ලෙස නම් කර ඇති මාර්ගයකි.


යටත් විජිතයක් වූ ලංකාවේ ගමනාගමනයේ නව මංපෙත් විවෘත වූයේ බ්‍රිතාන්‍ය යුගයේදී ය. පෘතුගීසි, ලන්දේසි යුග වලද මෙරට ප්‍රධාන වශයෙන් තිබුණේ වෙරල තීරය ඔස්සේ විහිදුණු මාර්ග ව්‍යුහයකි. 1820 වන විටත් රටේ කිසිදු අශ්ව හෝ ගොන් කරත්තයක්‌ ධාවනය කළ හැකි මාර්ගයක්‌ නගර නොතිබුණි. රට හැම අතටම විහිදුණු විධිමත් මාර්ග පද්ධතියක අවශ්‍යතාව බ්‍රිතාන්‍ය යුගය තෙක් පහල නොවුයේ එකල ලංකාවේ ස්වයංපෝෂිත ආර්ථිකයක් පැවතුණු හෙයිනි. අවශ්‍ය භාණ්ඩ හා සේවාවන් ගමේම නිපදවූ අතර වෙළඳාම පිණිස දීර්ඝ ගමන් වල යෙදීමට අවශ්‍යතාවක් නොතිබුණු අතර එය වැඩි වශයෙන් සිදු නොවුනු දෙයක්ද විය.



එකල කන්ද උඩරට තිබුණේ කරත්ත වලට,අශ්වයින්ට හා පයින් පමණක් ගමන් කල හැකි මට්ටමේ තිබූ ඉතා පටු මාර්ග පමණකි. ඝන කැලෑවලින් වැසුණු හෙල්මළු වලින් වටවුණු උඩරට ට ස්වාභයෙන්ම හිමිවී තිබුණේ ආරක්ෂිත භූගෝලීය පිහිටීමකි. කොළඹ සිට නුවර දක්වා තිබූ දුෂ්කර මාර්ගය 1818 උඩරට කැරැල්ල මර්ධනය කිරිමෙහි ලා මහත් බාධයකයක් වී තිබුණු අතර මෙය මර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට වසර දෙකක් පමණ ගතවුණි.

ආක්‍රමණිකයන්ගෙන් හා පිට දේශක්කාරයින්ගෙන් තම රාජධානිය ආරක්ෂා කරනු පිණිස කන්ද උඩරට රජවරුන් විසින් ඕනෑකමින්ම මහ පාරවල් තැණීමෙන් වැලකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළා. 1817 කැරැල්ලෙන් පසු දැඩි ආරක්ෂාව තහවුරු කරනු පිණිස බලකොටු මගින් රට පාලනය කරන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. නමුත් දිගින් දිගටම බලකොටු ගොඩනැගීමෙන් කිසිදු පලක් නොලැබේ යැයි සිතූ එඩ්වඩ් බාන්ස් ඒ සඳහා ඉවහල් වූ ශ්‍රමය සහ මූල්‍යමය ධනය මං මාවත් ඉදි කිරීම සඳහා යොදා ගැනීමට තීරණය කරනු ලැබුවා. ආර්ථිකමය වශයෙන් වර්ධනයක් බලාපොරොත්තු වීම සඳහාත්, හදිසි වාතාවරණයකදී ඉක්මණින් සේනා යැවිය හැකි ආකාරයට පාරවල් තනන ප්‍රතිපත්තියකට රට පත් කරනු ලැබුවේ එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාය.

කොළඹ-නුවර පාර (A1)

1824 සිට 1831 දක්වා ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ එඩ්වඩ් බාන්ස් විසින් ඉදි කරන්නට යෙදුණු මාර්ග පද්ධතිය රටේ විධිමත් මාර්ග පද්ධතියක් ස්ථාපනය කිරීමෙහිලා ඉවහල් වුණා. මෙම මාර්ග ඉදි කිරීමට ප්‍රධානනම හේතුව වූයේ 1818 ඇති වූ උඩරට කැරැල්ලයි.

මෙය මර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයින්ට වසර දෙකක් පමණ කාලයක් ගතවූ අතර එයට හේතුව වූයේ කොළඹ සිට නුවරට තිබූ දුෂ්කර මාර්ගය නිසාය. ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් මාර්ග තැනීමේ න්‍යාය කරට ගෙන එය ක්‍රියාවට නැංවීමේ ප්‍රධාන වගකීම දරණ ලද්දේ කපිතාන් ඩෝසන් සහ ලුතිනන් තෝමස් ස්කිනර් යන ඉංජිනේරුවරයින් විසින්ය. පාරවල් තැනීම සඳහා ප්‍රධාන වශයෙන් රාජකාරි ක්‍රමයට මිනිස් ශ්‍රමය ලබා ගත් අතර සෑම පුරුෂයෙකුම වසරකට දින 14ක් තම ශ්‍රමය යොදවීමට බැඳී සිටියේය. බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ මුල් වකවානුවේ යුධ හමුදා ඉංජිනේරු අංශය විසින් මාර්ග ඉදිකිරීම කරවන ලැබූ අතර ඔහු ඉදිකිරීම් කර්මාන්තය වෙනුවෙන් 19වන සියවසේ මුල් භාගයේ ආරම්හ කරන ලද Ceylon Pioneer Lascars නම් බල ඇණියේ ශ්‍රමය ලබා ගත්තේය. මෙම කණ්ඩායමේ බහුතරය ඉන්දියන් ජාතියන්ගෙන් සමන්විත වූ අතර බ්‍රිතාන්‍ය හමුදා නිලධාරින් ඔවුන්ව මෙහෙයවන ලදී.

ක්‍රි.ව.1820 දී කොළඹ-නුවර මාර්ගයේ තැනීමේ කටයුතු ආරම්භ කළ අතර එය ඉංග්‍රීසින් විසින් මෙරට තැනූ මුල්ම මහා මාර්ගය ලෙසද ඉතිහාසයට එක්වුණා. පාරේ අන්තිම කොටස වන කඩුගන්නාව දුර්ගය කඳු, හෙල්, දිය දහරා, ගල් පර්වත, වන සතුන්, සර්පයන්, කූඩැල්ලන් ගහණ ප්‍රදේශයක් විය. අතිශය සීරු මාර්ගයක්‌ හරහා විහිදුනු මේ මාර්ගය මුළුමණින්ම ඉදිකිරීම භාරව හිටියේ කැප්ටන් ඩෝසන් නමැති ඉංජිනේරුවාය. කාගේත් ගෞරවයට පාත්‍ර වු තරුණ කපිතාන්වරයකු වු විලියම් ඩෝසන්ගේ දහසකුත් කැපකිරීම් මධ්‍යයේ ඉදිකිරීම් අවසන් වූ කොළඹ-නුරවර මාර්ගය 1832 වසරේදී විවෘත වු නමුත් එම විජයග්‍රාහී අවස්ථාව සියැසින් නැරඹීම සඳහා කපිතාන් විලියම් ඩෝසන් වාසනාවන්ත නොවුණි. මාර්ගය තැනීම් කටයුතු කරගෙන යාමේදී විශාල වශයෙන් නාගයින්ගෙන් හිරිහැර වු බව අසන්නට ඇති අතර මැලේරියා රෝගය වැලඳීමෙන් හෝ නාගයකු දෂ්ට කිරීමෙන් කැප්ටන් ඩෝසන් මරුමුවට පත්වු බව තවත් මුලාශ්‍රයක සඳහන් වේ.

කොළඹ මහනුවර පාරේ පිහිටි කඩුගන්නාවේ ඩෝසන් කුළුණ ඔබ දැක තිබෙනවා වන්නට පුළුවන්. කොළඹ සිට මහනුවර විහිදෙන මාර්ගයේ 62 කණුව අසල පිහිටි මෙම සිහිවටනය කැප්ටන් ඩෝසන්ගේ කැපකිරීම් සිහිවීම පිණිස ඔහුට ගෞරවයක් වශයෙන් ඉදි කරල ලද්දකි. මේ කිට්‌ටුව මහනුවරට පිවිසෙන දොරටුව වූ “ගල විදපු තැන” නම් ගල්පොත්ත හමුවෙයි.
























