Related Posts Plugin for WordPress, Blogger...

Monday, 3 July 2017

HISTORY : බුදුරුවගල මහායාන සෙල් රූප | Buduruwagala Mahayana Rock Carvings

Buduruwagala Rock Carvings : Photo Credit - Terence K Arachchi 20/02/2016
 ඌව පළා‍‍තේ මොණරාගල දිස්ත්‍රික්ක‍‍යේ වැල්ලවාය ප්‍රාදේශීය ‍ලේකම් ‍කොට්ඨාසයේ බුදුරුවගල ග්‍රාම නිලධාරි වස‍‍මේ බුදුරුවගල ග්‍රාමයේ පිහිටා ඇත. වැල්ලවාය නගර‍යේ සිට තිස්සමහාරාම මාර්ගයේ කි.මී. 4 ක් ගියවිට හමුවන බුදුරුවගල පාසල ඉදිරිපස ඇති අතුරු මාර්ග‍යේ කි.මී.3 ක් පමණ ගියවිට මෙම ස්ථානයට ළඟාවිය හැකි ය. මෑත කාලයක් වනතුරුම මෙම ප්‍රදේශයේ අලි ඇතුන්ගෙන් ගහණ හුදකලා ප්‍රදේශයක් වශයෙන් පැවැතුණි.




දැනට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවය. හිටි ඉරියව්වෙන නිරූපිත මෙහි උස මීටර 13 ක් (අඩි 46 ක් පමණ) පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය. පිහිටි පර්වතයක අර්ධ උන්නතව ‍‍‍නෙළන ලද ක්‍රි.ව.8-10 ශත වර්ෂවලට අයත් (එනම් මීට වසර 1000කට පමණ පෙර නෙළන ලදයි ) යැයි සැල‍‍කෙන මූර්ති 7 ක් ‍‍මෙම ස්ථාන‍යේ දක්නට ලැ‍බේ. සප්ත මහායාන මූර්ති ‍‍ලෙස සැලකෙන මෙහි මධ්‍ය‍යේ ප්‍රධාන බුදුරුව සහ ‍‍‍දෙපස පරිවාර මුර්ති 3 බැගින් දක්නට ලැබේ. කලා නිර්මාණයන්ගේ ස්වභාවය අනුව මහායානිකයන් විසින් කළ නිමැවුමක් බව පුරාවිද්‍යාඥයන්ගේ අදහස වෙයි.

මැද රූපය - මතු බුදුවන මෛත්‍රී බුදුන්වහන්සේ | මෛත්‍රී බුදුන්ගේ වමත දෙසින් වජ්‍රපානී බෝධිසත්වයින් වහන්සේ | මෛත්‍රී බුදුරුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්වයානන් වහන්සේයි.   : Photo Credit - Terence K Arachchi 20/02/2016
 බුද්ධ ප්‍රතිමාවක් ප්‍රධාන කොට තවත් බෝසත් ප්‍රතිමා නිසා ප්‍රචලිත වූ ස්ථාන ඓතිහාසික මෙන්ම කලාත්මක අතින් ද වැදගත් විශේෂිත පුරාවිද්‍යා බිමකි. ගල් බිතුවක් මත දැවැන්තව නෙළා ඇති බුදුරුව නිසා මෙතන නාමය බුදුරුවගල වශයෙන් ප්‍රසිද්ධියට පත් වූවා විය හැක. එහෙත් පුරාණ ස්ථාන නාමය, කවුරුන් විසින් කවර දා කරන ලද්දැක්දැයි යන බවත් අද වන තුරු නිශ්චිතව තහවුරු කර ගෙන නොමැත.

ගල් පව්වේ බිත්තිය මධ්‍යයේ දැවැන්ත ප්‍රතිමා නෙලා ඇත්තේ අර්ධ උන්නතව ය. බුදුරුව දෙපස පරිවාර ප්‍රතිමා තුන බැගින් දර්ශනය වෙයි. බුද්ධ ප්‍රතිමාවේ විශාලත්වය සහ දෙපස සෙසු ප්‍රතිමාවන්ගේ ස්වරූපය නිසා මෙය දීපංකර බුදුරදුන්ගේ පිළිබිඹුවක් බව අනුමාන කෙරේ. පිළිමයේ විශාලත්වය අනුව බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ස්වරූපය ඉස්මතු වන බව මහායානිකයන් කල්පනා කළ බව පෙනෙයි.

