SUPER PHYSICS : කාළ තරණය සිදුකල නොහැකියි??


කැලිෆෝනියා විශ්වවිද්‍යාල පද්ධතියේ බර්කෙලි මණ්ඩපයේ (University of California - Berkeley) මහාචාර්ය රිචර්ඩ් මලර්, කාළය යනු සදාකාලිකව ඉදිරියට යන, කිසිදු ආකාරයකින් ආපස්සට නොයන සංසිද්ධියක් බවට අලුත් මතයක් ප්‍රකාශ කරනවා. මෑතකදී ඔහු විසින් පල කල "NOW: The Physics of Time" නම් පොතෙහි කාළය ඉදිරියට පමණක් යන්නේ කෙසේද? එය එලෙසම සිදුවන්නේ ඇයි? යන්නට පිලිතුරු කල්පිතයක් ගොඩනගා තිබෙනවා. මහාචාර්ය මලර් පවසන අන්දමට කාළය නිරන්තරයෙන්ම ඉදිරියටම ගලා යමින් අලුත් වර්තමානයන් තැනීම සිදුකරන්නේ ඇයි යන්න ඔහුගේ මේ ගවේෂණයට හේතුපාදක වුනා.

මේ කල්පිතය ගොඩ නැගීම සඳහා මලර් අයින්ස්ටයින්ගේ "ස්පෙස්-ටයිම්" කල්පිතය හා "ප්‍රසාරණය වන විශ්වය" යන කල්පිතය යොදාගෙන තිබෙනවා. අයින්ස්ටයින්ගේ ස්පේස්-ටයිම් කල්පිතයට අනුව ත්‍රිමාණ අවකාශයේ සතරවැනි මානය වන්නේ කාළයයි. ඒ අනුව තිමාණ අවකාශයේ වස්තුවක් X,‍Y, Z යන අක්ෂ තුනෙන් පමණක් නොවැරදිව ස්ථාන ගත කල නොහැකි අතර එයට කාළ අක්ෂයද එකතුකල යුතු වනවා.

මලර් පවසන අන්දමට අප ජීවත්වන ත්‍රිමාණ විශ්ව අවකාශයට කාළය සම්බන්ධවන ආකාරය පැහැදිලි කලේ අයින්ස්ටයින් ප්‍රාඥයා. මේ පැහැදිලි කිරීමට තවත් අංගයක්, එනම් විශ්වයේ ප්‍රසාරණය (expansion of the universe) එකතුකල විට කාළය නොකඩවා ඉදිරියට යන්නේ? ඇයි යන්න පැහැදිලි කල හැකියි. 



මලර් කල්පිතය ගොඩනගන අන්දමට මහා පිපුරුමේ සිට විශ්වය නිරන්තර ප්‍රසාණයවීමක නිරතවනවා. මෙහිදී ප්‍රසාරණය වන්නේ විශ්වයේ ත්‍රිමාණ අවකාශය පමණක් නොව කාළයද ප්‍රසාරණය වනවා. ඒ අනුව සෑම මොහොතකම අලුත් කාළය නිමැවෙනවා. විශ්වය ප්‍රසාරණය වන තාක් අලුත් කාළය නිමැවෙමින් ඉදිරියටම යනවා. අපි වර්තමානය "now" ලෙස හඳුන්වන්නේ මෙලෙස අලුතින් නිමැවෙන කාළයටයි.

මලර්ගේ කල්පිතයෙන් සංසිද්ධි දෙකක් ගොඩනැගෙනවා;

1] අනාගතයට යාමක් සිදුකල නොහැකියි. ඒ අනාගතය තවමත් සැකසී නැති නිසා.

2] අතීතයට යාමද සිදුකල නොහැකියි. ඒ කාළය, විශ්වයේ අවකාශය හා අනන්‍යව බැන්දී ඇති නිසා කාලය ආපස්සට යාමට නම් ඊට පෙර ගොඩ නැගී තිබූ අවකාශය විනාශකල යුතු වනවා.

මහාචාර්ය මලර් පවසන අන්දමට ඔහුගේ මෙම කල්පිතය මීට පෙර ගුරුත්ව තරංග (gravity waves) වල පැවැත්ම පර්යේෂණාත්මකව තහවුරු කල LIGO පර්යේෂණය මගින් නිවැරදිද නැද්ද යන්න තහවුරු කරගත හැකියි. කළුකුහර දෙකක් එකිනෙක ගැටෙන විට අලුත් අවකාශ ප්‍රමාණයක් (new space) නිර්මාණය වන අතර මෙම කල්පිතයට අනුව අලුත් අවකාශය සමගම අමතර කාළයක් නිර්මාණය විය යුතුයි. 

පර්යේෂණාගාරයේ සංවේදක වලට මෙම කළුකුහර දෙක ගැටීමේන් නිකුත්වන ගුරුත්ව තරංග හසුකරගැනීමට සැබැවින් ගතවන කාලය හා ගණනය කිරීම් වලදී පෙන්වන කාළය අතර වෙනසක් (මිලිතත්පරයක් පමණ) ඇතිනම් එම අමතර කාළය, ගැටීමේදී නිර්මාණය වූ අලුත් අවකාශයත් සමගම නිර්මාණය වූ අමතර කාළයයි. එනම් ඔහුගේ කල්පිතය නිවැරදියි.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments