ස්ට්‍රේන්ජර් තින්ග්ස් කථාමාලාවේ 4වැනි දිග හැරුම අවසන් වුනේ 2022දී. සීසන් 4 කතාංග එපිසෝඩ් නවයකින් සමන්විත අතර එයින් එපිසෝඩ් 7ක් මැයි 27 එලි දැක්වුනා, අවසන් එපිසෝඩ් ජූලි 1 වැනිදා එලි දැක්වුනා.
ඉන්පසු දීර්ඝ විරාමයක් ගත් නෙට්ෆ්ලික්ස් හා ස්ට්‍රේන්ජර් තින්ග්ස් නිර්මාතෲ ඩෆර් සොයුරන් (Duffer Brothers) දැන් අවසන් කථාමාලාව ලෙස ඔවුන් පවසන ස්ට්‍රේන්ජර් තින්ග්ස් සීසන් 05 හෙවත් පස්වැනි දිග හැරුමේ පලමුවෙනි එපිසෝඩ හතර නිකුත් කරලා.
ස්ට්‍රේන්ජර් තින්ග්ස් තරම් බොහෝ කාලයක් ඇදුනු ජනප්‍රිය ටෙලිවිශන් සීරීස් එකක් නැති තරම්. නොසිතූ විරූ ලෙස ජනප්‍රිය වූ Stranger Things Season 01 එලි දැක්වුනේ 2016දී, එනම් මීට වසර 09කට පෙර උතුරු අර්ධගෝලයේ යුරෝපයේ හා ඇමරිකාවේ ග්‍රීස්ම නිවාඩු (summer holidays) සමය වන ජූලි මාසයේ.
SE 02 එලිදැක්වුනේ 2017 ඔක්තෝම්බරයේ වන අතර SE03 වසර දෙකක් ප්‍රමාදවී 2019 ජූලි 04 වැනිදා එනම් ඇමරිකානු නිදහස් දිනයේදී එලි දැක්වුනා. SE04 එයින් වසර 3කට පසු 2022 මැයි මාසයේ ජනගත කෙරුනු අතර, 2025 නොවැම්බරයේ එලිදැක්වුනු SE05 කොටස් තුනකින් නිකුත් කිරීමට තීරණය කරලා.
ඒ අනුව එපිසෝඩ 1-4 නොවැම්බර් 26 නිකුත් කල අතර එපිසෝඩ 5-7 දෙසැම්බර් 25 නත්තල් දිනයේද, අවසන් එපිසෝඩය වන 8 වැන්න දෙසැම්බර් 31ද නිකුත් කිරීමට සූදානම්
Stranger Things සීසන් 1-4 ප්‍රධාන චරිත යලිත් මතක් කර ගනිමු. මොවුන් සීසන් 05 එපිසෝඩ 1-4 වලද ප්‍රධාන භූමිකා හොබවනවා.
ඉලෙවන්
හෙන්රි ක්‍රීල් / වෙක්නා / මයින්ඩ් ෆ්ලේයර්
මයික් වීලර්
නැන්සි වීලර් - මයික්ගේ වැඩිමල් සොයුරිය
කැරන් වීලර් - නැන්සි, මයික්ගේ හා හොලීගේ මව
ටෙඩ් වීලර් - නැන්සි, මයික්ගේ හා හොලීගේ පියා
හොලී වීලර් - නැන්සිගේ හා මයික්ගේ බාල සොයුරිය
ඩස්ටින් හෙන්ඩර්සන්
විල් බයර්ස්
ජොනතන් බයර්ස් (විල් බයර්ස් ගේ වැඩිමල් සොයුරූ)
ජොයිස් බයර්ස් (විල් හා ජොනතන්ගේ මව)
ස්ටීව් හැරිංටන්
රොබින් බක්ලි - ස්ටීව් හැරිංටන්ගේ මිතුරිය
ජිම් හොපර් - හෝකින්ස් පොලීසියේ ප්‍රධානී හා ඉලවන්ගේ සුළුපියා
මැක්සීන් මේෆීල්ඩ් (මැක්ස්) - ඇය මේ වනවිට කෝමා තත්වයෙන් රොහල්ගතවී සිටිනවා.
ලූකස් සින්ක්ලෙයාර් - මැක්සීන්ගේ හොඳම මිතුරා
Stranger Things season 1 - July 15, 2016
1983 නොවැම්බර්, ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානා හි පිහිටි හොකින්ස් නම් මනඃකල්පිත කුඩා නගරය ආශ්රිත සිදුවන අත්භූත සිදුවීම් මාලාවක් වටා කතාව ගෙතී තිබෙනවා.
සීසන් 01 ආරම්භ වන්නේ ඩන්ජියන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් ක්‍රීඩා කරමින් රාත්‍රිය ගත කිරීමෙන් පසු නිවසට යන්නට සිය බයිසිකලයෙන් පිටත්වූ 12 හැවිරිදි විල් බයර්ස් (Will Byers) හදිසියේ අතුරුදහන් වීමත් සමඟය.
ඔහු සමඟ ඔහුගේ හොඳම මිතුරන් වන මයික් වීලර්, ඩස්ටින් හෙන්ඩර්සන් සහ ලූකස් සින්ක්ලෙයාර්ද වූහ. විල් සොයමින් සිටින අතරතුර, පිරිමි ළමයින්ට හිස සම්පූර්ණ්යෙන්ම මුඩුකරන ලද අමුතු ගැහැණු ළමයෙකු හමු වේ. ඇය නගරයේ පිහිටුවා ඇති රහසිගත පර්යේෂණාගාරයක් වූ හොකින්ස් ජාතික විද්‍යාගාරයෙන් පලා ආ බව පසුව තහවුරුවේ. ඇය තම මැණික් කටුවේ ඇති "011" යන පච්චය (tattoo) මගින් පමණක් තමාව හඳුනා ගන්නා අතර පසුව 'ඉලවන්' (Eleven) යන නම භාවිතා කරයි. ඇයට ටෙලිකයිනටික් (telekinesis) සහ ටෙලිපැතික් (telepathy) බලයන් ඇති බවද, ඒවා ඉතා ප්‍රභල ලෙස ඇයට පිහිටා ඇති බවද හෙලිවේ.
විල්ගේ මව වන ජොයිස් බයර්ස් තම පුතා වෙනත් මානයකින් (dimension) තමා සමඟ සන්නිවේදනය කිරීමට උත්සාහ කරන බවට විශ්වාස කරයි. මුලදී, මුලදී නත්තලට එල්ලූ විදුලි බුබුලු නිවි-නිවී දැල්වෙන ආකාරය වෙනස් කරමින් ඔහු සිය මවට පණිවුඩ එවන්නට පටන් ගන්නා අතර පසුව සෘජුව සන්නිවේදනය අරඹනවා.
විල්ගේ වැඩිමහල් සහෝදරයා වන ජොනතන් සහ පිළිකාවක් නිසා තම දියණිය අහිමි වීමේ වේදනාවෙන් පෙළෙන ප්‍රාදේශීය පොලිස් ප්‍රධානියා වන ජිම් හොපර්, වෙන වෙනම මෙම අතුරුදහන් වීම විමර්ශනය කරන අතර, හොකින්ස් ජාතික විද්‍යාගාරයේ (Hawkins National Lab) සිදුවන රහසිගත සිදුවීම් කිහිපයක් හෙලිකර ගන්නට උතසහ කරනවා.
මාටින් බ්‍රෙනර් (Dr. Martin Brenner) ගේ අධ්‍යක්ෂණය යටතේ හොකින්ස් ජාතික විද්‍යාගාරය, සීතල යුද්ධ සමයේ CIA පර්යේෂණ ව්‍යාපෘතිය ලෙස පැවති 'MKUltra' නම් වැඩසටහනක කොටසක් ලෙස නීති විරෝධී මිනිස් අත්හදා බැලීම් සිදු කර ඇති බව හෙළිවෙනවා.
ඉලවන් (Eleven) දැරිය එම පරීක්ෂණ විෂයයන්ගෙන් (test subjects) එක් අයෙක් බවත්, ඇයට 11 ලෙස නම තබා ඇත්තේ, ඇයට පෙර තවත් පර්යේෂණ දරු-දැරියන් 10 දෙනෙකු සිට ඇති බවත් හෙලිවෙනවා.
ප්‍රභල ටෙලිකයිනසිස් හා ටෙලිපති බලයන් උපතින්ම ලබා තිබූ ඉලෙවන් නොදැනුවත්වම 'අප්සයිඩ් ඩවුන්' (Upside Down) ලෙස හැඳින්වෙන විකල්ප මානයකට (alternate dimension) දොරටුවක් විවෘත කර තිබෙන අතර දැන් එම අඳුරු මානය මේ ලෝකයේ මානය හා බද්ධවීම ආරම්භවී තිබෙනවා.
Upside Down මානය අපේ ලෝකයේ අඳුරු, බියකරු, ක්ෂයවෙමින් යන කැඩපත් අනුවාදයක් වන අතර එහි 'ඩිමෝගෝගන්ස්' (Demogorgons) ලෙස නම් කරන ලද බුද්ධිමත් විලෝපිකයින් වර්ගයක් වාසය කරන බවද, හෝකින්ස් පර්යේෂණාගාරයේ තුලින් අප්-සයිඩ් ඩවුන් මානයට විවරවූ සිදුරුවලින් ඔවුන් මෙලොවට පැමිණෙන බවද හෙලිවෙනවා.
අවසානයේදී හොපර් සහ ජොයිස් යන්තම් පණපිටින් සිටින විල්ව 'අප්සයිඩ් ඩවුන්' මානයෙන් බේරා ගන්නා අතර, ඉලවන් ඇගේ බලයන් භාවිතා කරමින් හෝකින්ස් පර්යේෂණාගාරයෙන් අප්-සයිඩ් ඩවුන් මානයට විවරවූ දොරටුව අපහසුවෙන් වසා දමයි. එම ව්‍යායාමයේදී ඇය අතුරුදහන් වන අතර මිය යන්නට ඇතැයි සැක කෙරෙනවා.
Stranger Things season 2 - October 27, 2017
1984 ඔක්තෝබර් – පළමු කතාමාලාවේ (Season 1) සිදුවීම්වලින් වසරකට ආසන්න කාලයකට පසුව
විල් බයර්ස් බේරා ගැනීමෙන් පසු, හොකින්ස් වැසියන් සාමාන්‍ය ජීවිතයට ආපසු යාමට උත්සාහ කිරීමත් සමඟ මෙම කතාමාලාව ආරම්භ වේ. කෙසේ වෙතත්, 'අප්සයිඩ් ඩවුන්' (Upside Down) හි කම්පනය බොහෝ දෙනෙකුගේ සිත් තුල තවමත් රැව් දෙනවා.
විල් නැවත නැවතත් තාවකාලික සිහිමෘජා තත්ව වලට පත්වෙන අතර අත්විඳින අතර, එහිදී ඔහු මෝහන තත්වයකට (trance-like state) ඇතුළු වී 'අප්සයිඩ් ඩවුන්' මානයේ සිදුවන යම් යම් දෑ සජීවීව අත්විඳින්නට, දකින්නට පටන් ගන්නවා. මෙයින් ඔහු දැඩි මානසික පීඩනයකට හා විඩාවකට පත්ව දුක්විඳිනවා.
මෙම මෝහන අවස්ථා ක්‍රමයෙන් තීව්ර වන අතර අඳුරු අප්-සයිඩ් ඩවුන් මානයේ සිටින යෝධ මකුළුවෙකුගේ හැඩැයකින් පෙනීසිටින යම් අත්භූත බලවේගයක් තමන් ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටින බවත්, මේ ලෝකය ආක්‍රමණය කිරීමට පිඹුරුපත් සකසන බවත් විල් බයර්ස්ට ක්‍රමයේන් තේරුම් යනවා.
ඩිමෝගෝගන් සත්වයින් සමඟ ගැටුමෙන් පසුව ඉලෙවන් අතුරුදහන් ව සිටිනවා. ජිම් හොපර් ඇයව ආරක්ෂා කිරීම සඳහා ඇයගේ සියලු තොරතුරු රහසක්ව තබා ගන්නා අතර ඇය ජීවතුන් අතර සිටින බව විශ්වාස කරමින් ඇගේ ප්‍රියතම කෑමක් වන 'එගෝ වොෆල්ස්' (Eggo waffles) හෝකින්ස් විද්‍යාගාරය අවට වනයේ තැන් තැන් වල තබා යයි.
අවසානයේදී ඔහු ඉලවන් ජීවතුන් අතර සිටින බව සොයා ගන්නා අතර කුඩා දැරියක් ලෙස අවසන් සටනේදී ඇතිවූ දැඩි කම්පණයෙන් හා භීතියෙන් පීඩා විඳිමින් කැලයේ සැඟවී සිටිනවා. හොපර් ඇයට රැකවරණය ලබා දෙන අතර ඇය සුවය ලබන අතරතුර සහ ඇගේ බලයන් පාලනය කිරීමට ඉගෙන ගන්නා අතරතුර ඇයව තම කුටියේ සඟවා තබයි.
හුදකලාව සහ හොපර්ගේ දැඩි නීතිරීතිවලින් කලකිරුණු ඉලවන් පසුව පැන යන අතර, නගරයට ගොස්, කාලි (Kali) හෙවත් 'එයිට්' (Eight) නම් තවත් MKUltra පර්යේෂණ වලට යොදාගත් ටෙලිකයිනසිස් හා ටෙලිපති බලයන් සහිත තරුණියක් හඳුනාගෙන ඇයගේ කණ්ඩායමට එක්වෙයි.
කෙසේ වෙතත්, තම අනාගතය මිතුරන් සමඟ හොකින්ස් හි (Hawkins) බව පසුව අවබෝධ කරගන්නා ඉලෙවන් යලිත් ඔවුන් සොයා හෝකින්ස් වෙත පැමිණෙයි.
මේ අතර, විල්ගේ මෝහනයවීම් තවත් උග්‍ර වන අතර, මයින්ඩ් ෆ්ලේයර් ඔහුව පාලනය කරන්නට පටන් ගනී. ජොයිස් , ජොනතන් සමග හෝකින්ස් නගරයේ 'රේඩියෝ ෂැක්' (Radio Shack) ඉලෙක්ට්‍රොනික් වෙළඳසැල් හිමිකරු බොබ් නිව්බි, සහ විද්‍යාඥ සෑම් ඕවන්ස් විල්ට උදව් කිරීමට උත්සාහ ගන්නවා.
තම හිංසාකාරී සුළු සහෝදරයා වන බිලී හාර්ග්රෝව් සමඟ හොකින්ස් වෙත පැමිණි දඩබ්බර ගත් ඇති ගැහැණු ළමයෙක් වන මැක්ස් මේෆීල්ඩ් කැලිෆෝනියාවේ සිට හෝකින්ස් වෙත පදිංචියට පැමිණ කණ්ඩායම සමග මිතුරු වෙයි. මේ අතර ඩස්ටින් "ඩාට්" ලෙස නම් කරන කුඩා සතෙකු සොයා ගෙන ඌව තම සුරතලා ලෙස රහසින් තබා ගනී. එහෙත් ඩාට් යනු ඩෙමගෝගන් සත්වයාගේ කුඩා පැටවෙකු බවත්, ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පූර්ණ ලෙස වැඩුනු ඩෙමගෝගන් සත්වයකු වෙන බවත් ඔහු නොදනී.
සීසන් 02 අවසන් වන්නේ ඉලවන් ආපසු පැමිණ තම බලයන් භාවිතා කරමින් හොකින්ස් විද්‍යාගාරයෙන් අප්-ස්යිඩ් ඩවුන් මානයට විවරවී ඇති දොරටුව තරයේ වසාදැමීමෙනුයි. එමඟින් මයින්ඩ් ෆ්ලේයර්ගේ අපේ ලෝකය සමඟ ඇති සම්බන්ධය සිඳ දමා හෝකින්ස් නගරය බේරා ගැනීමට ඇය සමත්වෙනවා.
අවසන් සටනේදී බොබ් නිව්බි සෙසු අයට විද්‍යාගාරයෙන් පැන යාමට ඉඩ දීම සඳහා නිර්භීත ලෙස ඩෙමගෝගන් සත්වයින්ට බිලිවෙනවා.
සියල්ල හොඳින් අවසන්වූ බව පෙනුනත් අවසාන තත්පර කිහිපයේ, හෝකින්ස් පාසැලේ වාර්ෂික 'ස්නෝ බෝල්' නැටුම් අතරතුර 'අප්සයිඩ් ඩවුන්' හි පාසලට ඉහළින් මතු වී සිටිනු දක්නට ලැබෙන මයින්ඩ් ෆ්ලේයර් ජීවතුන් අතර සිටින බව තහවුරු වන තර ඌ කෝපයෙන් හෝකින්ස් දෙස හා විශේෂයෙන් විල් බයර්ස් දෙස බලාගෙන සිටී.
Stranger Things season 3 - July 4, 2019
1985 ග්‍රීස්ම සෘතු නිවාඩු කාලය, හෝකින්ස් නගරය, ඉන්ඩියානා ප්‍රාන්තය
මිතුරු කණ්ඩායම දැන් උසස් පාසලේ සිටින අතර ආදර සබඳතා, අර්ධකාලීන රැකියා සහ දුරස් වීමේ වේදනාව වැනි සාමාන්‍ය නව යොවුන් වියේ ගැටළු සමඟ කාර්යබහුල වී සිටී. ඉලවන් සහ මයික් රහසිගතව පෙම් සබඳතාවක් පවත්වාගෙන යයි.
මේ අතර ඩස්ටින් ගිම්හාන විද්‍යා කඳවුරකට සහභාගී වූ ඩස්ටින් සමීප යෙහෙලියක් සොයාගන්නා අතර, ඈත පලාතක වෙසෙන ඇය සමග රේඩියෝ මගින් සබඳතා පවත්වයි. ඒ දෙදෙනා එක්ව කේතනය කරන ලද රුසියානු සම්ප්‍රේෂණයක් සොයා ගන්නා අතර එය තෙරුම් ගැනීමට වෙහෙසෙයි.
මේ අතර ලූකස් සහ මැක්ස් පෙම් යුවලක් වෙයි. නිතරම මෝහනයට හා භ්රාන්තවීම් වලට බඳුන්වන විල්ට දැඩි තනිකමක් දැනෙන අතර සිය මිතුරන් කාර්යබහුලවීම ගැන දැඩි කණස්සල්ලෙන් සිටී.
අප්-සයිඩ් ඩවුන් වෙත විවරවූ මාන ද්වාරය (dimensional gate) වැසී වසරකට ආසන්න කාලයකට පසු, අලුතින් විවෘත කරන ලද හෝකින්ස් හි ස්ටාර්කෝට් වෙළඳ සංකීර්ණයට යටින් කාටත් හොරෙන්, සෝවියට් දේශය රහස් පරියේෂණාගාරයක් තනා අප්-සයිඩ් ඩවුන් මානයට නව දොරටුවක් විවර කරගැනීමේ උත්සහයක නිරතවෙයි. ඔවුන් ඒ සඳහා විශේෂිත යන්ත්‍රයක් නිර්මාණය කරගෙන තිබෙන අතර එය ක්‍රියාත්මක කරමින් ද්වාරයක් විවරකිරීමේ වෑයම සාර්ථක කරගනී.
අලුත් ද්වාරයක් විවරවූ බවත්, තමන්ට ඉලෙවන්ගෙන් පලිගෙන මේ ලෝකය ආක්‍රමණය කිරීමේ අලුත් අවස්ථාවක් උදාවී ඇති බව මයින්ඩ් ෆ්ලේයර් වටහා ගන්නා අතර මයින්ඩ් ෆ්ලේයර්ගේ මනස හා බැඳී සිටින විල්ටද ඒ බව අවබෝධවේ.
කතාමාලාවේ ප්‍රධාන මාතෘකාව ආරම්භ වන්නේ මයින්ඩ් ෆ්ලේයර් විසින් හෝකින්ස් හි පදිංචිකරුවන් කිහිප දෙනෙකුට "ෆ්ලේ කිරීමෙන්" හෝ ඔවුන්ගේ ශරීර දියකර දැමීමෙන් වහලුන් බිහිකර ගැනීමේ ව්‍යායාමයකිනි. මැක්ස්ගේ සහෝදරයා වන බිලී, මයින්ඩ් ෆ්ලේයර්ගේ ප්‍රධාන මානව වාහකය බවට පත්වන අතර, මයින්ඩ් ෆ්ලේයර්ට පාලනය කිරීම සඳහා විශාල භෞතික අවතාරයක් තැනීමට අන් අයව පැහැරගෙන ගොස් "ෆ්ලේ" කිරීමට පටන් ගනී.
හොපර්, ජොයිස් සහ කුමන්ත්‍රණ න්‍යායන් විශ්වාස කරන ගුප්ත චරිතයක් සහිත මාධ්‍යවේදියෙකු වන මරේ බෝමන් එක්ව නගරයේ සිටින රුසියානුවන් සහ නගරයට බලපාන අපූර්ව චුම්බක ශේෂ්ත්‍ර පිලිබඳව සොයමින් සිටී.
මේ අතර ඩස්ටින්, ස්ටීව්, රොබින් බක්ලි සහ ලූකස්ගේ විචක්ෂණශීලී බාල සොහොයුරිය වන එරිකා, රුසියානු පණිවිඩය විකේතනය කර සාප්පු සංකීර්ණය යටතේ ඇති රහස් සෝවියට් කඳවුර සොයා ගනිති. ඔවුන් සෝවියට් යන්ත්‍රය මගින් නිර්මාණය කරන ලද නව දොරටුවද අනාවරණය කර ගැනීමට සමත් වෙති.
කතාමාලාවේ අවසන් සටන ස්ටාර්කෝර්ට් මෝල් සටන ලෙස හැඳින්වෙන අතර, එහිදී සියලුම කණ්ඩායම් සාප්පු සංකීර්ණය වෙත එකතු වෙති. මයින්ඩ් ෆ්ලේයර්ගේ දැවැන්ත මිනිසුන්ගේ කොටස් වලින් ගොඩනැගූ රාක්ෂයා සාප්පු සංකීර්ණයට පහර දෙන අතර, සම්පූර්ණයෙන්ම Mind Flayer පාලනයට නතු වී සිටින බිලී, එලවන්ව Mind Flayerට බිලිදීමට උත්සාහ කරයි. මේ අතර දොරටු යන්ත්‍රය (Gate machine) වසා දැමීම සඳහා හොපර් සහ ජොයිස් ස්ටාර් කෝට් පරිශ්‍රයේ පොලොව යට ඇති සෝවියට් පර්යේෂණාගාර සංකීර්ණය තුලට පිවිසෙයි. ඩස්ටින් සහ එරිකා ගුවන් විදුලි පණිවුඩ මගින් ඔවුන්ට මඟ පෙන්වති.
දොරටුව නැවත වසා දමනු ලන අතර මයින්ඩ් ෆ්ලේයර් නිර්මාණය කල මිනී මස් රාක්ෂයා විනාශවී යයි. හොපර් හා ජොයිස් එක්ව සෝවියට් යන්ත්‍රය පුපුරුවා හැරීම නිසා රහසිගත සෝවියට් ව්‍යාපෘතිය විනාශවී යයි. සටනින් මාස තුනකට පසු, සටනින් පසු අධිමානසික බලයන් අහිමිවූ එලවන් (Eleven) සමඟ බයර්ස් පවුල නව ජීවිතයක් ආරම්භ කිරීම සඳහා හෝකින්ස් (Hawkins) නගරයෙන් කැලිෆෝර්නියාවට සංක්‍රමණය වෙති.
සෝවියට් දොරටු යන්ත්‍රය පුපුරා යාම නිසා හොපර් මිය ගිය බවට විශ්වාස කෙරෙන අතර ඔහුට ඇලුම් කල ජොයිස් දැඩි වේදනාව සඟවාගෙන සිටී. කෙසේ වෙතත්, දුෂ්කර සෝවියට් ප්‍රාන්තයක් වන කම්චැට්කාහි සෝවියට් බන්ධනාගාරයක සිදුවන පශ්චාත් දර්ශනයකදී (post-credit scene), ආරක්ෂකයින් "ඇමරිකානු" සිරකරුවෙකු ගැන සඳහන් කර තවත් සිරකරුවෙකු කූඩු කරන ලද ඩෙමගෝර්ගන් සත්වයෙකුට බිලිදෙන අයුරු පෙන්වයි.
මෙය හොපර් ජීවතුන් අතර සිටින බව තහවුරු කරන අතර, සෝවියට් දේශය තුළ ද අප්සයිඩ් ඩවුන් (Upside Down) අත්හදා බැලීම් සිදුවන බව හෙලිකරමින් ඊලඟ SE04 කථා පෙලගැස්මට පූර්විකාව සපයනවා.
Stranger Things season 4 - May 22, 2022
1986 මාර්තු – ස්ටාර්කෝර්ට් සටනින් මාස අටකට පමණ පසු
මෙම කතාමාලාව සීසන් එක අවසන් වෙනවිට ක්‍රමයෙන් එකට එක්වන, භූගෝලීය වශයෙන් වෙන් වූ කථා රේඛා (story arcs) හතරක් වටා ගොඩනැගී තිබෙනවා.
1 - ඉලෙවන් හා බයර්ස් පවුලේ කැලිෆෝනියා ජීවිතය පිලිබඳව සටහන් වෙන කැලිෆෝනියා කථාරේඛාව
2 - හෝකින්ස් නගරයේ ජීවත්වෙමින්, යලිත් නගරයේ වෙලාගන්න අත්භූත මිනීමැරුම් වලට මුහුණදෙන හෝකින්ස් කණ්ඩායමේ කතා රේඛාව
3 - ආචාර්ය බ්‍රෙනර් ඉලෙවන්ව යලි බලහත්කාරයෙන් රැගෙන නෙවාඩාවේ පර්යේෂණාගාරයකට ගෙන යන අතර එහි සිදුවීම්වල කථා රේඛාව.
4 - හොපර් සොයාගෙන රුසියාවේ කම්චට්කාවට යන ජොයිස්, මරේ හා එහි බන්ධනාගාරයක සිටින හොපර් පිලිඳව කථා රේඛාව
අතර සිය ටෙලිකිනෙසිස් බලය හා ටෙලිපති බලය අහිමිවීමෙන් ඇතිවුනු දුර්වල මානසිකත්වය මෙන්ම කැලිෆෝනියාවේ පාසැලේ අනෙක් සිසුන්ගේ උසුලුවිසුලු වලටත් බඳුන්වෙමින් කළකිරීමෙන් හා නොසතුටෙන් සිටී.
තවමත් හෝකින්ස් හි සිටින මයික් සහ ඩස්ටින්, පිස්සෙකු ලෙස හංවඩු ගැසුනු, විකාර ගති පැවැතුම් ඇති එඩී මන්සන් නම් ජ්‍යේෂ්ඨ සිසුවෙකු විසින් මෙහෙයවනු ලබන හෙල්ෆයර් ක්ලබ් නම් සමාජයකට බැඳේ. එය ඩන්ජන්ස් ඇන්ඩ් ඩ්‍රැගන්ස් නම් ක්‍රීඩාවට ලැදියාවක් දක්වන්නන්ගේ සංගමයකි
මේ අතර අභිරහස් මිනීමැරුම් මාලාවක් නිසා හෝකින්ස් නගරයම දැඩි ලෙස කැළඹේ. මියගියවුන්ගෙ අත්පා කඩා දමා, දෑස් පොඩිකර දමා තිබෙන අතර ඔවුන් බිත්තිවල හෝ සිවිලිමේ එල්ලා දමා තිබෙනු දකින්නට ලැබේ. සාතන් හෙවත් යක්ෂයා අදහන කල්ලියක බිලිපූජා බවට සැක කෙරෙන නගරවාසීන්, සාතන් භක්තිකයෙකු ලෙස විශ්වාස කරමින් හංවඩු ගැසූ එඩී මන්සන් හා ඔහුගේ හෙල්ෆයර් සමාජය මේ මිනීමැරුම් පිටුපස සිටින බවට සැක කරයි.
ඩස්ටින්, ලූකස්, මැක්ස්, නැන්සි, ස්ටීව් සහ රොබින් මෙම මිනීමැරුම් මිනිසෙකු හෝ කණ්ඩායමක් සිදුකල ඒවා විය නොහැකි බවත් ඒම ඝාතන තුල අමනුෂ්‍ය බලවේගයක් තිබෙන බවටත් සොයා ගනී. එමෙන්ම එම මිනීමැරුම්, සමූහ ඝාතකයෙකු ලෙස උන්මත්තකාගාරයක සිර කර සිටින් වික්ටර් ක්‍රීල් නැමැත්තා 1950 ගණන්වල සිදුකල මිනීමැරුම් වලට සමාන බවද සොයා ගනී. වික්ටර් ක්‍රීල්, සිය පවුලම ඝාතනය කිරීමේ චෝදනාව මත උන්මත්තකාගාරයක ජීවීතාන්තය දක්වා සිර දඬුවම් විඳින අතර, එම මිනීමැරුම් ඔවුන් අලුතින් පදිංචියට ආ නිවසට අරක්ගත් භූතාතමයක් විසින් සිදුකල පවසමින් එම මිනීමැරුම්වල චෝදනා ප්‍රතික්ෂේප කරතිබෙන බවද ඔවුන් සොයා ගනී.
රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකු ඉලෙවන්ව කැලිෆෝනියාවේ බයර්ස් පවුලෙන් තමන් භාරයට ගන්නා අතර ඇයව නෙවාඩාවේ රහස් පර්යේෂණාගාරයකට ගෙනයයි. ආචාර්ය සෑම් ඔවෙන්ස් විසින් මෙහෙයවන මෙම පර්යේෂණාගාරයේදී ඔවන්ස්ගේ මග පෙන්වීම යටතේ සිය නැතිවූ බලයන් යලි ලබාගැනීමට උත්සහ කිරීමේ වැඩසටහනකට ඉලෙවන් එකඟ වෙයි. නීනා යන කෙටි නමින් හඳුන්වන සියලු සංවේදන වලින් වෙන්කර තබන (sensory deprivation) වැඩසටහනක් ඇය අරඹන අතර ඒ හරහා 1979දී හෝකින්ස් විද්‍යාගාරයේ සිදුවූ ඝාතන තමන් සිදුකල බවට සැඟව තිබූ මතකයන් ඉලෙවන්ට යලි ලැබෙයි. කෙසේ වෙතත් මෙම ඝාතන වල වගකීම එවක හෝකින්ස් විද්‍යාගාරය භාරව සිටි ආචාර්ය බ්‍රෙනර්, සබ්ජෙක්ට් වන් (Subject One) නම් වෙනත් අයෙකුට පවරා තිබුණා.
මේ අතර හොපර් ජීවතුන් අතර සිටින බවට ඉඟි කරන අද්භූත පාර්සලයක් ලැබීමෙන් පසු ජොයිස් සහ මරේ හොපර්ව සොයාගෙන එවක කොමියුනිස්ට් රාජ්‍යයක්වූ සෝවියට් දේශයට රහසේ ඇතුළුවෙයි. එහිදී, කම්චැට්කා හි පිහිටි දරුණු සෝවියට් කඳවුරක සිරගත කර සිටින හොපර්ව ඔවුන් සොයා ගන්නවා. එම සිර කඳවුරේ අල්ලාගත් ඩෙමගෝගන් සත්වයෙකු සිටින අතර ඌ සමග සටන් කිරීමට හොපර්ව බලහත්කාරයෙන් යොමුකර තිබෙන බවද සොයා ගන්නවා. හොපර්ව බේරාගැනීමේ අරමුණෙන් ජොයිස් හා මරේ දූෂිත රුසියානු හොරෙන් බඩු ගෙන යන්නෙකු වන යූරි සහ අල්ලස් ගන්නා මුරකරුවෙකු වන ඩිමිට්රිගේ සහාය ඇතිව හොපර්ව සිරගෙදරින් මුදාගෙන යාමට සැලසුමක් ක්‍රියත්මක කරනවා.