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව - දීපංකර බුදුන්වහන්සේ : Photo Credit - Terence K Arachchi 20/02/2016

 මේ පිළිබඳව ‘ඓතිහාසික බුදුරුවගල’ නම් ග්‍රන්ථයේ ආචාර්ය මාලිංග අමරසිංහ මෙසේ සඳහන් කර තිබෙයි. ‘ක්‍රි.ව. 6 වන සියවසට අයත් මහායාන වාස්තු විද්‍යා ශාස්ත්‍ර ග්‍රන්ථයක් වන ‘මංජු ශශ්‍රී භාෂිත චිත්‍ර කර්ම ශාස්ත්‍ර’ නම් කෘතියේ මහායාන බෝධිසත්වවරු අට දෙනෙක් පිළිබඳව සඳහන් වෙති. මේ නිසා එකල සමාජයේ මේ බෝධිසත්වවරුන් පිළිබඳ දැන සිටින්නට ඇති අතර ඇතැම්විට ඔවුන්ගේ ප්‍රතිමා ද නෙළන්නට ඇතැයි සිතිය හැක. විශේෂයෙන් රුහුණේ මෙවැනි විශාල බෝධිසත්ව ප්‍රතිමා නිර්මාණය කර තිබීම තුළින් පැහැදිලි වන්නේ මේ කාලයේ මහායාන බුදු දහම රෝහණ දේශයේ වඩාත් ප්‍රචලිතව පැවැතුණු බව ය.’

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ දකුණු පස ඇති ප්‍රතිමා ත්‍රිත්වයේ මැද නෙළා ඇත්තේ අවලෝකීතේශ්වර බෝධි සත්ව ප්‍රතිමාවකි. එහි උස මීටර් 7.16 කි. (අඩි 25 කට ආසන්නය) එම ප්‍රතිමාවේ වම් පසින් නෙළා ඇති ත්‍රිභංග ඉරියව්ව පිළිබිඹු කරන තාරා දේවී ප්‍රතිමාවේ උස මීටර් 5.98 ක් පමණ වෙයි. (අඩි 21 ක් පමණ) මහායානිකයන්ට අනුව තාරාදේවිය අවලෝකීතේශ්වර බෝධිසත්වයන්ගේ භාර්යාවය.

අවලෝකිතේශ්වර බෝධිසත්වයානන් වහන්සේ හා තාරා දේවිය : Photo Credit - Terence K Arachchi 20/02/2016

මෙම ප්‍රතිමාව හැර අනෙකුත් සෑම ප්‍රතිමාවක්ම සමභංග ඉරියව්වෙන් නෙළා ඇතත් මෙහි ඇති ස්ත්‍රී රූපය ත්‍රිභංග ස්වරූපයෙන් නෙළා ඇත්තේ ස්ත්‍රී ලාලිත්‍ය වඩා හොඳින් නිරූපණය කිරීමට අවශ්‍ය වූ නිසා යැයි සිතිය හැකි ය. අවලෝකිතේශ්වර බෝධි සත්ව රූපයයේ දකුණු අත පැත්තේ දකින්නට ලැබෙන ප්‍රතිමාව සුධන කුමාර ප්‍රතිමාවයි. මහායාන සම්ප්‍රදායට අනුව සුධන කුමාරා ද බෝධිසත්වවරයෙකි. එහි උස මීටර් 6.53 ක් පමණ වෙයි. (අඩි 23 ක් පමණ)

ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවේ වම් පසින් දිස්වෙන රූප ත්‍රිත්වයේ මැද නෙලා ඇති ප්‍රතිමාව මතු බුදු බව ලබන මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවය. මෙහි උස මීටර් 7.3 කි. (අඩි 25 1/2 ක් පමණ) එම බෝධිසත්ව රූපයේ වම් අත පැත්තේ නෙලා ඇති ප්‍රතිමාව වජ්‍රපානී බෝසත් ප්‍රතිමාවය. මෙහි උස මීටර් 6.4 කි. (අඩි 22.4 ක් පමණ) වජ්‍රපානී බෝසතුන්ගෙන් ධර්මයේ හඬ සහ එහි ආරක්‍ෂාව සංකේතවත් කරනු ලබන බව කියැවෙයි.

