SPACE FLIGHT : එන්ටර්ප්‍රයිස් හා ඩිස්කවරි මුහුණට මුහුණ හමුවූ ඒ සුන්දර මොහොත


අභ්‍යවකාශ ෂටල් යානා දෙකක් මුහුණට මුහුණ හමුවීමේ සිදුවීම් ඉතා විරලයි. අභ්‍යවකාශයේදී එවැන්නක් සිදුවෙලා නැත්තේ එක්වර ශටල් යානා දෙකක් අභ්‍යවකාශගත්වීමක් සිදුවී නැති නිසා. එහෙත් පොලොව මත ශටල් යානා මුහුණට මුහුණ හමුවීමේ විරල අවස්ථා කිහිපයක් සිදුවී තිබෙනවා.

මේ එවැනි විරල හමුවීමක්. වම් පසින් එන්ටර්ප්‍රයිස් ෂටල් යානයද දකුණු පසින් ඩිස්කවරි යානයද මුහුණට මුහුණ හමුවූ මෙම විරල අවස්ථාව නාසා ආයතනය අභ්‍යවකාශ ෂටල් ව්‍යාපෘතිය නිළවශයෙන් අවසන් කල 2012 වසරේ සිදුවීමක්. 

2012 අප්‍රේල් මස ස්මිත්සෝනියන් ආයතනයේ Smithsonian National Air and Space Museum හෙවත් ස්මිත්සෝනියන් ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය පිලිබඳ කෞතුකාගාර භූමියේදීයි මෙම හමුවීම සිදුවුනේ. 

ඇමරිකාවේ ප්‍රමුඛතම ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණ කෞතුකාගාරය හා ප්‍රදර්ශණාගාරය වන ස්මිත්සෝනියන් ආයතනයේ වසර ගණනාවක් ප්‍රදර්ශණයට තබා තිබූ ඇමරිකාවේ පලමු ශටල් යානය වන එන්ටර්ප්‍රයිස් යානය, ඉන් ඉවත්ව අලුතින් විශ්‍රාම ගිය ඩිස්කවරි ශටල් යානයට එම ස්ථානය ලබාදීමේ නිළ උත්සවයේ ප්‍රධාන අංගය ලෙස මෙම ශටල් යානා හමුවීම සැලසුම් කොට තිබුණා.



Space Shuttle Enterprise (OV-101) නාසා ශටල් ව්‍යාපෘතියේ පලමු ශටල් යානයයි. පියාසැරි පරීක්ෂණ යානයක් ලෙස නිර්මාණය කල එය නිෂ්පාදනය කටයුතු අවසන් කොට එලිදැක්වුනේ 1976දී. මෙම ශටලයට එන්ටර්ප්‍රයිස් ලෙස නම් තබා තිබුණේ 1970-1980 දශකවල ඉතාමත්ම ජනප්‍රියත්වයට පත්ව තිබූ ස්ටාර්-ට්‍රෙක්  රූපවාහිණී කථාමාලාවේ එන Star-ship Enterprise අභ්‍යවකාශ යානය වෙනුවෙනුයි. ලක්ෂ ගණනක් ඇමරිකානු ජනයාගේ ඉල්ලීම අනුව නාසා ආයතනය සිය පලමු ශටල් යානයට "එන්ටර්ප්‍රයිස්" නම තැබූ අතර එය දොරට වැඩීමේ උත්සවයට ස්ටාර්-ට්‍රෙක් කථාමාලාවේ නිර්මාතෲ ජීන් රොඩන්බරි හා ස්ටාර්ට්‍රෙක් ප්‍රධාන නළු-නිළි කැලම සහභාගීවුනා.

Columbia, Challenger, Discovery, Endeavor, Atlantis යන ශටල් යානා 5ම නිර්මාණය සඳහා අවශ්‍ය බොහෝ තාක්ෂණයන් මෙන්ම පරිගණක මෘදුකාංග (flight software) හා පාලන පද්ධති (control systems), මෙහෙයුම් ක්‍රියාදාම (operational procedures), පියාසැරි රටා (flight patterns) ආදී බොහෝ දෑ සපුරාගන්නට නාසා ශටල් ව්‍යාපෘතියට හැකිවුනේ එන්ටර්ප්‍රයිස් යානය ඇසුරින් සිදුකල පර්යේෂණ පියාසැරි ආධාරයෙන්.

1985 විශ්‍රාම ගැන්වීමෙන් පසු ස්මිත්සෝනියන් ආයතනයේ ගුවන්යානා අංගනයක රඳවා තිබූ එන්ටර්ප්‍රයිස් යානය 2003දී ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණ කෞතුකාගාරය හා ප්‍රදර්ශණාගාරය හි ප්‍රදර්ශණයට තැබුවා. 2012දී එම ස්ථානය ඩිස්කවරි යානයට ලබාදුන් එන්ටර්ප්‍රයිස්, සිය නව නිවසවූ නිව්යෝර්ක් නුවර Intrepid Sea, Air & Space Museum කෞතුකාගාරයේ ස්ථිර නවාතැන් ගත්තා.

Space Shuttle Discovery (OV-103) නාසා ශටල් ව්‍යාපෘතියේ සතරවන ශටල් යානය (තුන්වන අභ්‍යවකාශ ගතවූ ශටල් යානය - කොලම්බියා හා චැලෙන්ජර් යානා වලට පසු) වන්නේ ඩිස්කවරි යානයයි. 1984දී පලමු අභ්‍යවකාශ පියාසැරිය සිදුකල ඩිස්කවරි වසර 27ක සේවයකින් පසු 2011 පෙබරවාරියේදී අවසන් සාර්ථක අභ්‍යවකාශ ගමනින් පසු විශ්‍රාම යැවුනා. වසර 27කල කාලය තුල අභ්‍යවකාශ ගමන් 39ක නියැලුනු ඩිස්කවරි යානය අභ්‍යවකාශ ගාමින් 252නෙකු අභ්‍යවකාශයට ගෙනගොස් නැවත් නිරුපද්‍රිතව ආපසු රැගෙන ආවා.

මෙම යානයට ඩිස්ක්වරි ලෙස නම් තැබුවේ ඇමරිකාවේ පලමු ජනාවාසයක් වූ ජේම්ස්ටවුන් බිහිකරන්නට බ්‍රිතාන්‍යයෙන් පැමිණි "ඩිස්කවරි" නෞකාව හා තවත් "ඩිස්කවරි" ලෙස නම් තැබූ දේශ ගවේෂණ සිදුකල නෞකා තුනක් සිහිවීමටයි. අභ්‍යවකාශ ගමන් 39කදී කිලෝමීටර් මිලියන 239ක දුරක් ගමන්කොට තිබූ ඩිස්කවරි චන්ද්‍රිකා 30ක් සාර්ථකව කක්ෂගත කොට තිබෙනවා. හබල් අභ්‍යවකාශ දුරේක්ෂය කක්ෂයේ රැඳවූයේත් ඩිස්කවරි යානාව මගිනුයි.

විශ්‍රාම යාමෙන් පසු ස්මිත්සෝනියන් ගුවන් හා අභ්‍යවකාශ තාක්ෂණය පිලිබඳ කෞතුකාගාරයේ ස්ථිර නවාතැන් ලැබූ ඩිස්කවරි අනාගත අමරිකානු පරපුරට අභ්‍යවකාශය පිලිබඳව ඉගෙන ගන්නට, සිහින මවන්නට මහත් රුකුලක් වෙනු ඇති.






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments