2026 වසරේ ලෝකයේ වැඩිම අවධානයක් දිනාගන්නා තාක්ෂණය බවට පත්වන්නේ OpenAI සමාගමේ GPT-5 නොව, චීනයේ අලිබාබා සමාගම හඳුන්වා දුන් Qwen කෘත්‍රිම බුද්ධි (AI) ආකෘතිය බව Wired සඟරාව පසුගිය බ්‍රහස්පතින්දා අනාවැකියක් පළ කළා. ලෝකයේ තාක්ෂණික දැවැන්තයින් වන OpenAI සහ Meta සමාගම්වල නවතම AI මාදිලි පිළිබඳව පැවති ඉහළ බලාපොරොත්තු කඩා වැටෙමින් පවතින බව Wired සඟරාව පෙන්වා දෙනවා. 2025 වසරේ තාක්ෂණික ලෝකයේ විශාල පෙරළියක් කරනු ඇතැයි සිතූ Open AI GPT 5, Microsoft Copilot වැනි මාදිලි, සමාගම් දුන් පූර්ව ප්‍රචාරයට වඩා ඉතාමත් අඩු කාර්යසාධනයක් ඇති බවයි බොහෝ දෙනා පවසන්නේ.
GPT-5 ගැන පැවති සිහිනය බොඳ වෙයි
පසුගිය 2025 අගෝස්තු මාසයේදී නිකුත් වූ OpenAI සමාගමේ GPT-5 මාදිලිය, ඒ පිළිබඳව තිබූ අහස උසට තිබූ බලාපොරොත්තු ඉටු කිරීමට අසමත් වී තිබෙනවා. OpenAI CEO සෑම් ඕල්ට්මන්, තමුන්ගේ අලුත්ම ChatGPT 5 මාදිලිය ඕනෑම විශයක් ගැන PhD මට්ටමේ දැනුමකින් සන්නද්ධ බව මාධ්‍ය සාකච්ඡාවලදී උදම් ඇනුවත්, ප්‍රායෝගිකව ඉතාමත් දියාරු එකක් බව භාවිතා කරන්නන් GPT 5 නිකුත් කර දින කිහිපයකින්ම පැමිණිලි කරන්න පටන් ගත්තා.
ප්‍රකට AI පර්යේෂකයෙකු වන ගැරී මාකස් GPT-5 හඳුන්වා දුන්නේ "ප්‍රමාද වී පැමිණි, අනවශ්‍ය ලෙස ප්‍රසිද්ධියක් ලබා දුන්, නමුත් කිසිදු සුවිශේෂී බවක් නැති" (overdue, overhyped and underwhelming) නිර්මාණයක් ලෙසයි. ඔහු පවසන්නේ මෙය නිකුත් වී පැය කිහිපයක් යන්නටත් මත්තෙන්, මිනිසුන් එහි ඇති විහිළු සහගත වැරදි අන්තර්ජාලයට මුදා හරිමින් සිටි බවයි.
GPT-5 ට පමණක් නොව, 2025 අප්‍රේල් මාසයේදී නිකුත් වූ Meta සමාගමේ Llama 4 මාදිලියට ද අත්වූයේ එවැනිම ඉරණමකි. අනෙකුත් තරගකාරී මාදිලි හා සසඳන විට Llama 4 හි ක්‍රියාකාරීත්වය ඉතා පහළ මට්ටමක පවතින බව මෘදුකාංග සංවර්ධකයින්ගේ අදහසයි.
මීට පෙර පැමිණි AI මාදිලි ලෝකයේ තාක්ෂණික සන්ධිස්ථාන සලකුණු කළද, මෙම නවතම නිකුත් කිරීම් එම ගමන ආපස්සට හරවා ඇති බව විචාරකයින් පවසති. මෙම පසුබෑම හමුවේ චීනයේ අලිබාබා වැනි සමාගම්වල නිෂ්පාදන ඉදිරියට ඒමට ලොකු අවස්ථාවක් නිර්මාණය වී තිබේ.
AI තරඟයෙන් චීනය වේගයෙන් ඉදිරියට
තාක්ෂණික ලෝකයේ බලවතුන් අතර පවතින AI සටනේදී චීනය දැන් ඇමෙරිකාවට වඩා සැලකිය යුතු මට්ටමකින් ඉදිරියට පැමිණ තිබෙනවා.
කෘත්‍රිම බුද්ධි මාදිලි තාක්ෂණයේ ඉදිරියෙන්ම සිටින Open Source Software සමාගමක් වන HuggingFace දත්තවලට අනුව, 2025 ජූලි මාසයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට චීන AI මාදිලි බාගත කිරීම් (downloads) ප්‍රමාණය අතින් ඇමෙරිකානු මාදිලි අභිබවා ගොස් තිබෙනවා.
මෙහි විශේෂත්වය වන්නේ මෑත මාසවල සිදු වූ මුළු download කිරීම් ප්‍රමාණයෙන් 50%කට වඩා වැඩි ප්‍රතිශතයක් අලිබාබා සමාගමේ Qwen මාදිලිය හිමිකරගෙන තිබීමයි. මේ වන විට Qwen මාදිලි මාලාව වාර මිලියන 600කට වඩා වැඩි වාර ගණනක් download කර තිබීම විශේෂත්වයක්.
ලොව ප්‍රකට නවාතැන් පහසුකම් සපයන ජාලය වන Airbnb හි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රයන් චෙස්කි පසුගිය ඔක්තෝබර් මාසයේදී අනාවරණය කළේ, තම සමාගම දැන් වැඩි වශයෙන් Qwen මාදිලි මත විශ්වාසය තබන බවයි. ඔහු පවසන්නේ Qwen "ඉතා උසස්, වේගවත් මෙන්ම ලාභදායී" තාක්ෂණයක් බවයි.
මීට පෙර ඔවුන් ChatGPT භාවිතා කිරීමට උත්සාහ කළද, එය ඔවුන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන මට්ටමක නොතිබූ බව ඔහු පැහැදිලි කලා.
මීට අමතරව, ලොව ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් වන Nvidia සහ Perplexity මෙන්ම, ලොව විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන BYD සමාගම ද තම වාහනවල ස්මාර්ට් පාලක පුවරු (dashboards) සඳහා Qwen තාක්ෂණය ඒකාබද්ධ කර ඇත.
වඩාත්ම පුදුමයට කරුණ වන්නේ, Meta (ෆේස්බුක්) සමාගම පවා තම නවතම රහසිගත AI ව්‍යාපෘතිය වන "Avocado" පුහුණු කිරීම සඳහා Qwen මාදිලිය යොදාගන්නා බවට Bloomberg පුවත් සේවය වාර්තා කිරීමයි. ඇමෙරිකානු සමාගම් චීන තාක්ෂණයට එරෙහිව දැඩි තරගයක නිරත වුවද, ප්‍රායෝගිකව ඔවුන්ගේ නව නිෂ්පාදන සඳහා චීනයේ Qwen තාක්ෂණය මත යැපීමට සිදුවීම ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව තිබේ.
Comments
Post a Comment