මෛත්‍රී බෝසත් රුවෙහි දකුණු අත පැත්තේ නෙලා ඇති රුව මංජු ශ්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. මෙමඟින් මහායාන සම්ප්‍රදායට අනුව මහා ප්‍රඥාව සංකේතවත් කරවනු ලබයි. ඔහු මෛත්‍රී බෝධිසත්වයන්ගේ ධර්මාචාර්යවරයා මෙන්ම උපදේශකවරයා ද වන බව මහායානිකයන්ගේ මතය වේ.

මේ අනුව බුදුරුවගල ඇති ප්‍රතිමා හත වම් අත සිට දකුණට පිළිවෙලින් නම් කළහොත් මෙසේ හඳුනාගත හැකිය. සුධනකුමාර, යෝගී අවලෝකීතේශ්වර, තාරා, දීපංකර බුද්ධ, මංජු ශශ්‍රී, මෛත්‍රී හා වජ්‍රපානී වශයෙනි.
මෙම පිළිම නෙළු මහා ශෛලමය බිත්තිය ඉතා දැඩි බවක් ඇති නිසා සෑම පිළිමයක්ම නෙලීමට ශිල්පීන්ට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වී ඇති බවක් පෙනෙයි. ඒ නිසා එම පිළිම සියල්ල නෙලා ඇත්තේ අර්ධ උන්නත ආකාරයට ගලේ ස්වාභාවික හැරීම් ආදිය ප්‍රයෝජනයට ගනිමින් ය.

මෙහි දිස්වන ස්වරූපය අනුව ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව නෙලීමේ දී ද මෙම අපහසුතාවයට ශිල්පියා මුහුණ දී තිබෙන බව එහි ස්වරූපය අනුව සිතා ගත හැක. පිළිමයේ මුව හතරැස් ය. සිවුරේ සියුම් රැළි ආදිය ගලේ ස්වරූපය නිසා නිසි පරිදි මතු කර පෙන්වීමට නොහැකි වී තිබේ. එම අඩුපාඩුව මැකීමට පිළිම මතුපිටින් හුණු ආලේප කර පිළිමය නිසි ආකාරයට සකස් කර ඇති බවක් පෙනේ. අද එම බදාම ස්ථරයන් දකින්නට නැතත් එහි ශේෂ කොටස් තැන තැන දිස් වෙයි.

සුධන කුමාර සහ මෛත්‍රී බෝසත්වරුන්ගේ පිළිමයන්හි විස්තර තරමක් දුරට ඉතිරිව තිබේ. මෙහි වටකුරු මුහුණු ආදියේ විචිත්‍ර බවක් පෙන්නුම් කරයි.

ඒ අපහසුතා කෙසේ වුවද මහා රළු ගල් තලාවක මුහුණත එක දිගට මෙම ප්‍රතිමා පෙළ නෙලා ගලෙන් සියුම්ව මතු කර ගැනීමට නොහැකි අඩුපාඩු මකාගැනීමට හුණු බදාම ස්ථරයන්ගෙන් පුරවා ඒ ඒ පිළිම වලට අදාළ සුදු, රන්වන්, රතු ආදී පැහැයන්ගෙන් අලංකාර කරමින් එදා නිර්මාණ ශිල්පියා දැවැන්ත අභියෝගයක් ජයගෙන තිබේ. ඒ අනුව පිළිම නෙළු කාලයේ දී මෙම ගල් බිත්තිය ඉතා අලංකාරව විචිත්‍ර පැහැයන්ගෙන් දර්ශනය වී තිබෙන්නට ඇත.

 මෙම ලිපිය සම්පාදනය කිරීමේදී පහත මූලාශ්‍රවලින් උපුටාගන්නා ලදී.

http://www.lonelyplanet.com/sri-lanka/the-hill-country/wellawaya/sights/landmarks-monuments/buduruwagala
http://www.lakehouse.lk/budusarana/2012/07/26/tmp.asp?ID=temp02
http://www.archaeology.gov.lk/web/index.php?option=com_content&view=article&id=145:buduruwagala&catid=51:sites&Itemid=99&lang=si






__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...