MARITIME DEFENCE : ලංකාව රුසියාවෙන් ගන්න යන ගෙපාර්ඩ් ෆ්‍රිගේට් යුධ නැව ගැන දැනගන්න

රුසියාවේ නිෂ්පාදිත ගෙපාර්ඩ් ගණයේ  ෆ්‍රිගේට්  (Gepard Class Frigate) නෞකාවක්
ලංකා නාවික හමුදාව රුසියාවෙන් ගෙපාර්ඩ් ගණයේ යුධ නෞකාවක් ගන්නට ඉල්ලුම් කොට ඇති බව ප්‍රවෘත්ති වල කියනවා ඇහෙන්න ඇති. ගෙපාර්ඩ් යුධ නැව, නාවික හමුදා ලෝකයේ ෆ්‍රිගේට් කියන ගණයට අයිති නෞකාවක්. ගෙපාර්ඩ් නෞකා ගණය ගැන දැන ගන්න  ඉස්සෙල්ලා ලෝකයේ නාවික හමුදාවල තියෙන විශාල නෞකා වර්ග නැග පොඩ්ඩක් දැනගෙන ඉමු.

ලෝකයේ නාවික හමුදා ගත්තම ඒවාට තිබෙන යුධ නෞකා වල හැකියාවන් අනුව වර්ග දෙකකට බෙදන්න පුලුවන්.

1] Blue Water Navy - ඒ කියන්නේ ඈත ගැඹුරු මුහුදේ යුධ මෙහෙයුම් කල හැකි නෞකා අයත් නාවික හමුදා. අමෙරිකානු, රුසියානු, චීන, බ්‍රිතාන්‍ය, ප්‍රංශ, ජර්මන් හා ඉන්දියානු නාවික හමුදා විශාල නිල් මුහුදු නාවික හමුදා ලෙස පිලිගැනෙනවා.

2] Coastal Navy - සිය රටේ වෙරළට ආසන්න මුදුදු සීමාවේ, එනම් ගොඩබිම පෙනෙන සීමාවේ යුධ මෙහෙයුම් කල හැකි කුඩා යාත්‍රා ඇති නාවික හමුදා. 

ලංකාවේ නාවික හමුදාව මෑතක් වන තෙක්ම වෙරළබඩ නාවික හමුදාවක් ලෙසයි සැලකුනේ. ඉන්දියාවෙන් ලබාගත් සකන්‍යා ගණයේ යාත්‍රාවක් වන ශ්‍රී.ල.නා.හ සයුර (SLNS Sayura - P620) යුධ නෞකාව මම දන්නා තරමට ලංකාවේ නාවික හමුදාවට අයත් විශාලම හා ඈත සාගරයේ මෙහෙයුම් කල හැකි නෞකා තුනෙන් එකක් වෙනවා. අනෙක් දෙක වන්නේ ඇමරිකාවෙන් ලබාගත් SLNS Samudura - P621 හා SLNS Sagara - P622 යාත්‍රාවයි. මේ තුනම P යන කේතයෙන් හඳුන්වන්නේ ඒවා පැට්‍රෝල් ක්‍රාෆ්ට් හෙවත් මුරසංචාරක යාත්‍රා ගණයට අයත්වන නිසා. ඒ නිසා මේ යාත්‍රා විශාල වුනත්, ගැඹුරු මුහුදේ මෙහෙයුම් කල හැකි වුනත්, ඒවා Blue Water Battleships ලෙස සැළකෙන්නේ නෑ.

ගැඹුරු මුහුදේ මෙහෙයුම් කල හැකි විශාල යුධ නෞකා ගණ (Classes of Blue Water Combat Ships)

ගැඹුරු මුහුදේ මෙහෙයුම් කල හැකි විශාල යුධ නෞකා ගණ තුනක් ලෝකයේ නාවික හමුදාවන් භාවිතා කරනවා.

1. Aircraft Carrier - ලෝකයේ විශාලම නාවික යාත්‍රා වන්නේ පාවෙන ගුවන් හමුදා මූලස්ථාන වැනි ගුවන් යානා ගෙනයන නෞකාවන්. ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, රුසියාව, චීනය හා ඉන්දියාව ලෝකයේ ගුවන්යානා ගෙනයන නෞකා ඇති නාවික හමුදාවන් වනවා.

2. Battle Cruiser - නාවික හමුදා භාවිතා කරන, විශාලතම, හා බලසම්පන්නම ප්‍රහාරක නෞකා, බැට්ල් කෲසර් ලෙස හඳුන්වනවා.

3. Destroyer - ගැඹුරු මුහුදේ සටන් වැදිය හැකි මධ්‍යම ප්‍රමාණයේ ප්‍රහාරක යුධ නෞකා.

4. Frigate - ගැඹුරු මුහුදේ සටන් වැදිය හැකි කුඩාම ප්‍රහාරක යුධ නෞකාවලට ෆ්‍රිගේට් යන නම භාවිතා කරනවා.

ලංකාව නාවික හමුදාවට ගන්නට සැළසුම් කරන රුසියාවේ නිෂ්පාදිත ගෙපාර්ඩ් ගණයේ ෆ්‍රිගේට් යුධ නෞකාව.