එලවන්ගේ යලි අවදිවන මතකයන් සහ හෝකින්ස් හි කණ්ඩායමේ පරීක්ෂණ තුළින් හෝකින්ස්වල ඝාතන හා අත්භූත ක්‍රියාවල සැබෑ නිර්මාතෲවරයා හෙලිවෙනවා. ආචාර්ය බ්‍රෙනර් විසින් සබ්ජෙක්ට් වන් ලෙස හඳුන්වා තිබුනේ ඔහුයි. ඔහු, තම පවුල මරා දමා එහි වරද තම පියා පිට පැටවූ, අති විශාල චෛතිසික බලයක් හා බලසම්පන්න ටෙලිකයිනසිස් බලයක් හොබවන, විකෘති මානසිකත්වයක් ඇති, සමාජය කෙරෙහි දැඩි වෛරයකින් පෙලෙන්නෙකි. එලවන් ඔහුව විනාශ කිරීමට උත්සාහ කරන විට, ඇය නොදැනුවත්වම මාන සිදුරක් නිර්මාණය ඔහුව "උඩු යටිකුරු මානය - upside down dimension" ලෙස හඳුන්වන මානයට යවා තිබෙනවා. ඔහු දැන් වෙක්නා ලෙස හැඳින්වෙන අතර, ඔහු ඩෙමගෝගන් සත්වයින්ගේ මෙන්ම කලින් මයින්ඩ්-ෆ්ලෙයර් ලෙස හැඳින්වූ චෛතිසික බලවේගයේද නිර්මාතෲවරයා බවත්, අප්සයිඩ් ඩවුන් මානයෙන් මේ ලෝකය ගිලගැනීමට සැලසුම් කරන බවත් හෙලිවෙනවා.
සීසන් 04 මගින් ස්ට්රේජර් තින්ග්ස් පුරාවෘත්තය අලුත් ආකාරයකට පෙල ගස්වනවා: වෙක්නා හෙවත් සබ්ජෙක්ට් වන් හෙවත් හෙන්රි ක්‍රීල් යනු 1979 සිට සිදුවූ සෑම අත්භූත සිදුවීමකම හා ඝාතනයකම නිර්මාතෘවරයා වන අතර, ඔහුම මනස පාවා දීමේ යක්ෂයා (Mind Flayer) ද වන අතර හෝකින්ස්වල ඝාතන සඳහා ඉලෙවන්ව පොළඹවන්නේත් ඔහුමයි. එලවන් ඔහුව වෙනත් මානයට පිටුවහල් කළ දින සිට එනම් 1983 නොවැම්බර් 6 සිට ඔහු මෙම ලෝකය විනාශ කිරීමට කුමන්ත්‍රණය කරමින්, කල්බලමින් සිටිනවා.
Stranger Things season 5 (SPOILER ALERT)
උඩු යටිකුරු මානයෙහි බලපෑම නිසා හෝකින්ස් නගරය දැඩි ලෙස හානියට පත්ව ඇත. එම මානයෙහි ඇති දුෂ්ඨත්වය හා විනාශය නගරය තුළ ව්‍යාප්ත වෙමින් පවතී.
ප්‍රධාන චරිත දැන් තරුණ වැඩිහිටියන්ය. ඔවුන් තම පෞද්ගලික ජීවිතයට මුහුණ දෙන අතරතුර අනතුරුවලට මුහුණ දෙති. ඔවුන්ට එක් ප්‍රධාන අරමුණක් ඇත: වෙක්නාව සොයාගෙන මරා දැමීමයි. වෙක්නා ක්‍රීල් නිවසේදී ලද පරාජයෙන් පසු අතුරුදහන් වී ඇති නමුත් ඔහු තවමත් ජීවත්ව සිටින බවට කණ්ඩායම විශ්වාස කරයි.
එක්සත් ජනපද හමුදාව හෝකින්ස් නගරය දැඩි නිරෝධායනයකට ලක් කරමින් නගරය පාලනය කරයි. බ්‍රෙනර් වැනි දරදඬු විද්‍යාඥවරියක් වන ආචාර්ය කේ මීට නායකත්වය දෙයි. ඇය රහසින්ම එලවන්ව අල්ලා ගැනීමට උත්සාහ කරයි. උඩු යටිකුරු මානයේ ආක්රමණවලට එලවන් වගකිව යුතු යැයි ආචාර්ය කේ ඇතුලු හමුදාවේ බුද්ධි අංශ විශ්වාස කරයි.
මේ අතර විල් බයර්ස්ව පැහැරගෙන ගිය දින සංවත්සරය ලං වෙමින් තිබියදී යල්ත් අත්භූත සිදුවීම් සිදුවෙයි. විල්ට තවමත් වෙක්නා සමඟ මානසික සම්බන්ධතාවක් තිබෙන අතර ඩෙමගෝගන් සත්වයින් දකින දෑ දැකීමේ හැකියාව මෙන්ම වෙක්නාගේ බලපෑමට යටත්ව සිටින කුඩා දරුවන් ගැන යම් සංවේදනයක්ද ඔහුට තිබේ.
වෙක්නා කුඩා දරුවන් ඉලක්ක කරගෙන දරුණු වැඩ පිලිවෙලක් අරඹා තිබෙන බව නැන්සිගේ කුඩා සොයුරිය වන හොලී වීලර් ඔවුන්ගේ නිවසේදීම ඩෙමගොගන් සත්වයෙකු විසින් පැහැර ගැනීමෙන් තහවුරු වේ.
Comments
Post a Comment