බෞද්ධයන් වන අප; බුදුන් වහන්සේ, රහතන් වහන්සේ වැනි සිත ඉතා ඉහලට දියුණු කරගත් උතුමන් සිදුකල පෙලහැර පෑම් ගැන අසා ඇත. මේ සමහර පෙලහරවලදී සිතෙන් භෞතික වස්තූන් පාලනය කිරීම, වෙනස් කිරීම ආදිය සිදුකල බවට විස්තර පවතී. බුදුන් හා මහ රහතුන් සෘද්ධියෙන් වැඩම කරවීම හෙවත් භෞතික වස්තුවක්වූ තම සිරුර, භෞතික විද්‍යාත්මක නියම වලට පටහැනියයි පෙනෙන ආකාරයට අහසින් ගෙන යාම, ක්ෂණයකින් එක් තැනට සිට තවත් තැනකට ගෙනයාම ආදියද එවැනිම දියුණු සිතකින් භෞතික ලෝකයට සිදුකරන බලපෑම් ලෙස සැලකිය හැකිය. කිතුනු පුරාවෘත්ත වලද ජේසුතුමන් ගලීල මුහුදේ ජලය මත ඇවිදීම ආදී ප්‍රාතිහාර්යයන් ගැන සවිස්තරව දක්වා ඇත. මේ සියලු ප්‍රාතිහාර්ය හා පෙලහැරපෑම් වල පොදු ලක්ෂණය නම් චෛතිසික ශක්තිය හෙවත් සිතුවිලි බලය නම් අභෞතික මානසික ක්‍රියාවලිය මගින් භෞතික ලෝකයේ වස්තූන් මෙහෙයවීමයි.
භෞතික විද්‍යාව ගත්කල ක්වන්ටම් විද්‍යාවේ ක්වන්ටම් එන්ටැංගල්මන්ට් හෙවත් ක්වන්ටම් ආංශු දෙකක් අතර ඇති අන්‍යෝන්‍ය පැටලීම විද්‍යාඥයින්ට තවමත් විස්තර කල නොහැකි, එහෙත් පර්යේෂණාත්මකව තහවුරුකොට ඇති සංසිද්ධියකි. ඇල්බර්ට් අයින්ස්ටයින් විසින් "spooky action at a distance" හෙවත් ඈතකදී සිදුවන අමුතු ක්‍රියාව ලෙස හැඳින්වූ ක්වන්ටම් එන්ටැංග්ල්මන්ට් සංසිද්ධියේදී සිදුවන්නේ ක්වන්ටම් අංශු දෙකක් එකිනෙකාට කොතරම් ඈතින් තිබුණත් එක් අංශුවකට සිදුවනදේ අනෙක් අංශුවට දැනීම හෙවත් ඒ අංශුවට බලපෑම් කිරීමයි.
ක්වන්ටම් එන්ටැංගල්මන්ට් සංසිද්ධිය විද්‍යාත්මකව ඔප්පු කිරීම සඳහා 1964දී භෞතික විද්‍යාඥ ජෝන් බෙල් සුප්‍රකට පරීක්ෂණයක් යෝජනා කලා. ද බෙල් ටෙස්ට් ඔෆ් කවන්ටම් එන්ටැංගල්මන්ට් ලෙස හඳුන්වන මේ පරීක්ෂණයේදී පැටලුනු ක්වන්ටම් අංශු දෙකකින් එකක් A නම් ස්ථානයටද, අනෙක B නම් ස්ථානයටද යවන අතර එම ස්ථාන දෙකේ ඇති උපකරණ දෙකක් මගින් එම අංශු දෙකෙහි යම් භෞතික තත්වයක් සටහන් කර ගනී. සටහන් කර ගන්නේ කුමන භෞතික තත්වයද යන්න තීරණය වන්නේ සම්පූණයෙන්ම අහඹු ලෙස වන අතර උපකරණ දෙකෙහි වෙනස් භෞතික තවයන් දෙකක් මනිනු ලැබේ. ලොව පුරා විද්‍යාගාරවල සිදුකරන ලද මේ බෙල් පරීක්ෂණවලදී ක්වන්ටම් එන්ටැංගල්මන්ට් සංසිද්ධිය තහවුරු වී ඇති අතර කොතරම් අහඹුලෙස භෞතික තත්වයන් තෝරාගත්තද එක් අංශුවක් මගින් අනෙක් අංශුව මත සිදුකරන බල පෑම තහවුරුවී ඇත.
කැනේඩියානු භෞතික විද්‍යාඥයෙක් වන ලූෂන් හාඩි, මිනිස් සිතට මෙම ක්වන්ටම් එන්ටැංගල්මන්ට් සිද්ධිය පාලනය කර හැකිද යන්න සොයා බැලීමට වෙනස් ආකාරයක බෙල් පරීක්ෂණයක් යෝජනා කරනවා. මෙහිදී පැටලුනු ක්වන්ටම් අංශු දෙකෙහි මැනගත යුතු භෞතික තත්වය කුමක් දැයි තෝරාගැනීමට මිනිසුන් යොදාගැනීමට අදහස් කරනවා. ඒ අනුව ඔවුන් සිය චිත්තබලය යොදා ක්වන්ටම් අංශුවලින් ගතයුතු භෞතික මානය කුමක්දැයි තීරණය කිරීම මගින් ක්වන්ටම් එන්ටැංගල්මන්ට් සංසිද්ධිය බිඳදැමීමට හැකිදැයි සොයා බැලීම මේ පරීක්ෂණයේ අරමුණ බව ලූෂන් හාඩි පවසනවා. එසේ පැටලුනු ක්වන්ටම් අංශු දෙකක හැසිරීම මිනිස් සිතට වෙනස් කල හැකිනම්, ඉතාමත් දියුණු තත්වයට පත් මිනිස් සිතකට භෞතික ලෝකය පාලන කල හැකි බවට තීරණය කල හැකිවනවා.
![Creative Commons License](https://i.creativecommons.org/l/by/4.0/88x31.png)
Comments
Post a Comment