ලංකාවේ ප්‍රධාන මහාමාර්ග ඉදිකෙරුන කාළවකවානු

  • 1820 – 1825 කොළඹ නුවර මාර්ගය ඉදි කිරීම
  • 1821- කුරුණෑගල නුවර මාර්ගය ඉදි කිරීම
  • 1825- අඹේපුස්ස කුරුණෑගල මාර්ගය ඉදි කිරීම
  • 1827- කුරුණෑගල දඹුල්ල මාර්ගය ඉදි කිරීම
  • 1831- නුවර මාතලේ මාර්ගය ඉදි කිරීම
  • 1832- මාතලේ දඹුල්ල මාර්ගය ඉදි කිරීම

කොළඹ සිට මහනුවර දක්වා වන මහපාරේ වැඩ 1821 දී ආරම්භ කොට බොරලු හෝ ගල් ඇතිරීමට පෙරාතුව 1921දී එය මහජනයා විසින් විවෘත කරන ලදී. මෙම මාර්ගය හරහා ගලා ගිය කැලණි ගඟ, මහ ඔය සහ මහවැලි ගඟ සම්බන්ධ ඉවුරු යා කරන ලද්දේ කොළඹ, තොටලඟ, මාවනැල්ල හා පේරාදෙණිය යන ස්ථානවලදීය.
කොළඹ තොටලඟ යා කෙරුණේ බෝට්ටු පාලමකිනි. මාවනැල්ල අලංකාර පාලමකින් යා කෙරිණි. පෙරාදෙණිය යා කෙරුණේ අඩි 2015ක් දිග තනි ආරුක්කුවකින් යුත් බුරුත ලී පාලමකිනි”
“1821දී ගලගෙදර දුර්ග මාර්ගය හරහා පාරක් තැනවීමෙන් කුරුණෑගල මහනුවරට යා කරන ලදී. 1825 දී අඹේපුස්ස හරහා කොළඹ මහනුවර මාර්ගයට යාවෙන පරිදි කුරුණෑගලට පාරක් තනන ලදී. 1827 දී මේ පාර දඹුල්ල දක්වා දීර්ඝ කරනු ලැවූ අතර 1831 මහනුවර සිට මාතලේ දක්වා පාරක් තනන ලදී. මෙසේ කඩුගන්නාව, ගලගෙදර හා ඇත්ගාල යන දුර්ග මාර්ගයක් ඔස්සේ මහනුවර රාජ්‍යයට තුන් පැත්තකින් ඇතුල් විය හැකි ආකාරයට පාරවල් තනන ලදී.”
වික්ටර් අයිවන් ගේ “අර්බුදයේ අන්දරය” ඇසුරෙනි”
1818 කැරැල්ලෙන් පසුව උඩ-පහත දෙරටේ සහයෝගීතාව බිඳීගොස්‌ තිබුණු නමුත් කොළඹ මහනුවර මාර්ගය තැනිමත් සමඟ උඩරට හා පහතරට එක්සේසත් වන සේ පාලන ක්‍රමයක් ගෙන යෑමට පහසුකම් සැලසුණි. මහා මාර්ග සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස අශ්ව කෝච්චි ප්‍රවාහන සේවයට එකතු වුණි. මීට පෙර ගමනාමනය සඳහා ගැමියන් භාවිතා කළේ බක්‌කි කරත්තත්, තිරික්‌කලත්, බරබාග හා බර කරත්තත්ය. ප්‍රවාහන ඉතිහාසයේ ආරම්හය ලෙස සැලකෙන අශ්ව කෝච්චිය මීට වසර 178 කට පෙර 1832 දී අගනුවරත්, මහනුවරත් අතර ආරම්භ කරන ලද අතර ආසියාකරයේ ප්‍රථම අශ්ව කෝච්චි සේවය ලංකාවේ අශ්ව කෝච්චි සේවය විය.

වතු වගාවේ ආරම්භය සහ ව්‍යාප්තිය

සිවිල් පරිපාලනය හා ආරක්ෂාව විධිමත්ව කරගෙන යාමට අමතරව උඩරට වැවිලි බෝග කොළඹ වරාය කරා ප්‍රවාහනය කරවිම සඳහා මෙම මාර්ග පද්ධතිය බෙහෙවින් උපකාරි වුණි. 1820 දී ආරම්භ කරල ලද මෙම ප්‍රතිපත්තිය කඳුරට වැවිලි කර්මාන්තය විවෘත වීම සඳහා පිටිවහලක් විය.

1815 දී බ්‍රිතාන්‍ය‍යින් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත්කර ගත් පසු ඔවුන්ගේ එක් ප්‍රධාන පරමාර්ථයක් වූයේ වෙළඳ වැවිලි බෝග මඟින් ධනය රැස්කර ගැනීමයි.එම අවධියේ කුරුඳු වැදගත් ව්‍යාපාරික වැවිලි බෝගයක් ලෙස ආර්ථිකයේ ප්‍රධාන තැනක් ගත්තත්, ලන්ඩන් වෙළඳපොලෙහි කුරුඳු මිල ශීඝ්‍රයෙන් පහත බසිමින් තිබූ නිසා වෙනත් ව්‍යාපාරික වැවිල්ලක් කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුවිය. කෝපි කියන්නේ 1830 ගණන් වල යුරෝපයේ ජනප්‍රිය වෙන්න පටන් ගත්ත පානයක්. ඒ අනුව කෝපි වගාවට යෝග්‍ය පසක් හා දේශගුණයක් ඇති මැද කඳුකරයේ ගම්පොළ සිංහපිටිය නමැති අක්කර 400 ක ඉඩමක ජෝර්ජ් බර්ඩ් නම් ඉංග්‍රීසි හමුදා නිළදාරියා විසින් 1823 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට කෝපි වවන ලදී.

ගන්නොරුවේ බාන්ස්‌ගේ කෝපිවත්ත

මුහුදු මට්ටමේ සිට මීටර 300ක උසකින් පිහිටි මේ සශ්‍රීක භූමි භාගය පේරාදෙණිය මල්වත්ත ආසන්නයේ පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ කෝපි වගාව ගම්පොලින් ඇරඹෙන විට 1824 දී සර් එඩ්වර්ඩ් බාන්ස්‌ ආණ්‌ඩුකාරයා විසින් ඔහුගේම පෞද්ගලික කෝපි වගාවක්‌ පේරාදෙණිය උද්භිද උද්‍යානය අසල ගන්නෝරුවේදී ආරම්ඹ කලා. කඳුරට කෝපි වගාවේ සංවර්ධනය සඳහා එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා සිදුකල කර්තව්‍යය මෙහිදී සඳහන් කල යුතුමයි. බටහිර ඉන්දීය දූපත්වල කෝපි නිෂ්පාදනය අඩාලවීම නිසා ශ්‍රී ලංකාව වැනි රටවල කෝපිවලට වැඩි ඉල්ලුමක් ලැබුණා. සාර්ථක වැවිලි ක්‍රම උපයෝගි කරගනිමින් සීඝ්‍රයෙන් ජනප්‍රිය වුණු කෝපි වගාව විශාල ධනස්‌කන්දයක්‌ උපයන මාර්ගයක්‌ බවට පත්ව කර ගැණීමට ඉංග්‍රීසි ජාතිකයින් සමත් උනා.

වතු හිමියන්ට ආනයන හා අපනයන පහසුකම් ඇති කිරීම. තාක්ෂණික පහසුකම් ලබාදීම,වැවිලිකරුවන්ට ණය පහසුකම් ලබාදීම.කෝපි වගාකරුවන්ට බදු සහන සැලසීම වැනි සැලසුම් තුලින් කෝපි වගවේ ප්‍රගතියට බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් සිදුකල මෙහෙවර අති විශිෂ්ටයි. 1869 වන විට ලංකාවේ කෝපි වගාවට අක්කර 170,000 පමණ පැතිර තිබුණත් එම වසරේම මඩොල්සිම ප්‍රදේශයේ කෝපි වගාවට ඇතිවූ දිලීර රෝගයක් නිසා ලංකාවේ කෝපි වගාව සම්පූර්ණයෙන් විනාශයට පත් වුණා.

ලංකාවේ පැරණි කෝපි වත්තක්


එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ බදු ප්‍රතිපත්තිය ඇගයිය යුතු එකකි. දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආනයන වර්ධනය කිරීම ඔහුගේ මූලික පරමාර්ථය විය. කෝපි වගාවට අමතරව කොප්පරා, පොල් තෙල්, පොල් කෙඳි, දුම් කොළ හා ගම්මිරිස් වගාව කෙරෙහි ද විශේෂ අවධානයක් මොහු දක්වන ලදී. අරක්කු වෙළඳාම සඳහා ප්‍රථම වතාවට බලපත්‍රයක් නිකුහ් කෙරුනේද එඩ්වඩ් බාණ්ස් ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම තුළිනි.

යටත් විජීත සමයේදී, වැරදි කරුවන් එල්ලා මරණ වධක භුමියක් ලෙස ද විටක සුසාන භුමියක් ලෙසද ගාලු මුවදොර පිටිය හෙවත් ගෝල් ෆේස් භාවිතා වුණා. තවද මෙම භූමි භාගය 1828 දී මෙරට සිටි ආණ්ඩුකාරවරයා වූ එඩ්වඩ් බාන්ස් විසින් තුරඟ තරඟ පිටියක් ලෙසද යොදා ගෙන තිබෙනවා.

නුවර එළිය

බහුතරයක් දෙනා නුවර එළිය හඳුන්වන්නේ පුංචි එංගලන්තය කියලයි. ඒ කාලේ ඉංග්‍රීසී ආණ්ඩුකාරවරුන් තම සංචාරක නවාතැන් පෙදෙස ලෙස නුවරඑළිය තෝරා ගන්නට ඇත්තේ තම මව් රටට සමාන සෞම්‍ය දේශගුණය හා එහි ගැබ්වූ සුන්දරත්වය නිසා විය හැක. 2015 අගෝස්තු 22 දා මව්බිම පුවත්පතේ පලවූ ලිපියක නුවර එළිය සොයා ගත් සැටි ගැන රසවත් කතාවක් පලවුණා.

“මේ සිදුවීම සිදුවූයේ මීට වසර 180කට පමණ එහා ඈත අතීතයේය. ඒ වන විට ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස පත්ව එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගේ කාලවකවානුවේදීය. මේ සමයේ ඉංග්‍රීසි බලධාරීන්ගේ එක් විනෝදාංශයක් වූයේ සතුන් දඩයමේ යෑමයි. ඒ අතරෙන් අලි ඇතුන් දඩයම් කිරීම මඟින් ඔවුහු මහත් ආස්වාදයක් ලබන්නට පුරුදු වී සිටියහ. මෙදින කවදාදැයි නිශ්චිත ලෙසම සඳහන් වන්නේ නැති මුත් මෙම සිදුවීම වූ වර්ෂය ලෙස ඉතිහාසගත කරුණුවල ලියැවී ඇත්තේ ක්‍රි.ව. 1827 වර්ෂයයි. මෙම වර්ෂයේ එක් දිනක බාන්ස් ආණ්ඩුකාරවරයා යටතේ සිටි ඉංග්‍රීසි නිලධාරීහු කිහිපදෙනෙක් දඩයමේ යන්නට වූහ.

එදින දඩයම් කිරීමට පිටත් වී යම් කාලයක් ගත වූ පසු ඔවුන් පිවිසියේ ලංකාව තුළ මීට පෙර කිසි දිනකත් ඇතුළු නොවූ ඉතා සෞම්‍ය පරිසරයකින් යුතු ප්‍රදේශයක් තුළටයි. පිදුරුතලාගල කන්ද පාමුල පිහිටි මුහුදු මට්ටමින් අඩි 6,000කටත් වඩා උස් වූ මෙම ප්‍රදේශය පිළිබඳ ඉතා සතුටු වූ නිලධාරීහු වහාම මේ බව ආණ්ඩුකාරවරයාට රපෝර්තු කරන්නට වූහ.මේ සිදුවීම අසා ප්‍රීති ප්‍රමෝදයට පත් එඩ්වඩ් බාන්ස් විසින් එම ප්‍රදේශය පරීක්ෂා කරනු ලැබ මුලින්ම එහි යෑම පිණිස මාර්ගයක් තනවන ලදී. ඉන්පසුව කළ කාර්යය වූයේ ඔහුට හා ඔහුගේ සේවකයන්ට සුවසේ විවේකයෙන් සනීප ගැනීම පිණිස නිවාස ආදිය තැනවීමයි. මේ සිදුවීමත් සමඟ එම ප්‍රදේශය පුංචි එංගලන්තය හෙවත් නුවරඑළිය ලෙස ප්‍රචලිත වන්නට වූ අතර එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාට හා ඔහුගේ සේවකයන්ට මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ගරුත්වය හිමි විය”

නුවර එළියේ ග්‍රෑන්ඩ් හෝටලය දෙස් විදෙස් කාගෙත් සිත්ගත් දැකුම්කලු නවාතැන් මන්දිරයක් ලෙස ප්‍රසිද්ධයි. 1800 දශකයේ මැද භාගයේ එවකට ආණ්ඩුකාරවරයා බවට පත්ව සිටි ශ්‍රීමත් එඩ්වඩ් බාන්ස් මෙම හෝටලය තම රාජකාරි නවාතැන ලෙස කලක් භාවිතා කරනු ලැබුවා. බ්‍රිතාන්‍ය පවුම් 8,000 ක් ගෙවා ගොඩ නගන ලද මෙය Barnes Hall ලෙස නම් කෙරුණා.

