අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

FUTURE : අපට හමුවන පිටසක්වල බුද්ධිය ඉලෙක්ට්‍රොණික බුද්ධියක් වීමට බොහෝ ඉඩ තිබේ!

සක්වල සැරිසරන්නට තරම් තාක්ෂණය දියුණුකරගත් බුද්ධිමත් ජීවයක් විශ්වයේ ඇතිනම් එය ඉලෙක්ට්‍රොණික බුද්ධියක් / කෘත්‍රිම බුද්ධියක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. මේ අනාවැකිය සිදුකරන්නේ තාරකා භෞතික විද්‍යාඥයෙකු වන කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය    මාටින් රීස් ය. රාජකීය තාරකාවිද්‍යාඥවරයෙකු (royal astronomer) ලෙස රැජින ගෙන් වරම්ලබා සිටින මාටින් රීස් තාරකා විද්‍යාව පිලිබඳ ලොව ප්‍රමුඛපෙලේ විද්වතෙකි.

මාටින් රීස් අනුමාන කරන අන්දමට මානව ශිෂ්ඨාචාරයේ වුවද ජෛවමය අවස්ථාව තව වසර දෙතුන්-සියයකින් අවසන් වනු ඇති. එනම් ඒ වනවිට කෘත්‍රිම බුද්ධිය සෑම අතින්ම මානවයන්ට වඩා ඉහල තලයකට පැමිණ ඇති නිසා, විශ්ව ගවේෂණයට වඩාත් සුදුසු වන්නේ සදාකාලික ජීවයක් අත්කර ගන්නා කෘත්‍රිම බුද්ධි රොබෝවන්ය. 

 ඉතා පහසුවෙන් මරණයට පත්කල හැකි, කෙටි ජීවිත කාලයක් ඇති ජීවී මානවයින්ට වඩා අපගේ රොබෝ අනුප්‍රාප්තිකයින් පෘථිවියෙන් ඈත විශ්ව ගවේෂණයට යෙදවෙනු ඇත්තේ රොබෝවකට සිය ජීවය පවත්වාගෙන යාමට අවශ්‍ය සාධක, ජීවී මානවයින්ට වඩා ඉතා අවම බැවිනි. ගුරුත්ව රහිත, රික්තයේ රොබෝ යන්ත්‍රයකට බොහෝකල් ක්‍රියාත්මක විය හැකි නමුත් ජීවියෙකුට එය තත්පර කිහිපයකට සීමා වේ. පෘථිවියෙන් විශ්වය වෙත ගමන් කරන විශ්ව ගවේෂකයින් කෘත්‍රිම බුද්ධි රොබෝ යන්ත්‍ර වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ මේ නිසාය.

දියුණු ජීවීන් ජනිතවූ විශ්වයේ වෙනත් ග්‍රහලෝකයක වුවද මෙම සංසිද්ධිය මෙලෙසම විය හැකි අතර ඔවුන්ගේද අනුප්‍රාප්තිකයන් වන ඉලෙක්ට්‍රොණික පිටසක්වලයින් විශ්වය ගවේෂණය කරනු ඇත. ඒ අනුව නුදුරු අනාගතයේ යම් දිනයක පෘථිවිය කරා පිටසක්වල යානාවක් පැමිණෙන්නේ නම් එහි සිටින පිටසක්වල ගගනගාමීන් ඉලෙක්ට්‍රොණික ජීවීන් වීමට හොඳටම ඉඩකඩ තිබෙනවා.






__________________________________________________________________________
Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments