අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

SCIENCE FICTION : ටර්මිනල් කෝඩ් - අපේ අලුත්ම විද්‍යා ප්‍රබන්ධය

CHAPTER 00000 අළුයම 2.35, ගුවන් තොටුපොල ධාවන පථයේ ඊසානදිග අන්තය, ශ්‍රී ලංකා ගුවන් හමුදා අධි ආරක්ෂිත කලාපය, කටුණායක. තද කළු පැහැති සටන් ඇඳුමකින් සැරසුනු ඔහු සීරුවෙන් පය තැබුවා. ඊලාම් යුධ සමයේ ගුවන් හමුදා යානා නඩත්තු සිදුකල හැඟර් ගොඩනැගිල්ලක් වූ මෙය, යුද්ධයෙන් පසු අතහැර දමා තිබුණා. පිටතට සුවිසල් ගබඩාවක් මෙන් පෙනෙන මෙය තුල දකුණු ආසියාවේ අතිවිශාලතම පරිගණක මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බව දන්නා ශ්‍රී ලාංකිකයින් ගණන අතැඟිලි ගණනටත් වඩා අඩුයි. කටුණායක ධාවන පථය අසල ඇති අතහැර දැමූ විශාල ගුවන්යානා නඩත්තු හැඟරය, බ්‍රිතාන්‍යයේ ඉලෙක්ට්‍රොණික හා සංඥා බුද්ධි අංශය වන GCHQ හා එහි ඇමරිකානු ප්‍රතිරූපය වන NSA ඒජන්සිය මගින් ඒකාබද්ධව පවත්වාගෙන, යන ලොවම ආවරණය වන චන්ද්‍රිකා හා ෆයිබර් ඔප්ටික් අධිවේගී දත්ත සම්ප්‍රේෂණ ජාලයේ එක් පර්යන්තයක් බවට පත්වුනේ 2010 වසරේදීයි. ශ්‍රී ලංකා ගුවන්හමුදා අධි ආරක්ෂිත කළාපයක් ලෙස උස් වැටවල් වලින් හා කැමරාවලින් ආරක්ෂාවූ මෙය තුල විශාල පරිගණක සර්වර් පද්ධතියක් හා චන්ද්‍රිකා සමග තත්පරයකට ටෙරාබයිටයක තරම් වේගයෙන් දත්ත හුවමාරු කරන ඩිජිටල් VSAT පද්ධතියක් තිබුණා. පාකිස්ථානය වැනි ද...

NORTH KOREA CRISIS : උතුරු කොරියාව අද තවත් මිසයිලයක් අත්හදා බලලා!!


අමෙරිකානු හා දකුණු කොරියානු බළධාරීන්ට අනුව, උතුරු කොරියාව අද තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකලා. මධ්‍යම දුර මිසයිලයක් ලෙස සැළකෙන මෙය කිලෝමීටර් 560ක් ඉහලට ගමන් කොට නැවත මුහුදට ඇදවැටී තිබෙනවා.

අමෙරිකානු පැසිෆික් අණදෙන මූලස්ථානය සිය රේඩාර් හා නිරීක්ෂණ යානා මගින් මෙම මිසයිල අත්හදා බැලීම තියුණු අධ්‍යයනයකට ලක් කොට තිබෙනවා.

උතුරු කොරියාව මීට සමාන මිසයිලයක් පෙබරවාරියේ අත්හදා බලා තිබෙනවා. පෙබරවාරියේදී ජංගම විදිනයක් මගින් දියත්කල  Pukguksong-2 වර්ගයේ මිසයිලය ඝණ ඉන්ධන මිසයිලයක් ලෙසයි සැළකෙන්නේ. 

උතුරු කොරියාව ඝණ ඉන්ධන රොකට් තාක්ෂණය දියුණු කරගැනීම කලාපයට බලවත් තර්ජනයක් බව දකුණු කොරියාව පවසනවා. ඝණ ඉන්ධන රොකට්ටු ඉතා ඉක්මණින් දියත්කල හැකි අතර, පහසුවෙන් ප්‍රවාහණය කල හැකියි. ද්‍රව ඉන්ධන මිසයිල දියත්කිරීමට පෙර ඉන්ධන පිරවිය යුතු අතර ඒ සඳහා ඉන්ධන ටැංකි සහිත පරිවාර රථ  ගණනාවක් අවශ්‍ය නිසා චන්ද්‍රිකා මගින් එවැනි දියත්කිරීම කල්තබා හඳුනාගත හැකියි. 

උතුරු කොරියාවේ අරමුණ ඉතා ඉක්මණින් ඇමරිකා එක්සත් ජනපදයට පහර දිය හැකි අන්තර්-මහද්වීපික බැලිස්ටික් මිසයිලයක් (ICBM) නිපදවා ගැනීමයි. මේ සඳහා පහසුම මාර්ගය ඝණ ඉන්ධන රොකට් තාක්ෂණය දියුණු කරගැනීම බව පවසන ආරක්ෂක විශේෂඥයි, උතුරු කොරියාවට ICBM මිසයිලයක් නිපදවාගැනීමේ කෙටිම මාර්ගය Pukguksong-2 මිසයිල එන්ජින් කිහිපයක් බූස්ටර් රොකට්ටු ලෙස යොදාගන්නා විශාල රොකට්ටුවක් නිපදවීමයි.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments