AUTOMOBILE HISTORY : Pick-up Truck මාදිලිය බිහිවුනු හැටි

Ford Model T Pickup - 1922


FORD Model T Runabout Pickup - 1923
සැමට මිළදීගත හැකි මෝටර් රථයක් හඳුන්වාදීමේ අරමුණින් හෙන්රි ෆෝඩ්, 1908දී සුප්‍රකට Model T මාදිලිය හඳුන්වාදීමෙන් පසුව ඇමරිකාවේ හා යුරෝපයේ රථවාහන  භාවිතය වේගයෙන් ඉහල යන්නට වුනා. Model T මාදිලියේ අඩු මිල නිසා අලුත් එකක් බැරිනම් පාවිච්චි කල එකක් හෝ මිළදී ගන්නට ගොවීන්, කාර්මිකයින් හා කම්මල්කරුවන්ට පවා පුලුවන් වුනා. මෙය රථවාහන ලොවේ විප්ලවීය වෙනසක් වුනා.

කොහොම වුනත්, කාර් එකක් ගත් ගොවියා නැතිනම් කාර්මිකයා, සවාරි යනවා වෙනුවට එම වාහනය තම වැඩට පහසුවක් වෙන්නට යොදා ගන්නා හැටි කල්පණා කලා.

ජීවිකාව සඳහා තම එළවලු පළතුරු ටික වෙළඳපොලට ගෙනයාමට ගොවීන්ට හෝ තම නිෂ්පාදන හෝ ආම්පන්න ටික වැඩපොලට ගෙනයාමට කාර්මිකයින්ට හා කම්මල්කරුවන්ට වෙනම ලොරි රථ මිළදීගැනීමේ හැකියාවක් නොතිබුණේ අඩු වත්කම් නිසායි. මේ නිසා ඔවුන් බොහෝ දෙනෙක් අඩු මිළකට, පාවිච්චිකල ෆෝඩ් මොඩල් T කාරයක් ගෙන එහි පිටුපස කොටස ගලවා දමා බඩු ගෙනයාම සඳහා බක්කියක් සවිකරගන්නට පුරුදුවුනා.

මෙලෙස ගොවීන්, කම්මල්කරුවන් මොඩිෆයි කරනලද ෆෝඩ් Model T කාර්, හෙන්රි ෆෝඩ්ගේ ඇස ගැටුන අතර ශූර ව්‍යාපාරිකයෙකු වූ ඔහු ගොවි-කාර්මික ජනයාට සිය දිවිපෙවෙතේ වැඩකටයුතු වලට බඩු ටිකක් ගෙනයාහැකි කොටසක් ඇති වාහනයක් නිර්මාණය කලහොත් එය තම වාහන විකුණාගත හැකි අලුත් වෙළඳපොල පංගුවක් (market segment) බව අවබෝධ කර ගත්තා.

ඒ අනුව තමයි 1922දී ෆෝඩ් සමාගම මොඩල් ටී කාරයේ අනුවර්තනයක් ලෙස Model T Pickup එක හා 1923දී මොඩල් ටී  Runabout Pickup එක හඳුන්වා   දෙන්නේ.

මේ ෆෝර්ඩ් පික්අප් මාදිලි, ලෝකයේ පලමුවන වරට රථවාහන නිෂ්පාදකයෙකු විසින් සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන ලද (වෙනත් අය විසින් පසුව අනුවර්තනය කිරීමෙන් තොරව) පික් අප් රථ බව බොහෝ දෙනා පිලිගන්නවා.

Model T Runabout පික්-අප් රථය හඳුන්වාදෙන ෆෝඩ් දැන්වීම

4X4 Pickup

ලොව පලමුවැනි 4X4 පික්-අප් රථය ලෙස සැලකෙන්නේ 1946දී හඳුන්වාදුන් ක්‍රයිස්ලර් සමාගම අනුබද්ධ ඩොජ් පවර්වැගන් පික්-අප් රථයයි.


දෙවන ලෝක යුද්ධයේදී හමුදා ට්‍රක් රථ නිපදවීමෙන් 4X4 තාක්ෂණය හොඳින් දියුණුකරගත් ඩොජ් සමාගම එම යුධබිම් තාක්ෂණය යුද්ධයේ අවසානයත් සමගම 1946දී ඇමරිකාවේ දුශ්කර වැඩබිම් වල සේවය කරන්නන් වෙත පවර් වැගන් පික් අප් රථය මගින් ගෙන ආවා. 

දුෂ්කර කැලෑ ප්‍රදේශවල විවිධ ගොඩනැගීම් හා වෙනත් ව්‍යාපාරික කටයුතු කරන්නන් හට අවශ්‍ය ජවසම්පන්න එන්ජිම, වලගොඩැලි, මඩගොහොරුවල එරෙන්නේ නැතුව යන්නට විශාල ටයර හා 4X4 ධාවනය මෙන්ම, ඉදිරිපස වින්ච් මෝටරයක්ද ඩොජ් පවර් වැගන් වාහනයේ තිබුණා.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments