SpaceX, Tesla Motors තරුණ ප්‍රකෝටිපතියෙකුගේ අධිතාක්ශණික සිහින | High-tech dreams of a young billionaire


අප මේ කතාකරන තරුණ ප්‍රකෝටිපතියා නමින් ඉලොන් මස්ක් (Elon Musk) නැමැතිය. දැනට 42වැනි වියෙහි පසුවන ඔහු උපතින් දකුණු අප්‍රිකාණුවෙකි. වයස 18 පිරුණු දකුණු අප්‍රිකාණු සුදු තරුණයින්ට හමුදාසේවය අනිවාර්ය වන අතර එකල  ආපාතෙයිඩ් නම් වර්ණ්බේධවාදී ප්‍රතිපත්තිය අනුගමණය කල දකුණු අප්‍රිකාවේ පාළකයින් මෙන්ම හමුදාවද සුදු ජාතිකයින්ගෙන් පමණක් සැදුම්ලදී. හමුදාවට බැඳී කළු ජාතිකයින් මර්ධණය කිරීමට අකමැති වූ ඊලොන් කැනඩාවට සංක්‍රමණය වූ අතර 1992දී අමෙරිකාවේ පදිංචියට පැමිණියේය.

1999දී x.com නැමති අන්තර්ජාල මූල්‍ය හා ගෙවුම් පහසුකම් සපයන සමාගමක් ආරම්භ කල ඔහු පසුව එය තවත් සමාගමක් හා බද්ධකොට සුප්‍රකට PayPal නම් ගෙවුම් සමාගම පිහිටුවා එහි සම නිර්මාතෲ ලෙස ගෞරවයට පාත්‍රවිය. 2002 වසරේදී පේ-පෑල් සමාගම ඊ-බේ (eBay) සමාගම මගින් ඩොලර් බිලියන 1.5කට මිළදීගන්නා ලද අතර පේ-පෑල් සමාගමේ විශාලම කොටස් කරුවාවූ ඊලෝන් එම ගණුදෙනුවෙන් ප්‍රකෝටිපතියෙකු බවට පත්විය.

 කුඩා කාලයේදී විද්‍යා ප්‍රබන්ධ ඉමහත් ආශාවෙන් කියවූ ඊලෝන්, අයිසැක් ඇසිමොෆ්ගේ "Foundation series" නම් විද්‍යා ප්‍රබන්ධ පෙල ඔහු වඩාත්ම ඇලුම්කල විද්‍යා ප්‍රබන්ධ මාළාව බව පවසෙනවා.

ඊලෝන් පවසන ආකාරයට මිනිස් වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහා හැකි ඉක්මණින් අභ්‍යවකාශය ජනාවාස කලයුතු වනවා. අයාලයේ යන ග්‍රහකයක් හෝ සුපිරි ගිණිකන්දක් මගින් ඩයිනෝසරයින් මෙන්ම මිනිසාද අභාවයට යා හැකියි. එමෙන්ම පසුගිය දශක හයතුල මිනිසා ලබා ඇති දැවැන්ත තාක්ශණික දියුණුවද මිනිසාගේ විනාශය උදාකරන්නට ඉඩ තිබෙනවා. ඊට උදාහරණ ලෙස ඊලෝන් පවසන්නේ කෘතිමව නිර්මාණය කරන ලද සුපිරි වෛරසයක් (යුධමය කටයුතු සඳහා) විද්‍යාගාරයෙන් නිදහස්වීමෙන්, වැරදීගිය විද්‍යාත්මක පර්යේෂණයක් හේතුවෙන් විද්‍යාගාරයක බිහිවන ක්ශුද්‍ර කළු-කුහරයක් (micro black hole) මගින්ද පෘථිවිය විනාශවී යා හැකියි, එමෙන්ම තවමත් නිර්මාණය කොට නොමැති, එහෙත් නුදුරු අනාගතයේ එලිදකින තාක්ශණයක් මගින්ද මිනිස් වර්ගයා විනාශවී යාහැකියි.

ඊලෝන් පවසන ආකාරයට ඔහුගේ අධිතාක්ශණික සිහින මිනිස් වර්ගයාගේ අනාගත ආරක්ශාව පිනිසත්, පෘථිවියේ ආරක්ශාව පිණිසත් අවශ්‍ය තාක්ශණය නිර්මාණය කිරීමයි.

SpaceX : අභ්‍යවකාශ ගවේශණය පෞද්ගලික අංශයට ගෙනයාම

පේ-පෑල් සමාගම විකුණාදැමූ පසු අලුත් වැඩකට අතගැසූ ඊලෝන් 2002 වසරේදී SpaceX නම් සමාගමක් ආරම්භ කලේය. එහි අරමුණ වූයේ අමෙරිකා එක්සත් ජනපදයේ නාසා ආයතනය, හමුදා හා වෙනත් පෞද්ගලික සමාගම් සඳහා අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කිරීමයි. එවකට අමෙරිකාවේ රොකට්ටු නිර්මාණයේ ඒකාධිකාරය නාසා ආයතනයට තිබූ අතර නාසා ආයතනය අධික මුදලක් වියදම් කර නිර්මාණය රොකට්ටුවලට වඩා අඩු පිරිවැයකින් රොකට්ටු නිර්මාණය කොට අභ්‍යවකාශ තරණයේ බරපැණ අඩුකිරීමට පෞද්ගලික ව්‍යවසායකයෙකු වූ තමාට හැකි බව ඔහු ප්‍රකාශ කලේය.

මෙය ඇසූ බොහෝ දෙනෙකු ඊලෝන් දවල් සිහින මවනවා යයි කියමින් සිනාසුනේ අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කිරීම සඳහා යන දැවැන්ත ආයෝජන හා තාක්ශණික කුසලතා අමෙරිකාව, යුරෝපා සංගමය, රුසියාව, චීනය, ජපානය, ඉන්දියාව වැනි රටවල් අතලොස්සක රාජ්‍ය අභ්‍යවකාශ ආයතන සතුව පමණක් රැඳි නිසාය. දැනටත් විශ්වාසවන්ත භාවයකින් රොකට්ටු ගුවන්ගත කලහැකි තාක්ශණයන් වැඩිදියුණු කොට ඇත්තේ අමෙරිකාව, රුසියාව හා චීනය පමණකි. ඉහත ලැස්යිතුවේ අනෙකුත් රටවල් අභ්‍යවකාශ රොකට්ටු නිර්මාණය කොට ගුවන්ගත කොට ඇතත් ඒවා අතලොස්සකට සීමා වී ඇත. යුරෝපා සංගමයේ අරියාන් රොකට්ටුව පවා විශාල තාක්ශණික ගැටලු ගණනාවකට මුහුණදෙමින් තිබේ. එහි පියාසැරි බොහෝ ප්‍රමාණයක් අසාර්ථකවී ඇත.

ඊලොන් මස්ක් සිය SpaceX සමාගමේ නිර්මාණයක් වන Falcon 9 අධිබල රොකට්ටුව සමග




එහෙත් අශුභවාදීන්ගේ කෙනෙහිලි වලට පයින් ගැසූ ඊලෝන් සිය ධනය වැයකොට නාසා ආයතනය හා එහි කොන්ත්‍රාත්කාර සමාගම් වලින් විශ්‍රාම ගිය/නොගිය අති දක්ශ ඉන්ජිනේරුවන් හා විද්‍යාඥයින් රැසක් සිය සමාගමට බඳවාගෙන වැඩ ආරම්භ කලේය.

