New Power Unit Suppliers and New Players like Audi and Cadillac
2026 වසරේ සිට ෆෝමියුලා 1 තරගාවලිය සඳහා නව පෙනුමකින් යුත් මෝටර් රථ හඳුන්වා දීමට නියමිත අතර, ඒ සඳහා නවීකරණය කරන ලද වායුගතික (Aerodynamic) සැලසුම් සහ බල ඒකක (Power Unit) නීති මාලාවක් ද ක්‍රියාත්මක වනවා.
මෙම නව නීති මාලාව දැනට සිටින ෆෙරාරි සහ මර්සිඩීස් වැනි එන්ජින් නිෂ්පාදකයින් දිරිමත් කරනවා සේම, ෆෝඩ් සමග හවුලේ අලුත් එන්ජිමක් නිර්මාණය කරනන්ට සැරසෙන රෙඩ්බුල් රේසින් කණ්ඩායමට අනුබද්ධ රෙඩ්බුල් ෆෝඩ් පවර්-ට්‍රේන්ස්, 2026දී F1 කණ්ඩායමක් ලෙස එක්වෙන ජර්මනියේ අව්ඩි හා 2026 අලුතෙන් එකතුවන අනෙක් කණ්ඩායම වන ජෙනරල් මෝටර්ස් සමාගමේ කැඩිලැක් රේසින් කණ්ඩායමද වනවා.
එමෙන්ම කලින් රෙඩ්බුල් F1 කාරයට එන්ජින් සැපයූ හොන්ඩා, එම ගිවිසුම අවසන්වූ පසු ඇස්ටන් මාටින් F1 කණ්ඩායමේ එන්ජින් සැපයුම් කරුවා ලෙස 2026දී යලිත් කරලියට එනවා.
2026 ෆෝමියුලා වන් කණ්ඩායම් වල නිළ නාමයන්, ඔවුන්ගේ එන්ජින් සැපයුම් කරුවන් හා තාක්ෂණික පාර්ශවකරුවන්.
Shorter, faster more agile cars for 2026
FIA ඉදිරිපත් කර ඇති නව නියාමන වලට අනුව 2026 තරඟවලට එක්වන කාර් 2025 තරඟකල කාර්වලට වඩා දිගින් සහ පළලින් අඩු වන අතර, වඩාත් සැහැල්ලු මෙන්ම වේගවත් හැසිරවීමක් සහතික වන ලෙස නියාමන සකස්කර තිබෙනවා.
රථයේ රෝද දෙක අතර පරතරය (Wheelbase) කෙටි කර ඇති බැවින්, වංගු ගැනීමේදී රථය වඩාත් කාර්යක්ෂමව පාලනය කිරීමට (Responsive) හැකි වනු ඇතැයි FIA උපකළ්පණය කරනවා. රථ සඳහා තවදුරටත් අඟල් 18 පිරිලි (Pirelli) ටයර් භාවිත වුවද, ඒවායේ පළල අඩු කර තිබෙනවා. එමඟින් වායු ප්‍රතිරෝධය (Drag) අවම වන අතර රථයේ බර තවත් අඩු වන බවට ඇස්තමේන්තු කරනවා.
එමෙන්ම ඉදිරිපස රෝදවලට ඉහළින් පිහිටි කුඩා ආවරණ (wheel arches) මෙවර ඉවත් කර ඇති බැවින්, රථයේ වායුගතික හැසිරීම වඩාත් ක්‍රමවත් වන අතර එය බර අඩු කර ගැනීමට ද තවත් රුකුලක් වනවා.
Active Aero
FIA ඉදිරිපත් කර ඇති නව නියාමන වල වඩාත්ම සුවිශේෂී වෙනස වන්නේ ‘සක්‍රීය වායුගතික තාක්ෂණය’ (Active Aero) හඳුන්වා දීමයි.
Active Aero නියාමන මගින් ධාවන පථයේ රථය ගමන් කරන ස්ථානය අනුව, එහි ඉදිරිපස සහ පසුපස පියාපත්වල (Wings) කෝණයන් වෙනස් කිරීමට රියදුරාට හැකියාව ලැබෙනවා. වංගු සහිත ප්‍රදේශවලදී රථයේ ග්‍රහණය (Grip) උපරිම ලෙස පවත්වා ගැනීම සඳහා මෙම පියාපත් සැකසෙන අතර, අධික වේගයක් අවශ්‍යවිටදී, එයට අනුරූපව පියාපත් හැඩ වෙනස් කරගැනීමට හැකිවීම නියාමනවල ප්‍රධාන අරමුණ ලෙස ගන්නට පුලුවන්.
ඉහත සඳහන් කල ආකාරයට සෘජු ධාවන තීරුවලදී (Straights) වායු ප්‍රතිරෝධය අවම කරන විශේෂ පියාපත් සැකසුම් මාදිලියක් (Low-drag mode) ක්‍රියාත්මක කිරීමට රියදුරන්ට හැකියාව ලැබෙනවා. එවිට මෙම පියාපත් හැඩය මදක් වෙනස් කොට එමඟින් වායු ප්‍රතිරෝධය අඩු වී උපරිම වේගයක් ලබා ගැනීමට රියදුරාට ඉඩ ලැබෙනවා. විශේෂත්වය වන්නේ මෙම පහසුකම සෑම වටයකදීම භාවිතා කිරීමට සෑම රියදුරෙකුටම අවස්ථාව හිමි වීමයි.
ඒ අනුව වඩාත් සක්‍රියව ඉදිරියෙන් යන තරඟ කරුවන් ඉස්සර කරගෙන යාමේ අවස්ථාව රියදුරන්ට ලැබීමෙන් සෑම තරඟවාරයක්ම වඩාත් ත්‍රීව්‍ර වනවා.
2026 තරග වාරය සඳහා FIA ආයතනය හඳුන්වා දී ඇති තාක්ෂණික රීති මාලාවේ සුවිශේෂී අංගයක් වන්නේ ‘ඕවර්ටේක් මෝඩ්’ (Overtake Mode) හෙවත් පසුකර යාමේ විශේෂ සැකසුමයි.
මෙතෙක් භාවිත වූ DRS (Drag Reduction System) ක්‍රමය වෙනුවට හඳුන්වා දෙන overstake mode මගින් තරගකරුවන්ට එකිනෙකා පසුකර යාම වඩාත් පහසු කරවයි. යම් රියදුරෙකු නියමිත පරීක්ෂණ ලක්ෂ්‍යවලදී (Detection points) තමන්ට ඉදිරියෙන් සිටින රථයට වඩා තත්පරයකට වඩා අඩු කාලයක පරතරයක් පවත්වා ගන්නේ නම්, ඔහුට/ඇයට මෙම විශේෂ ඔවර්-ටේක් මෝඩ් පහසුකම ක්‍රියාත්මක කරන්න පුලුවන්.
එවිට රථයට අමතර විද්‍යුත් ශක්තියක් (Electrical energy) මුදා හැරෙන අතර, ඉහළ වේගයන් යටතේ කිලෝවොට් 350ක (350 kW) උපරිම විද්‍යුත් ජවයක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින රථය පසුකර යාමට අවශ්‍ය ජවය රියදුරාට හිමිවෙනවා.
2026 ෆෝමියුලා 1 රීති මාලාව යටතේ හඳුන්වා දෙන ‘බූස්ට් මෝඩ්’ (Boost Mode) යනු රියදුරු විසින්ම පාලනය කරනු ලබන විශේෂාංගයක් වන අතර, එමඟින් ධාවන පථයේ ඕනෑම ස්ථානයකදී බලශක්ති පද්ධතියේ උපරිම ශක්තිය භාවිත කිරීමට අවස්ථාව හිමි වෙනවා. මෙමගින් රථයේ පැට්‍රල් එන්ජිමෙන් ලැබෙන ජවයට වඩා තවත් අමතර ජවයක් රථයේ රෝද වලට සවිකර ඇති මෝටර් හරහා ලැබෙන නිසා රථය ක්ෂණිකව වේගවත් වෙනවා.
ප්‍රතිවාදී මෝටර් රථයකට සමීප වූ විට පමණක් භාවිත කළ හැකි ‘ඕවර්ටේක් මෝඩ්’ මෙන් නොව, මෙම ‘බූස්ට් මෝඩ්’ පහසුකම තරගය පුරා ඕනෑම අවස්ථාවක භාවිත කළ හැකි වීම විශේෂත්වයක්.
මෝටර් රථයේ බැටරිය තුළ ප්‍රමාණවත් ආරෝපණයක් පවතින්නේ නම්, සුක්කානම මත පිහිටි විශේෂ ‘බූස්ට් බොත්තම’ (Boost Button) එබීමෙන් රියදුරන්ට මෙය ක්‍රියාත්මක කරන්න පුලුවන්.
ප්‍රතිවාදියෙකුට පීඩනයක් එල්ල කරමින් හඹායාමට මෙන්ම තමන්ගේ ස්ථානය ආරක්ෂා කර ගනිමින් ආරක්ෂිතව රිය ධාවනය කිරීමට ද රියදුරන්ට මෙමඟින් මහඟු සහයක් හිමි වෙනවා.
New Engine (Power Unit) Regulations
2026 වසරේ සිට ක්‍රියාත්මක වන නව නීති මාලාව යටතේ ෆෝමියුලා 1 බල ඒකකයන්හි (Power Units) සැලකිය යුතු තාක්ෂණික විප්ලවයක් සිදුවීමට නියමිතය. එහි මූලිකාංග මෙසේය:
එන්ජිම: මූලික සැලසුම වෙනස් නොකරමින්, තවදුරටත් ලීටර් 1.6 ක V6 Turbocharged අභ්‍යන්තර දහන එන්ජිම (ICE) බලපද්ධතියක් ලෙස පවත්වා ගැනීමට 2026 නියාමන වලින් සිදුකරනවා.
බල ශක්ති බෙදීයාම: මෙතෙක් පැවති ක්‍රමය වෙනුවට, එන්ජිමෙන් ලැබෙන ජවය සහ විද්‍යුත් ජවය අතර පරතරය ආසන්න වශයෙන් 50:50 මට්ටමකට ගෙන එනු ඇත. මීට පෙර එන්ජිමෙන් කිලෝවොට් 560 ක් පමණ ලැබුණු අතර විද්‍යුත් පද්ධතියෙන් ලැබුණේ කිලෝවොට් 120 ක් වැනි සුළු ජවයකි. නව නියාමන අනුව රථයේ බල උත්පාදනය ඉන්ධන එන්ජිම හා බැටරි පද්ධතියට සම්බන්ධකල මෝටර මගින් සම-සමව (50:50) ජනනය කරන ලෙස 2026 F1 කාර් රථවල බලපද්ධතිය (Power Unit) නිර්මාණය කල යුතුයි.
MGU-H පද්ධතිය ඉවත් කිරීම: පිටවන වායුව (engine exhaust gas) මගින් ශක්තිය නිපදවූ, සංකීර්ණ මෙන්ම අධික පිරිවැයක් දැරීමට සිදු වූ MGU-H ඒකකය 2026 සිට ඉවත් කරනු ඇත. එමගින් රථයේ බර මෙන්ම පිරිවැය ද අවම වේ.
MGU-K පද්ධතියේ කාර්යය වැඩි කිරීමේ නියාමනය: චලන ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් කරන MGU-K පද්ධතියේ ප්‍රතිදානය කිලෝවොට් 120 සිට 350 දක්වා තෙගුණයකින් වැඩි කල යුතු බවට 2026 නියාමන නිර්දේශ කරනවා. මෙමඟින් සෘජු මාවත්වලදී වැඩි වේගයක් ලබා ගැනීමටත්, පසුකර යාම් (Overtaking) සාර්ථක කර ගැනීමටත් හැකි වෙනවා.
එන්ජින් ජවය සීමා කිරීම: වැඩි දියුණු කළ විද්‍යුත් ජවය සමඟ සමබරතාවයක් ඇති කිරීම සඳහා අභ්‍යන්තර දහන එන්ජිමේ ජවය කිලෝවොට් 400 ක් දක්වා සීමා කර තිබෙනවා.
තිරසාර ඉන්ධන භාවිතය: 2030 වන විට කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ ඉලක්කය වෙනුවෙන්, සියලුම රථ සඳහා පරිසර හිතකාමී තිරසාර ඉන්ධන (Sustainable Fuels) භාවිතය අනිවාර්ය කර ඇත. මේවා වායුගෝලීය කාබන් සහ අපද්‍රව්‍ය ඇසුරින් නිපදවනු ලබන ඉහළ ප්‍රමිතියෙන් යුත් ඉන්ධන වර්ගයකි."
Comments
Post a Comment