එඩ්වඩ් බාන්ස්ගේ සංවර්ධන ව්‍යාපෘති වල මූලිකත්වය ගෙන කටයුතුකල මේජර් ස්කිනර් ට අනුව බාන්ස් ආණ්ඩුකාරවරයා කොළඹින් පිට රාජකාරියේ යෙදෙන අවස්ථාවන් වල සුඛෝපභෝගි ජීවිතයක් ගත කිරීමට ඇලුම් කල කෙනෙකි. ප්‍රභූවරුන්, හමුදා නිලධාරින්, දෙස් විදෙස් ආගන්තුකයින්ට උසස් ලෙස සංග්‍රහ කරන්නට ඔහු දැඩි උනන්දුවක් දැක්වූවේය. මහනුවර රැජිණ මන්දිරය, නුවරෑළිය බාන්ස් ශාලාව, ගල්කිස්ස හෝටලය සහ අඹේපුස්ස තානායම මොහු රාජකාරි සමයේ නිල නිවස ලෙස භාවිතා කල ස්ථාන කිහිපයක් ලෙස දැක්විය හැකිය. පිළිමතලාවේ අදිකාරම්වරයා ඉංග්‍රීසින්ගේ ග්‍රහණයට නතුවත්ම මහනුවර ජනාධිපති මන්දිරයට එකල ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වූ එඩ්වඩ් බාන්ස්ගේ ආධිපත්‍යයට පත්විය. බ්‍රිතාන්‍ය පවුම් දහතුන්දහසක් වියදම් කරමින් ඔහු එම මන්දිරය නවීකරණය කල අතර බ්‍රිතාන්‍ය මහ රැජින ඇතුලු ආණ්ඩුකාරවරයා හමුවීමට පැමිණි ප්‍රභූන්ට භෝජන සංග්‍රහ පැවැත්වූයේ මේ නිවසේදීය.

තහනම් කොට තිබූ දළදා පෙරහැර යලි ඇරඹීමට අවසර දුන් බාන්ස් ආණ්ඩුකාර

1818 – 1827 යන කාල වකවානුවේ ඉංග්‍රීසි ආණ්ඩුව දළදා පෙරහර පැවැත්වීම සම්පූර්ණයෙන් ම තහනම් කොට නියෝග පනවා තිබුණි. මෙම කාලයේ දිවයින පුරා දැඩි නියඟයක් පැවැතුණු අතර එසේ වූයේ දළදා පින්කම නොපැවැත්වීම නිසා යන අදහස ගිහි පැවිදි සියලු දනන් අතර මුල් බැසගෙන තිබුණි. භික්ෂුන් වහන්සේලා හා උඩරට නායකයන් විසින් මේ වග එවකට සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා හට දන්වා සිටින ලදී. ඒ අනුව එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් වර්ෂ 1828 මැයි මස 29 දින යෙදුණු වෙසක් පුන් පොහො දින දළදා පෙරහරක් පැවැත්වීමට නිල අවසරය ලබා දුන්නේය.

යටත් විජිත සමයේ සිදුකල අධ්‍යාපන අංශයේ ප්‍රතිසංස්කරණ කෙරෙහි එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා දැක්වූයේ වෙනස් අදහසකි. “අපේ අධ්‍යාපන ක්‍රමයේ ලොකුම ගැටලුව එය පූජ්‍ය පක්ෂයේ අනුබලය යටතේ ක්‍රියාත්වීක වීමයි” එවකට ලංකාවේ පැවති මිෂනාරි පාසල් ඔහු අනුමත කලේ නැහැ. ආගම් කේන්ද්‍ර අධ්‍යාපනයේ මුලික අරමුණ ශිෂ්ට සම්පන්න සමාජයක් බිහි කිරීම නොව ධර්මය ව්‍යාප්ත කිරීම බව ඔහු තරයේ විශ්වාස කලේය.

එවකට සිලෝන් රජය පාලනය කල ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් අතරින් කළමනාකරණ අංශයේ කීර්තියක් ඉසිලූ තීක්ෂණ බුද්ධියකින් හා දුරදක්නා නුවණකින් යුත් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා වසර දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාර තනතුර දැරුවේය. ඔහු තම නිල රාජකාරි සමයේ වගකීමකින් රටේ සෑම දෙපාර්තමේන්තුවකම ප්‍රගතිය සඳහා අසීමිත කැපකිරීමක් සිදු කලේය. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා රටින් පිටව යන විට රජයේ බ්‍රිතාන්‍ය පවුම් 73,615ක අතිරික්තයක් තිබුණි.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...