2006දී ඊලෝන්ගේ ස්පේස්-එක්ස් සමාගම සිය මුල්ම රොකට්ටුව වූ ෆෝල්කන් 1 රොකට්ටුව සාර්ථකව අත්හදා බැලුවේය. ස්පෙස්-එක්ස් සමාගමේ ප්‍රගතිය කෙරෙහි පැහැදුනු නාසා ආයතනය 2008දී ස්පේස්-එක්ස් සමාගමට ඩොලර් බිලියන 1.6ක කොන්ත්‍රාතුවක් ලබාදුන්නේ 2011 වසරේදී ඔවුන්ගේ අභ්‍යවකාශ ශටල් යානා විශ්‍රාම ගැන්වීමෙන් පසු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අමෙරිකානු  ගගනගාමීන් හට අවශ්‍ය ආහාර හා වෙනත් සැපයුම් ගෙනයාම සඳහාය. 2012දී ස්පේස්-එක්ස් සමාගමේ ෆෝල්කන් 9 අධිබල රොකට්ටුව, ඩ්‍රැගන් නම් අභ්‍යවකාශ යානයද රැගෙන අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සම්බන්ධවූ අතර, මෙය පෞද්ගලික සමාගමක් නිර්මාණය කල අභ්‍යවකාශ යානයක් සාර්තකව කක්ශගතවී අන්තර්ජාතික අභ්‍ය්වකාශ මධ්‍යස්ථානය හා සම්බන්ධවුනු ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසගත වුනා.

චන්ද්‍රිකාවක් කක්ශගත කිරීමෙන් පසු නැවත පොලොවට ගොඩබසින ස්පේස් එක්ස් ෆැල්කන් 9 රොකට්ටුවක්
මේවන විට නාසා ආයතනය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහණය ස්පේස්-එක්ස් සමාගමට භාරදී ඇතත් අමෙරිකානු ගගනගාමීන් ගෙනයාම සඳහා දැනට රුසියානුවන්ගේ වොස්ටොක් රොකට්ටුව හා සෝයුස් අභ්‍යවකාශ යානය භාවිතා කරයි. එහෙත් ස්පේස්-එක්ස් සමාගමට අමෙරිකානු අභ්‍යවකාශගාමීන් ගෙනයාහැකි අභ්‍යවකාශ යානයක් නිර්මාණය කිරීමේ වගකීමද නාසා ආයතනය ලබාදී ඇති අතර 2015දී මෙම මිනිසුන් සහිත අභ්‍යවකාශ යානය ගුවන්ගතවීම සඳහා සූදානම් කෙරේ.


නැවත - නැවත භාවිතයට ගත හැකි රොකට්ටු  නිපදවීමේ ඊලෝන්ගේ සිහිනයද සැබෑවෙයි !

සිය Falcon 9 රොකට් යානයක් ෆ්ලොරිඩා සයුර මත මත ගමන් කරන ස්වයංක්‍රියව මෙහෙයවෙන අභ්‍යවකාශ තොටුපොල නෞකාව (autonomous space port drone ship) මතට සාර්ථකව ගොඩ බස්වනු ලැබූ බව එක්සත් ජනපද 'ස්පේස් එක්ස්'(SpaceX) සමාගම පවසයි. Space X අභ්‍යවකාශ සමාගම රොකට් යානයක් සයුර මතට ගොඩ බැස්සවීමට ගනු ලැබූ උත්සාහයන් හතරක් මීට ඉහතදී ව්‍යර්ථ විය.

Space X Floating Space Port
'ෆැල්කන් නයින්'(Falcon Nine) රොකට් යානය සයුර මත ඉදි කළ වේදිකාව මතට සිරස් අතට ගොඩ බැස්සවීමට සමත් වීමත් සමග මෙහෙයුම් පාලකයෝ ප්‍රීති ඝෝෂා නැගූහ. රොකටය යළි පෘථිවිය කරා ළඟා වූයේ සැපයුම් භාණ්ඩ තොගයක් සහිත Dragon උප යානය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් මුදා හැරීමෙන් අනතුරුවයි. ඉහත කී Dragon 9 යානය පෘථිවිය වෙත ඉරිදා ළඟා වීමට නියමිතයි.

ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් අභ්‍යවකාශ යානය හා ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක්. 
සෑම ගුවන්ගත කිරීමකදීම විනාශවීයන රොකට් යානා නිශ්පාදනය සඳහා ඩොලර් මිලියන සියගණනක් වැයවේ. ඒ අනුව අභ්‍යවකාශයට යැවෙන සෑම කිලෝග්‍රෑමයක බරක් (payload) සඳහා ඩොලර් 100,000ක පමණ මුදලක් වැයවේ.

මේ අධික පිරිවැය අඩුකරගැනීම සඳහා නැවත නැවත භාවිතාකල හැකි අභ්‍යවකාශ යානා නිර්මාණය සඳහා විවිධ උත්සහයන් 1960 ගණන්වල සිටම අමෙරිකා එකසත් ජනපදය හා සෝවියට් දේශය දරන ලදී.  නාසා ආයතනයේ ස්පෙස් ෂටල් යානා ව්‍යාපෘතිය ලොව වැඩිම සාර්ථකත්වයක් තිබූ නැවත ප්‍රයෝජනයට ගත හැකි අභ්‍යවකාශ යානා ව්‍යාපෘතියයි.

කෙසේවෙතත් ශට්ල් යානාවක් ගුවන් ගත කිරීමටද අධික පිරිවැයක් දරන්නට සිදුවූ අතර මිනිසා විසින් මෙතක් නිර්මාණය කරන ලද සංකීර්ණම යන්ත්‍ර ලෙස සැළකුණ ශටල් යානා වල ආරක්ශිත භාවය පිලිබඳවද විවිධ ගැටලු තිබුණි. 1986 ජනවාරියේ චැලෙන්ජර් ශටල් යානය ගුවන්ගතවීමේදී බූස්ටර් රොකටයක ඇතිවූ දෝෂයක් නිසා පුපුරා විනාශවිය. 2003 පෙබරවාරියේ කොලම්බියා ෂටල් යානය අභ්‍යවකාශ මෙහෙයුමක් නිමකොට ආපසු පෘථිවි වායුගෝලයට ඇතුලුවීමේදී විනාශවී ගියේය. ඒ අනුව අමෙරිකානු රජය ෂටල් ව්‍යාපෘතිය නවතාදමන්නට තීරණය කලේය.

සෝවියට් දේශයද බූරාන් නම් අභ්‍යවකාශ ෂටලයක් 1988දී සාර්ථකව ගුවන්ගත කලමුත් විවිධ තාක්ශණික ගැටලු හා සෝවියට් දේශයේ එකල ඇතිව තිබූ දැවැන්ත ආර්ථික පරිහාණිය හේතුකොට ගෙන අතහැර දැමින.

වසර 2000න් පසුව අමෙරිකාවේ පෞද්ගලික සමාගම් රැසක් අභ්‍යවකාශ යානා නිර්මාණය කිරීමට පටන්ගත් අතර ස්පේස් එක්ස්, යුනයිටඩ් ලෝන්ච් ඇලයන්ස් (United Launch Alliance) වැනි පෞද්ගලික සමාගම් නාසා ආයතනය සමග ගිවිසුම් ගතවී අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට භාණ්ඩ ප්‍රවාහණය භාරගෙන ඇත. මීට අමතරව ප්‍රකෝටිපති රිචර්ඩ් බ්‍රැන්සන් අභ්‍යවකාෂයට සංචාරකයින් ගෙනයාම සඳහා යානයක් අත්හදාබලමින් සිටී. ඇමසන් සමාගමේ (Amazon.com) ජෙෆ් බෙසෝස්ගේ බ්ලූ ඔරිජින් නම් සමාගමක්ද නැවත නැවත භාවිතකල හැකි රොකට් යානා නිර්මාණයේ යෙදී සිටී.

මේ සියලුම ව්‍යායාම වල අරමුණ අභ්‍යවකාශයට භාණ්ඩ හෝ ගගනගාමීන් ගෙනයාමේදී දැනට වැයවන අධික පිරිවැය 80%කින් පමණ අඩුකර ගැනීමයි.

Falcon 9 Rocket with Dragon Cargo Ship - Launch




Landing Approach of Falcon 9

 



Landing - Close-up










ස්පේස් එක්ස් සමාගම තුන්වැනි වරටත් සිය ෆැල්කන් 9 රොකට්ටුවක් අත්ලාන්තික් සාගරයේ ඇති පාවෙන පර්යන්තයක් මතට සාර්ථකව ගොඩබස්සන්නට සමත්වූවා. මෙවර ස්පේස් එක්ස් ෆැල්කන් 9 රොකට්ටුව උඩුගුවනට ගියේ තායිලනතයේ චන්ද්‍රිකා සන්නිවේදන සමාගමක් වන තායිකොම් සමාගම වෙනුවෙන් තායිකොම් 8 සන්නිවේදන චන්ද්‍රිකාව පෘථිවියට කිලෝමීටර් 35,786 ඈතින් කක්ශයේ රැඳවීම සඳහාය.

එම චන්ද්‍රිකාව සාර්ථකව කක්ශයේ රැඳවූ ෆැල්කන් 9 රොකට්ටුව, ස්පේස් එක්ස් සමාගමට අයත් රොබෝ නියමුවෙකු මගින් මෙහෙයවන පාවෙන පර්යන්තය මතට ගොඩ බැස්සුවා. ස්පේස් එක්ස් autonomous spaceport drone ship ලෙස හඳුන්වන මෙම පාවෙන රොකට් ගොඩබැස්වීමේ පර්යන්ත දෙකක් තිබෙනවා. මෙම රොකට්ටුව ගොඩ බැස්වූයේ අත්ලන්තික් සාගරයේ ස්ථානගත කල ඩ්‍රෝන පර්යන්තයටයි. මෙය "Of Course I Still Love You" ලෙස නම් කොට ඇති අතර  අනෙක් ඩ්‍රෝන පර්යන්තය "Just Read The Instructions" ලෙස නම් කොට ඇති අතර එය පැසිෆික් සාගරයේ සිදුවන රොකට් ගොඩබැස්වීමකදී භාවිතා කිරීමට අමෙරිකාවේ පැසිෆික් වෙරළේ ස්ථානගත කොට තිබෙනවා.

අත්ලාන්තික් සාගරයේ ගමන්කරන "ඔෆ් කෝස් අයි ස්ටිල් ලව් යූ" ඩ්‍රෝන පර්යන්තය.
පැසිෆික් සාගරයේ තොටුපොලක නැංගුරම් ලා තිබෙන "ජස්ට් රීඩ් ද ඉන්ස්ට්‍රක්ෂන්ස්" ඩ්‍රෝන පර්යන්තය.

මෙම ඩ්‍රෝන පර්යන්ත දෙකට ලබාදී ඇති අසාමාන්‍ය නම් දෙක, ස්පේස් එක්ස් සමාගමේ නිර්මාතෲ ඊලෝන් මස්ක් විසින් ඔහුගේ ජනප්‍රියම විද්‍යා ප්‍රබන්ද රචකයා වන ස්කොට්ලන්ත ජාතික ඉයෙන් බෑන්ක්ස් හට ගෞරවයක් ලෙසයි. "ජස්ට් රීඩ් ද ඉන්ස්ට්‍රක්ෂන්ස්" හා "ඔෆ් කෝස් අයි ස්ටිල් ලව් යූ" යනු ඉයෙන් බෑන්ක්ස් විසින් රචිත "The Player of Games" නම් විද්‍යා ප්‍රබන්ධයේ විස්තර කෙරෙන අති විශාල අභ්‍යවකාශ යානා දෙකකි.


Tesla Motors : සුපිරි ඉලෙක්ට්‍රික් කාරයක් නිර්මාණය කිරීම

ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා මෝටර්ස් සමාගම නිර්මාණය කල ටෙස්ලා මොඩල් S සුපිරි ඉලෙක්ට්‍රික් කාරය

2002 වසරේදී ස්පේස්-එක්ස් සමාගම ආරම්භකල ඊලෝන් 2003 වසරේදී තවත් අලුත් කර්තව්‍යයකට අත ගැසුවේය. ඒ කුඩා අවදියේ සිට ඔහුගේ සිහිනයක්ව තිබූ විදුලියෙන් දුවන, පරිසරය දූශණය නොකරන මෝටර් රථ නිපදවා ජනප්‍රිය කරවීමේ සිහිනයයි. තවත් සහෘදයින් කිහිපදෙනෙකු සමග විදුලි කාරයක් නිපදවීමේ සමාගමක් ආරම්භ කොට එහි ප්‍රධාන ආයෝජකයා වූ ඊලෝන්, එම සමාගමට "ටෙස්ලා" යනුවෙන් නම් තැබුවේය.

සමාගමට ටෙස්ලා ලෙස නම් තැබුවේ විදුලිබල තාක්ශණයේ විප්ලවීය වෙනස්කම් සිදුකරමින් පොදු මහජනයාට විදුලි බලයෙන් ප්‍රයෝජන ගත හැකි ආකාරයට තාක්ශණය දියුණු කල "නිකොලා ටෙස්ලා" නම් භෞතික විද්‍යාඥයා හා නව නිර්මාපකයා සිහිවීම සඳහාය.

නිකොලා ටෙස්ලා 1856 වසරේදී සර්බියාවේ උපත ලැබ පසුව අමෙරිකාවේ පුරවැසිභාවය ලැබූ විද්‍යාඥයෙකි. නිකොලා ටෙස්ලාගේ ප්‍රධානතම නිර්මාණයන් වන්නේ ප්‍රත්‍යාවර්තන ධාරා ප්‍රේරණ විදුලි මෝටරය (alternating current induction motor ) හා ප්‍රත්‍යාවර්තන ධාරා විදුලි ට්‍රාන්ස්ෆෝමරයයි. ඒ අනුව අද විදුලි පංකාවේ සිට සියලුම විදුලි උපකරණවල අඩංගු විදුලි මෝටරයේ නිර්මාතෘවරයා වන්නේ නිකොලා ටෙස්ලාය. එමෙන්ම ලොව පුරා විදුලි බල සම්ප්‍රේශණය ප්‍රායෝගිකව ව්‍යාප්තවන්නට පටන්ගත්තේ නිකොලා ටෙස්ලා නිර්මාණය කල විදුලි ට්‍රාන්ස්ෆෝමරය හේතුවෙනි. ඒ අනුව නිකොලා ටෙස්ලා යනු නූතන විදුලිබල තාක්ශණයේ පියා ලෙස සැලකිය හැකිය.

2003 සමාගමක් ලෙස ලියාපදිංචි කල ටෙල්සා සමාගමේ නිර්මාතෲවරුන් වන්නේ මාටින් ඊබර්හාර්ඩ් හා මාර්ක් ටාපෙනින්ං යන දෙදෙනායි. ඔවුන් ඇතුලු ආයෝජකයින් පිරිස සිය විදුලි කාර් සමාගම "ටෙස්ලා" ලෙස නම්කලේ මෙම මහා ප්‍රාඥයාට ගරු කිරීමක් පිණිසය. ඊලෝන් මස්ක් ටෙස්ලා සමාගමට එක්වන්නේ එහි පළමු ආයෝජකයෙකු ලෙස 2004 වසරේදීයි. ටෙස්ලාහි විශාල මුදලක් ආයෝජනය කල ඊලෝන් සමාගමේ සභාපතිවරයා ලෙස පත්වනවා. සමාගම ආරම්භකල මාටින් ඊබර්හාර්ඩ් හා මාර්ක් ටාපෙනින්ං 2008 වසරේදී සමාගමේ සියලු තනතුරු වලින් ඉල්ලා අස්වෙනවා.