ලංකා නාවික හමුදාවට මිලදී ගැනීමට සැළසුම් කරන ගෙපාර්ඩ් ගණයේ නෞකාව ෆ්‍රිගේට් ගණයේ යුධ නෞකාවක් වෙනවා. ගැඹුරු මුහුදේ මෙහෙයුම් කල හැකි නෞකාවක් වන මෙය, ශ්‍රී ලංකා නාවික හමුදාව Blue Water නාවික හමුදාවක් බවට පත්කිරීමේ පලමු පියවර නිසා එය සාර්ථක වේවා යයි අප ප්‍රර්ථනා කරනවා.


1991දී හඳුන්වාදුන් ගෙපාර්ඩ් ගණයේ නෞකා දැනට රුසියානු නාවික හමුදාවේ හා වියෙට්නාම් නාවික හමුදාවේ භාවිතා වෙනවා.

රුසියාවේ Zelenodolsk Shipyard නාවික තාටාකාංගණයේ නිෂ්පාදනය වන ගෙපාර්ඩ් ගණයේ නෞකා නවීන තාක්ෂණයන් ගෙන් යුක්තයි. පූර්ණ ලෙස සන්නද්ධවූ විට ටොන් 1900ක් පමණ බර ගෙපාර්ඩ් ෆ්‍රිගේට් නෞකාවක් මීටර් 100ක් පමණ දිගින් යුතු වනවා. ගෑස් ටර්බයින් වර්ගයේ එන්ජින් දෙකකින් යුතු මෙම නෞකාවලට පැයට කිලෝමීටර් 50ක උපරිම වේගයකින් යාත්‍රා කල හැකියි. එමෙන්ම වෙරළේ සිට කිලෝමීටර් 7000ක් පමණ ඈත දියඹේ යාත්‍රා කරමින් මෙහෙයුම් කල හැකියි. දින 15ක් පමණ දියඹේ ගත කල හැකි ලෙස සියලු සැපයුම් ගෙනයා හැකි අතර නාවිකයින් 100ක් පමණ ගෙනයා හැකියි.

සතුරු ගුවන්යානා හා කෲස් මිසයිල හඳුනාගත හැකි රේඩාර් පද්ධති, සබ්මැරීන හඳුනාගත හැකි සෝනාර් පද්ධති මෙන්ම  සතුරු නෞකා හා ගුවන්යානා වල ඉලෙක්ට්‍රොණික පද්ධති අවුල් කල හැකි ඉලෙක්ට්‍රොණික් ජෑමින් උපකරණ වලින්ද සමන්විතයි. එමෙන්ම නෞකා නාෂක මිසයිල නොමග යැවිය හැකි ඇන්ටි-ෂිප් ඩීකෝයි මිසයිල 16කින්ද යුක්තයි.

මෙහි ඇති ප්‍රහාරක අවි අතර 

Kh - 35 Anti-Ship නෞකා නාෂක මිසයිල 8ක්

AK - 176 මිලීටර් 76 ගුවන්යානා නාෂක / සතුරු යාත්‍රා ප්‍රහාරක තුවක්කුව (විනාඩියකට උණ්ඩ 120යි - ප්‍රහාර පරාසය කිලෝමීටර් 10යි)

AK - 630 මිලීටර් 30 බැරල් 6යේ මැෂින් තුවක්කු 2යි

මිලිමීටර් 530 සබ්මැරීන් නාෂක ටෝපිඩෝ දියත්කල හැකි ටෝපිඩෝ ලෝන්චර් 4යි.

ප්‍රහාරක හෝ භට ප්‍රවාහණ හෙලිකොප්ටරයක් රැගෙන යාහැකියි.




__________________________________________________________________________

Creative Commons License VIDYA GAWESHANA - විද්‍යා ගවේෂණ by Terence Kahapola Arachchi is licensed under a Creative Commons Attribution 4.0 International License. Based on a work at http://vidya-gaweshana.blogspot.com/. Permissions beyond the scope of this license may be available at http://vidya-gaweshana.blogspot.com/. . POSTED BY : Terence Kahapola Arachchi  . AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com . GOOGLE +   : About Me  . FACEBOOK : www.facebook.com/terence.arachchi  .   __________________________________________________________________________

Comments

  1. මේක දැන් වෙලා නෑ නේද...

    ReplyDelete

Post a Comment