Related Posts Plugin for WordPress, Blogger...

Saturday, 20 May 2017

HISTORY : ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය [VIDEO]



ඉබ්බන්කටුව ඓතිහාසික භූමිය

ශ්‍රී ලංකාවේ ප්‍රෙෘඩ ඉතිහාසය විදහා දක්‌වන ස්‌ථාන අතර දෙස්‌ විදෙස්‌ සංචාරක ඇස හරි හැටි නොගැටුණු ස්‌ථානද ගණනාවක්‌ තිබේ. ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි ඉබ්බන්කටුව ඓතිහාසික සුසාන භූමිය එවන් ස්‌ථානයකි.

දඹුල්ලේ සිට කුරුණෑගල කරා දිවෙන මහා මාර්ගයේ කුරුණෑගල දෙසට කිලෝ මීටර් එකහමාරක්‌ පමණ ගොස්‌ දකුණු පසින් ඇති ගුරු පාරේ මීටර් 500 ක්‌ පමණ දුරක්‌ ගිය විට මෙගලිතික යුගයට අයත් මෙම ඓතිහාසික සුසාන භූමිය හමුවේ.

ක්‍රි. පූ. 6 වන සියවසේහි විජයාවතරණයත් සමග සිංහල ජාතිය ආරම්භ වූ බවට සැලකුණද, ප්‍රාග් ඓතිහාසික යුගයේදී පවා ශිෂ්ට සම්පන්න මිනිසුන් සිරිලක වාසය කර ඇති බවට මෙම සොහොන් කොත් මගින් සිතා ගත හැකි බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති.

මිනිසෙකු මිය යැමෙන් පසු ඔහු ආදාහනය කර ලබා ගත් අළු, මැටි බඳුන්වල තැන්පත් කිරීමට තරම් ඉහළ මට්‌ටමක මිනිස්‌ සමාජයක්‌ එකල සිටි බැව් හෙලිවී ඇත.

මෙගලිතික යුගය ලෙස මානව විද්‍යඥයන් විසින් හඳුන්වනු ලබන්නේ මිනිසා යකඩ භාවිතය ආරම්භ කළ යුගයයි.

ඉබ්බන්කටුවේ මෙගලිතික සොහොන්බිමට සමාන සොහොන් කොත් අනුරාධපුර ගෙඩිගේ, පොන්පරිප්පු කන්දරෝදේ යන ස්‌ථානවල කරන ලද කැනීම්වලදී හමුවී තිබේ.

විජය පැමිණෙන්නට පෙර යක්‍ෂ, නාග, රාක්‍ෂ ආදී කණ්‌ඩායම් මෙහි සිටි බව ඔප්පු කිරීමට මේ සොහොන් බිම් කදිම සාක්‍ෂියක්‌ යෑයි කියති.

මෙම ඓතිහාසික සුසාන භූමිය ප්‍රථමවරට හඳුනාගන්නා ලද්දේ 1970 වසරේදී වන අතර එහි මූලික පර්යේෂණ කටයුතු සිදු කර ඇත්තේ හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා විසිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩ සටහන යටතේ මෙම ස්‌ථානය පර්යේෂණයට ලක්‌වූයේ 1982 වසරේ දීය.





ඉබ්බන්කටුව සුසාන භූමිය හෙක්‌ටෙයාර් 10 ක පමණ පැතිරී තිබෙන අතර, එදා මෙහි 40,000 කට අධික ජනවාස සංඛ්‍යාවක්‌ තිබුණු බවට ඓතිහාසික සාධක මගින් සනාථ වී තිබේ.

මෙම ඓතිහාසික සුසාන භූමිය පිළිබඳව ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා සිය ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික උරුමය නමැති ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

"කාමර සහිත සොහොන් ගෙවල් පිළිබඳ ඉතිහාසය ආරම්භ වනුයේ ඉබ්බන්කටුව සොහොන් බිමෙනි. එකම පවුලක හෝ එකම කුලයක කිහිප දෙනකුගේ භෂ්මාවශේෂ එකම සොහොන් ගැබක තැන්පත් කර ඇති ආකාරය ආදර්ශවත්ය. මෙම භෂ්මාවශේෂ තැන්පත් කර ඇත්තේ ඒ සඳහාම විශේෂයෙන් නිපදවා ඇති සොහොන් "කළ ගෙඩි" භාවිත කරමිනි. එක්‌ කාමරයක්‌ ඇති සොහොන්, කාමර දෙකක්‌ ඇති සොහොන් මෙන්ම කාමර කිහිපයක්‌ ඇති සොහොන්ද මෙම සුසාන භූමියේ දැකගත හැකියි. කාමර කිහිපයක්‌ සහිත ලොකු සුසාන ගෙවල් ඉහළ පන්තියේ ඒවා විය හැකිය.

"යම්කිසි රටක ජනතාවගේ සංස්‌කෘතික තත්ත්වයන් නිසි පරිදි අවබෝධ කර ගත හැක්‌කේ ඔවුන්ගේ සුසාන තුළින් යයි පැවසීම සාධාරණය. එවකට සමාජයේ තත්ත්වය මැනැවින් අවබෝධ කර ගත හැක්‌කේ ඒ සමාජයේ මිනිසුන් මිහිදන් කළ ස්‌ථාන හා ඒ වටාපිටාව මගිනි. සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩසටහන යටතේ ඉතා පුළුල්, සමීක්‍ෂණ, ගවේෂණ හා පර්යේෂණවලට භාජනය වූ ඉබ්බන්කටුව සුසාන භූමියෙන් හෙළිවන විසිතුරු ඉතිහාසය රාමායණයේ වාල්මිකී මුනිවරයා සඳහන් කර ඇති අති ශ්‍රේෂ්ට සිංහල සමාජය නොවේද?

මෙම සොහොන් බිමේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබූ බඳුන්වල තිබුණු අක්‍ෂර කියවා බැලූ ආචාර්ය සෙනරත් පරණවිතාන මහතා පවසා ඇත්තේ මේ අක්‍ෂර ඉන්දියාවේ මොහෙන්ජොදාරෝ හරජපා ශිෂ්ටාචාරයෙන් සොයා ගත් මැටි පුවරුවල අක්‍ෂරවලට සමීප බවක්‌ දක්‌නට ඇති බවයි.







__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...