Tesla Roadster

2003 වසරේ සිට වසර 5ක පර්යේෂණ හා සංවර්ධන වෑයමකින් පසුව 2008 වසරේදී ටෙස්ලා මෝටර්ස් සමාගම ටෙස්ලා රෝඩ්ස්ටර් නම් පූර්ණ වශයෙන් විදුලියෙන් ගමන් කරන අධිවේගී කාරයක් හඳුන්වා දුනි. පරිසර හිතකාමීලෙස අධිවේගී ධාවනයට ප්‍රිකරන ධනවත් අධිවේග ලෝලීන් සඳහා නිර්මාණය කර ඇති මෙයට එක්වරක් බැටරි ආරෝපණය කරගත්විට කිලෝමීටර් 390ක දුරක් ධාවනය කල හැකිය. එමෙන්ම තත්පර 4කට අඩුකාලයකදී නිසල බවේ සිට පැයට කිලෝමීටර් 100ක වේගයකට ත්වරණයවීමේ හැකියාවද ඇත.

2008 Tesla Roadster 
අමෙරිකාවේ තරුණ ධනවතුන් හා හොලිවුඩ් නළුනිළියන් අතර ඉතා ජනප්‍රියවූ ටෙස්ලා රෝඩ්ස්ටර් මාදිලිය විවිධ සම්මාන ගණනාවකින් පුදලැබුවේ එහි අඩංගු වුනු නව තාක්ශණ නිපැයුම් සඳහා පමණක් නොව විදුලියෙන් දුවන වාහන ජනප්‍රිය කිරීමේලා පුරෝගාමී මහෙවරක් ඉටුකිරීම වෙනුවෙන්ය. විදුලි වාහන, පෙට්‍රෝල්/ඩීසල් වාහන මෙන්ම ප්‍රායෝගික, භාවිතයේදී තෘප්තියක් ලබාදිය හැකි බව ටෙස්ලා රෝඩ්ස්ටර් සුපිරි කාරය තහවුරු කරන ලදී.

Tesla Model S

ටෙස්ලා සමාගමේ දෙවන නිර්මාණය වන්නේ 2012 වසරේ හඳුන්වාදුන් දොර 4 සිඩෑන් වර්ගයේ "Model S" මාදිලියයි. එක් ආරෝපණයකින් කිලෝමීටර් 420ක් ගමන්කල හැකි මොඩෙල් S මාදිලිය ලොව වැඩිම දුරක් එක් ආරෝපණයකින් ගමන්කල හැකි විදුලි මෝටර් රථය ලෙස වාර්තා තබා තිබෙනවා. අමෙරිකානු ඩොලර් 70,000කට පමණ මිලකොට ඇති මොඩල් S කාර් 12,000ට අධික ප්‍රමාණයක් මේවන විට විකිණී අවසන්.

BMW 5 Series මාදිලිය මෙන්ම ඒ හා සමාන හැකියාවන් ඇති මාදිලි සමග තරඟකල හැකි ලෙස නිමවා ඇති මොඩල් S සම්මාන රැසකින් පුදලබා තිබෙනවා. මෙම සම්මාන අතර 2013 World Green Car of the Year, Automobile Magazine's 2013 Car of the Year, Time Magazine Best 25 Inventions of the Year 2012 award යන සම්මාන විශේෂයි.



Tesla Model S digital dashboard
Tesla Model X (2014 SUV)



ටෙස්ලා සමාගම 2014 වසරේදී මොඩල් x නම් SUV මාදිලියේ රථයක් හඳුන්වාදීමට බලා පොරොත්තුවෙනවා. 7දෙනෙකුට ගමන්කල හැකි ලංකාවේ අප ජීප්රථ ලෙස හඳුන්වන Sports Utility Vehicle (SUV) මාදිලියේ රථයක් වන මෙහි අනුරුවක් 2012 වසරේදී මාධ්‍යවෙත නිකුත්කලා.






__________________________________________________________________________
Creative Commons License
VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. .

POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR .

CONTACT    : terence.arachchi@gmail.com .

GOOGLE +   : About Me  .

FACEBOOK : www.facebook.com/terence.arachchi  .  

__________________________________________________________________________

Comments