Related Posts Plugin for WordPress, Blogger...

Monday, 3 July 2017

BIOLOGY : නිරක්ෂය පැත්තට ඇලවී තිබෙන පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පයිනස් ගස්


මේ ඡායාරූපයේ දකින්නේ පේරාදෙණිය උද්‍යානයේ තිබෙන පයිනස් ගස් වර්ගයක්. මේවා එක පැත්තටම ඇලවෙලා තියෙන බව ඔයාලට පේනවා ඇති. මේ පයිනස් ගස් වර්ගයට කියන්නේ කුක් පයින් නැතිනම් නිව් කැලිඩෝනියා පයින් කියලයි. මේවා ශීත දේශගුණයේ හැදෙන පයින් ගස් නෙමෙයි. මේවායේ නිජබිම දකුණු පැසිෆික් සාගරයේ නව කැලිඩෝනියානු දූපත්. මේ පයිනස් ගස් නිව්කැලිඩෝනියා දූපතට ආවේණිකයි.

මේ ගස් වලට කුක් පයින් කියලත් හඳුන්වන්නේ මේවා පලමුවරට අධ්‍යනය කරලා තියෙන්නේ කැප්ටන් කුක් ගේ නායකත්වයෙන් ලොව වටා ගමන් කරපු ගවේශණ චාරිකාවකට සම්බන්ධ වෙලා හිටපු යෝහාන් රයින්හොල්ඩ් ෆොස්ටර් කියන උද්භිද විද්‍යාඥයා. ඔහු තමයි  මේවා කුක් පයින් කියලා හඳුන්වන්න පටන් ගත්තේ.

අඩි 200ක් විතර උසට වැඩෙන මේවා හැම විටම ඇලවෙලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් හිතන්නේ සුළඟේ බලපෑමට මෙහෙම ඇලවෙනවා කියලයි. මෑතක් වෙනකම් විද්‍යාඥයින් වුනත් මේ කුක් පයින් ගස් මෙහෙම ඇලවෙන්නේ ඇයි කියලා සොයා බැලුවේ නෑ. මේ ගැන ඉස්සෙල්ලම උනන්දුවක් දැක්වූවේ කැලිෆෝනියා පොලිටෙක්නික් සරසවියේ මැට් රිටර් කියන මහාචාර්යවරයා.

මහාචාර්ය රිටර් නිරීක්ෂණය කල විධියට කැලිෆෝනියාවේ වැවිලා තියෙන හැම කුක් පයින් ගසක්ම දකුණට, ඒකියන්නේ නිර්ක්ෂය (equator) දෙසට ඇලවෙලා තියෙනවා. ඔහු ලෝකේ පුරාම සිටින උද්භිද විද්‍යාඥයින් සමග සම්බන්ධ වෙලා, ඒ රවටල තියෙන කුක් පයින් ගස් ඇලවීමක් පෙන්වනවද? ඒ කොයි පැත්තටද කියන එක සොයා බලන්න කියලා ඉල්ලීමක් කලා. මහාදිවීප පහේම රටවල් ගණනාවක උද්භිද විද්‍යාඥයින් ගෙන් ඔහුට නිරීක්ෂණ වාර්තා ලැබුණා.

වේ හැම වාර්තාවකින්ම කියවුනේ, මේ කුක් පයිනස් ගස් එය පිහිටි රටේ ඉඳලා නිරක්ෂය පැත්තට හැරිලා ඒ පැත්තට ඇලවෙලා තියෙන බවයි. උතුරු අර්ධගෝලයේ ඉඳන් බලනකොට නිරක්ෂය තියෙන්නේ දකුණු පැත්තට. එහේ කුක් පයිනස් හැම ගහක්ම දකුණු පැත්තට ඇලවෙලා නිර්ක්ෂය දෙස බලාගෙන සිටියා. ඔස්ට්‍රේලියාව, ආජන්ටිනාව වගේ දකුණු අර්ධගෝලයේ කුක් පයිනස් උතුරු දිසාවට හැරිලා තිබුණා. ඒ දකුණු අර්ධගෝලයට නිර්ක්ෂය  තියෙන්නේ උතුරින් නිසා. ඒ වගේම නිරක්ෂයෙන් ඈතට යන්න යන්න මේ ගස්වල ඇලවීමත් වැඩියි කියලත් නිරීක්ෂණය වුනා.

ඉතින් හක්ගල උද්‍යානයේ ඉඳන් නිරක්ෂය තියෙන දකුණු පැත්ත කොයි පැත්තද කියලා දැන ගන්න ඕනෑනම්, මේ ගස් දිහා බලන්න. මේ ගස් හැරිලා තියෙන්නේ දකුණට, එනම් නිර්ක්ෂය දෙසට. 

මෙහෙම වෙන්න හේතුවක් විධියට අනුමාන කරන්නේ ග්‍රැවිට්‍රෝපිස්ම් කියන සංසිද්ධිය. ගස් කෙලින් උඩට වැඩෙන්නේ ග්‍රැවිට්‍රෝපිස්ම් කියන සංසිද්ධිය නිසා. ග්‍රැවිට්‍රෝපිස්ම් මගින් ගස් ගුරුත්වාකර්ෂණයට සංවේදී කරන අතර ඒමගින් ගුරුත්වබලයට ප්‍රතිවිරුද්ධ ලෙස ගස උඩට වර්ධනය වනවා. එහෙත් කුක් පයිනස් වලට මේ ග්‍රැවිට්‍රෝපිස්ම් එනම් ගුරුත්ව බලයට ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව නැතැයි කියලා තමයි අනුමාන වෙන්නේ.





__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________
Related Posts Plugin for WordPress, Blogger...